
අවුරුද්දක විතර කාලයක් නිහඬව ඉඳල එකපාරටම කතා කරන්න ගත්තෙ බොහොම බැරෑරුම් ටොපික් එකක්. ඒත් මේ දවස් ටිකේ මගේ හිතට බොහොම තදින් වද දෙන ගැටළුවක් ගැන බ්ලොග් අවකාශය තුල පොඩි සංවාදයකට මුලපුරන්න තමයි මගේ අදහස. බොහොම කාලයක් පෝස්ට් එකක් නොදා හිටපු නිසා බොහෝ දෙනෙක්ට මේ ලිපිය මගඇරේවිද කියල්ත් පොඩි සැකයක් තියෙනව. කොහොම නමුත් ලියල බලමුකො.මේක කොච්චර දිග ලිපියක් වෙයිද කියල මට දැන්ම කියන්න බෑ. ඒත් කඩදහිය ලිපේ දාල ආපු අය ඉන්නවනම් කඩදහි පුච්චන්නෙ නැති වෙලාවක් බලල මේක කියවන්න පටන් ගත්තොත් හොඳයි කියලයි මගේ අදහස.
මේක මගේ හිතට වධ දෙන ගැටලුවක් කිව්වට මම තහනම් පෙමක පැටලිලා එහෙම නෙවෙයි. මේක මම දන්න අඳුනන කිහිප දෙනෙක්ගෙ කතාවක්. ඒත් පුදුමාකාර විදිහට මම මේ කතාව ඇතුලෙ හිර වෙලා. ඒ නිසා, කාටවත් කියාගන්න බැරුව හිත අතුලෙ හිරකරගෙන ඉන්න කතාවක් බ්ලොග් එකේවත් ලියල හිත ටිකක් සැහැල්ලු කරගන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්. ටිකක් දිග කතාවක් උනත් මුල ඉඳලම පටන් ගනිමුකො.
මේ කතාව පටන්ගන්නෙ අවුරුදු දෙකහමාරකට විතර කලින් Uni එකේ දෙවනි අවුරුද්දෙ අන්තිම කාලෙ. මගේ පන්තියෙ යාලුවෙක්- මම Uni එකට ඇතුල් වුනු මුල්මකාලෙ මට ඒ තරමටම ජපන් භාෂාව බැරි කාලෙ මට ගොඩක් උදවු කරපු යාලුවෙක් මගේ ලඟට ඇවිත් කියනව මාත් එක්ක්ක කතා කරන්න එයාට බැරෑරුම් ප්‍රෂ්ණයක් තියෙනව කියල. වෙනත් ජපන් යාලුවෙක්ට මේ කතාව කිව්වොත් ඒක සැහැල්ලුවට ගන්න ඉඩ තියෙන නිසා මාත් එක්ක ඒ ගැන කතා කරන්න හිතුවලු. විසඳුමක් දෙන්න බැරි වෙන්න පුලුවන් උනත් කතාව අහගෙන ඉන්න මම පොරොන්දු වුනා.
මාස හතරකට විතර කලින් ඔහු Part Time කරන සුපර්මර්කට් එකේ Flower Shop එකක් කරගෙන යන කාන්තාවක් එක්ක මොහු ඇස් වලින් කතා කරන්න පටන් ගන්නව. ඊට මාසෙකට විතර පස්සෙ දෙන්න කතාබහ කරල දැන අඳුන ගන්නව. එකට ඇවිදින්න එහෙම යනව. ආදරය කරන්න පටන් ගන්නව. බොහොම සුන්දර විදිහට පෙනෙන ආදර කතාවක් උනත් ඒ වෙන කොට ඔහුට වයස 21 උනා විතරයි. ඇයට 30යි. ඔහු තවත් අවුරුදු 2යි මාස 3ක් යනකන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඇය මල් වෙළඳ සැලක හිමි කාරියක්. බරපතලම දෙය ඔහු ආදරයට කෝඩුකාරයෙක් වුනත් ඇය අවුරුදු 4ක විවාහ ජීවිතයක් ගතකරන කාන්තාවක්. ඔහුම කියනව ඇයගෙ ස්වාමි පුරුෂයත් බොහොම හොඳ කෙනෙක් කියල. පැය දෙකකටත් වඩා දිග්ගැහුණු කතාවක සාරාංශය ඔහොමයි.
වචනයෙන් මොකවත් නොකිව්වට, මමත් ඒ වෙලාවෙ හිතුවෙ මේක ටික දවසකින් නැතිවෙලා යන හුදු ආකර්ෂණයක් විතරයි කියල. මම ඔහුට කිව්වෙ "පවුලක් කඩා කප්පල් කරල සතුට හොයන එක බොහොම අවදානම් වැඩක්, ඒ නිසා කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න" කියල විතරයි. ඉන් පසුව අපි අතර මේ ගැන වැඩිහමන් කතාබහක් නොවුනත් මේ සංවාදයෙන් මාස 8කට විතර පස්සෙ බාස්කට් බෝල් ගේම් එකක් ඉවරවෙලා ආපහු එන අතරෙ මගේ ජපන් මිතුරා මට කියන්ව ඔහු ඉගෙනීම අත් ඇරල රැකියාවක් හොයන්න කල්පනා කරනව කියල. ඔහු ඇයත් එක්ක එකට ජීවිතයක් පටන් ගන්න කල්පනා කරනව. මම සාමාන්‍යයෙන් ආදර සම්බන්ධ වලදි උපදෙස් දෙන්න යන්නෙ නැති උනත් මේ වෙලාවෙදි මට නිහඬව ඉන්න බැරි උනා. මම ඔහුට කිව්ව මට ඉක්මනටම ඔහුත් ඇයත් දෙන්නටම එකට කතා කරන්න අවෂ්‍ය බව.
සතියකට විතර පස්සෙ හවස් වරුවක අපි තුන්දෙනා Cafe එකකදි හමු වුනා. මට මුලින්ම වැටහුණු දෙයක් තමයි ,දෙන්නගෙ සම්බන්ධය ගැන මම මුලින් හිතාගෙන ඉඳපු විදිහ වැරදියි කියල. ඔවුන් දිහා බ්ලපු ගමන් කියන්න පුලුවන් දෙන්න ඇත්තටම එකිනෙකාට ආදරය කරනව කියල. ඒ කොහොමද කියල අහන්න එපා. ඒත් ඇත්තටම ආදරය කරන් දෙන්නෙක් ඒ ආදරය හංගන්න හදන්නෙ නැත්නම් දෙන්න දිහා බලල කියන්න පුලුවන් ඒ අය ඇත්තටම ආදරය කරනවද නැද්ද කියල. දෙන්නගෙ සම්බන්ධයට විරුද්ද වෙනව කියල නොපෙන්නන්න වගේම සම්බන්ධය අනුමත කරනව කියලත් නොපෙන්නන්න මම ඒ වෙලාවෙ බොහොම පරිස්සම් උනා. ටික වෙලාවක් කතාකරනකොට මට තේරුනා ඇය ඇගේ සැමියට බොහොම ගෞරව කරනව කියල. මගේ යාලුවත් ඒ ගැන අමනාපයක්වත් ඊර්ෂ්‍යාවක්වත් පෙන්නුවෙ නෑ. ඇයත් ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ මගේ මිතුරා ඉගෙනීම අත් අරින්න යන බව. අපි දෙන්නම එකතුවෙලා ඔහුට පැහදිලි කරල දුන්න මොනව කරන්නත් කලින් ඉගෙනීම ඉවර කරල ඉන්න කියල. ඇයත් කිව්ව ඇයට දැන්ම සැමියගෙන් වෙන් වෙන්න් බෑ කියල. ඒ වෙලාවෙ මගේ මුහුණෙ ඉරියවු පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ඇති. මොකද අයට දැනුන මගේ හිතේ තියෙන ප්‍රෂ්ණය. එතකොට තමයි ඇය ඇගේ කතාව පටන්ගත්තෙ.
ඇගේ විවාහය යෝජනා විවාහයක්. ඇගේ පවුලත් සැමියගෙ පවුලත් බොහොම කාලයක ඉඳන් දන්න අඳුනන පවුල් දෙකක්. ඔහු සමාගමක විධාක මට්ටමේ නිලයක් දරන බොහොම කරුණාවන්ත කෙනෙක්. ඔහු ඇයට වඩා අවුරුදු 2ක් වයසින් වැඩියි වගේම දෙන්න පොඩිකාලෙ ඉඳලම එකිනෙකාව හොඳට දන්නව. නමුත් දෙන්නටම විවාහයට කලින් වෙන ප්‍රේම සම්බන්ධතා තිබිල තියෙනව. ඒත් ඒ එකක්වත් සාර්ථක ඒව නොවුණු නිසා අන්තිමට පවුල් දෙක අතරෙ ඇතිවෙච්ච යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි දෙන්න විවාහ වෙන්නෙ. ඔහුත් බොහොම හොඳට ඇගේ දුක සැප හොයා බලල කිසිම අඩුවක් නොකර සලකනව වගේම ඇයත් ඇගේ යුතුකම් අඩුවක් නැතුව කරනව. ලිංගික ජීවිතයෙදිත් කිසිම අඩුපාඩුවක් නෑ කියල තමයි ඇය කිව්වෙ. මෙහේ ඒ දේවල් ගැන විවෘතව කතාකරන්න මිනිස්සු බය නෑ. නමුත් දෙන්නටම දරුවන් ලැබෙන්නෙ නෑ. වෛද්‍ය පරීක්ශණයකින් හෙලිවෙනව ඇයට දරුවන් බිහිකරන්න බෑ කියල. දෙන්නටම දරුවන් අවෂ්‍යයි. ඒ නිසා දෙන්නම එකඟ වෙනව දරුවෙක් අරන් හදාගන්න. ඒ අතරෙ තමයි ඇයට මගේ මිතුරව මුණගැහෙන්නෙ.
විවාහ වෙලා අවුරුදු 4කට පස්සෙ, ජීවිතය ඒකාකාරව ගලාගෙන යන වෙලාවක තමයි ඈයට ඔහු මුණගැහෙන්නෙ. ජීවිතේ මුල්ම වතාවට, මුළු ජීවිත කාලයම එකට ගතකරන්න ඕන කියල ඇයට හිතුනු මගේ මිතුර ගැන විතරලු. දෙන්නටම එකිනෙකා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒත් ඔහුට වගේම ඇයටත් හිතන්න දේවල් බොහොමයක් තියෙනව. ඇගේ පවුල, සැමියගෙ ගෞරවය, දෙමවුපියන්ගෙ ගෞරවය, පෙම්වතාගෙ අනාගතය වගේ ගොඩක් දේවල් ගැන ඇයට කල්පනා සිදුවෙනව. මේක මේ දෙන්නම පිස්සුවෙ වගේ ජොලියට කරන ආදරක් නොවන වග මට හොඳටම තහවුරු උනා. මේ සම්බන්ධය නිසාම් ඇය දරුවෙක් හදාගන්න ගන්න එකත් කල් දදා ඉන්නවලු. මම උපදෙස් දෙන්න නොගියත්, මගේ මුතුරා ඉගෙනීම ඉවර කරනකන් මුකුත් තීරණයක් නොගන්න දෙන්නම එකඟ වුනා.
ඉන් පසුවත් මට දෙන්නව කිහිප සැරයක් මුණගැහුනත් වැඩි දෙයක් නතුව දෙන්නගෙ සම්බන්ධය තව දුරටත් ගලාගෙන ගියා. චේඡනා අක්කගෙ ලිපියකට (මෙතන) කමෙන්ට් එකක් විදිහට මම මේ සිද්ධිය එකපාරක් බොහොම කෙටියෙන් ලියල තියෙනව. ඒ වෙලාවෙ කතාව පොඩ්ඩක් එහෙමෙහෙ කරත් අද ලියන්නෙ ඇත්තම සිද්ධිය.
තවත් අවුරුදු දෙකකට පස්සෙ දැන් තමයි කතාව වර්තමානයට එන්නෙ.
කතාව කුට්ටි කරන්න පොඩ්ඩක්වත් කැමති නැති උනත්, හිතුවටත් වඩා දිග කතාවක් ලියැවීගෙන යන නිසා කතාවෙ මුල්ම අඩ කොටස මෙතනින් ඉවර කරනව.
ඉතිරි කොටස තව දවස් දෙක තුනකින් පල කරන බවට පොරොන්දුවකුත් එක්ක. ඉතිරි කොටස රවම පළ නොවුනත්, ඔයාලගෙ අදහස් තියෙනවනම් පහලින් කොටල යන්න. ඉතිරි කොටසටත් කියවලම අදහස් පල කරන්න හිතාගෙන ඉන්නවනම් අදහස් වල බාගයක් විතරක් පළ කරල යන්නකො.
Labels: කැම්පස්, නිකං ඉන්න බැරුවට, මට කොයිල්, හර බර

අහ පහල...
කොච්චර කඩවල් තිබුනත්.....
හමදාමත්....
ඒ කඩේටම ගියේ....
ඇයව දකින්න තිබුණු ආසාවට....
කිසිදා....
කතාකර නොතිබුනත්....
හැමදාමත්....
කැෂියර් කූඩුව පිටුපස සිට....
මා සමග සිනාසුන ඇය....
"අද නම්...
වචනයක් කතා කරලමයි එන්නෙ...."
හිතට දිරිගෙන...
ගියා ඇය හමුවෙන්න...
ඒත්......
ඇය පෙනෙන්නට නැත....
මදක් විමසා බැලුවෙමි....
ඇය රැකියාව හැර ගිහින්....
පියවි සිහි ලැබ.....
මදක් සිතා බැලුවෙමි.....
"කඩ කාරය මගේ පොකට් එක නං සුද්ද කරල....."

දෙන්න දෙන්න....
පිල් දෙකකට බෙදිල.....
ගහන්න නම් සෙට් උනේ ඕමියක්!!!!!
"මචං, මට කෝල් එකක්....."
අරූ මට කියාපි.....
"ඔයාල වෙන සෙල්ලමක් පටන් ගන්න...."
ඌම එකියකට කියාපි.......
"එහෙනං ඉතිං හත් වාසියක් වත් ගහමු....."
තුන් වැන්නිය කියාපි!!!!!!
"මුල් අත මටයි වාසි...."
හාරතේ තුරුම්පු කොල ටික.....
මා සමග සිනාසෙයි!!!
තුරුම්පු හරියට ගැහුවොත්.....
මම පරදින්නෙ නෑ!!!
ඒත්....
සිතයට හීන් චකිතයක්!!!
ඊලඟ අත බාල්දු අතක් උනොත්????
කා සමග එක්ව...
කා හට එරෙහිව...
බාල්දු කොල ගහන්නට සිදුවෙයිද????
අනේ මටත් කෝල් එකක් එනවනං!!!!!!!!

මම ඉන්න රටේ, ඒ කියන්නෙ ජපන් රටේ මේ දවස් වල බොහොම ජනප්‍රිය වේගෙන යන රෙස්ටුරන්ට් ක්‍රමයක් තමයි "All you can Eat" කියන එක.
ඒ කියන්නෙ රෙස්ටුරන්ට් එකට සල්ලි ගෙවන්නෙ පැය ගානට. ඒ කාලය ඇතුලත කන්න පුලුවන් තරමක් ඉල්ලගෙන කන්න පුලුවන්.
ඒ වගේමයි "All you can Eat and Drink" එකත්. එතකොට ඕන තරම් කන්නයි බොන්නයි පුලුවන්.
මේවගෙ ගානත් එක එක විදිහයි.
රෙස්ටුරන්ට් එකේ ලෙවල් එක සහ තියෙන කෑම වර්ග අනුව ගාන වෙනස් වෙනව.
ඒ වගේමයි, රෙස්ටුරන්ට් එකේ පිහිටීමත් මිල ගනන් වලට බලපානව.
මේ රෙස්ටුරන්ට් වල ගාන වැඩි වෙන්නෙ රෑට තමයි. මොකද මෙහේ මිනිස්සු පැය ගනන් කකා බිබී පාටි දාන්නෙ රෑට. දවල්ට ඔව්ව කරන්න තරම් වෙලාවක් මෙහි මිනිස්සුන්ට නෑ. ඒ නිසාම දවල් වෙලාවට මේවගෙ මිල බාගෙට බාගයක් විතරම අඩු වෙන්ව.
අනික, දවස අනුවත් මිල ගනන් වෙනස්. මිල වැඩිම සිකුරාද රෑ සහ සෙනසුරාද රෑ. ඒ වගේම රජයේ නිවාඩු දින වලට කලින් දවසෙ රෑටත් මිල ටිකක් වැඩි වෙනව.
සමහර තැන් වල නම් ගැහැණු පිරිමි අයටත් වෙන වෙනම මිල වෙනස් වෙනව.
පැයකට ගාන යෙන් 1000 ඉඳල 2500 විතර,
පැය එකහමාරට යෙන් 1500 ඉඳල 3000 වෙන්කන්,
පැය දෙකට යෙන් 2500 ඉඳල 3500,
පැය හතරට යෙන් 3500 ඉඳල 5500 පරාසය තමයි සාමාන්‍යයෙන් එක වේලක මිල.
යෙන් එකක් රුපියලයි සත විස්සක් විතර වෙන නිසා රුපියල් වලින් බැලුවත් වැඩි වෙනසක් නෑ.
මෙහේ කෑම වල මිල බැලුවහම පාටි වලට එහෙම ගොඩක් මේ ක්‍රමය පාවිච්චි කරන අය වැඩි වේගෙන එනව.
ජපන් ජාතිකයො මේ වගේ තැනකට ගියත් යන්නෙ යාලුවොත් එක්ක විනෝදෙන් කෑම ටිකක් කන්න මිසක් අර වෙලාව ඇතුල කන්න පුලුවන් තරමක් කාල එන්න නෙවෙයි.
ඒ නිසා මේ රෙස්ටුරන්ට් වලටත් පාඩුවක් නෑ. මොකද හිනා වෙවී කතා කර කර කන නිසා වෙලාව යනව තේරෙන්නෙත් නෑනෙ.
ඒත් පුතෝ ලංකාවෙ මේ වගේ රෙස්ටුරන්ට් එකක් දැම්මොත් නම් බංකොලොත් තමයි.
අපේ වැඩි දෙනෙක් කන්න ගත්තහම කිසිම සද්ද්යක් නැතුව කාගෙන කාගෙන යන්වනෙ. කෑම මේසෙදි කතා කර කර කන පුරුද්දක් අපිට නෑනෙ.
අනික අපේ අයට "All you can Drink" පැකේජ් එක දුන්නොත් ඉතින් ගෙදර යන්නෙ හතර ගාතෙන්නෙ. සම්හරු නම් එතනම වැටිල ඉඳීවි.
ලෝකෙ, ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් මත්පැන් බොන ජපානෙ පවා මම මේ ඉඳපු අවුරුදු 4ටම මිනිස්සු බීල වැටිල ඉන්නව දැකල තියෙන්නෙ දෙතුන් පාරයි. බීල ගහගන්නව කවදාවත්ම දැකල නෑ.
හරි!!! මෙච්චර වෙලා වටේ කැරකි ඉඳල දැන් තමයි රියල් කතාවට එන්ටර් වෙන්නෙ.
මාස 4කට විතර කලින් අපේ කැම්පස් එක් ආසන්නයෙත් දැම්ම මේ වගේ "All you can eat" රෙස්ටුරන්ට් එකක්. කැම්පස් එක "ලඟ" කියල නොකිය "ආසන්නයෙ" කියල කිව්වෙ කැම්පස් එකේ ඉඳල බයිසිකලෙන් විනාඩි 15ක් විතර දුර නිසා.
කලින් එඳලම මේවගේ රෙස්ටුරන්ට් කීපයක්ම ආල පහල තිබුනත් මේ අලුත් එකේ පැකේජ් එක අනිත් ඒවට වඩා ලාබයි.
පැයට යෙන් 1500යි පැය එකහමාරට 2000යි.
අනික මේකෙ ප්‍රධාන කෑම තමයි පුළුස්සපු මස්. කවුද කන්න අකමැති.
මේසෙ මැද දැලක් දාල ඒක යටින් ගෑස් උඳුනක් තියෙනව. මේසෙට ගේන්නෙ අමු මස්. ඒක තමන්ම පුච්චගෙන කැමති විදිහට සෝස් ජාති ඩ්‍රෙසින් ජාති දාගෙන කන්න පුලුවන්. බතුත් තියෙනව. මේ වර්ගයෙ රෙස්ටුරන්ට් ජපානෙ බොහොම ජනප්‍රියයි.
කැම්පස් එකේ ළමයි එහෙම නිතරම මේ අලුත් රෙස්ටුරන්ට් එකෙන් කන්න පටන්ගත්තු නිසා අනිත් ළමයින්ගෙ අතරෙත් මේක ඉක්මනට පැතිරිලා ගියා.
කොහොමින් කොහොමින් හරි කැම්පස් එකේ ඉන්න පිටරට ළමයිත් ටිකෙන් ටික මේකට යන්න පටන් ගත්ත.
ඒ අතරෙ තමයි දැනගත්තෙ මේ රෙස්ටුරන්ට් එකේ හැම මාසෙම පළවෙනිදටයි විසි වෙනිදටයි "Half price Discount" එකක් තියෙනව කියල.
ඒ කියන්නෙ පැයේ කෝස් එක යෙන් 750යි.
මෙහේ කඩේක සාමාන්‍ය කෑම එකකුත් යෙන් 500ට වැඩියි. ඒකත් ලංකාවෙ අපිට ගෑවෙන්නවත් මදි.
ඉබ්බ දියට දානකොට ඇන්නෑවෙ කිව්ව වගේ අපිත් හැම මාසෙම පළවෙනිදටයි විසිවෙනිදටයි ඕකෙන් කන්න පටන් ගත්ත.
අපේ කැම්පස් එකේ පිටරට ළමයි 70ක් විතර ඉන්නව. ඒ සෙරම අය ආසියාවෙ අය. ඉතින් කන්න බැරිද. ලංකාවෙ අයන්ම් ඉන්නෙ පහයි.
ජප්පො ගිහිල්ල කදේ දාගෙන හිමීට කන අතරෙ අපි ගිහිල්ල හුස්මක් කටක් ගන්නෙ නැතුව කනව.
අලුතින් කෑම ඕඩර් කරහම ඒක ලැබෙන්න විනාඩි 5ක් විතර යනව. ජප්පොන්ට නම් ඒක ගානක් නෑ. ඒත් අපි මේසෙ තියෙන කෑම ටික ඉවර වෙන වෙලාව ගනන් හදල ඒ වෙලාවට අලුතින් කෑම මෙසෙට එන්න තමයි ඕඩර් කරන්නෙ.
අනික Half price දවසට ජප්පො එන්න කලින් පිටරට ළමයි ගිහිල්ල මේස අල්ලගෙන.
එදාට 70 දෙනාගෙන් අඩුම ගානෙ 50ක් වත් කන්නෙ එතනින් තමයි.
එතකොට නම් ඉතින් කුකුලද ඌරද හරකද කියල බලන්නෙ නෑ. කන එක ඇරෙන්න වෙන දේවල් ගැන හිතන්න සිහියක් නෑනෙ.
එතනින් නොකන්නෙ හලාල් කෑම විතරක් කන මුස්ලිම් ළමයි විතරයි.
කොහොම හරි Half price දවසට යෙන් 750 ගෙවල යෙන් 4000 ක 5000ක විතර කෑම කාල එනව.
වැඩේ කියන්නෙ වැඩිය කන්න බැරි ගෑණු ළමයි උනත් Half price දවසට බෑ නොකිය කන එකනෙ
වැඩිය ඕන නෑ, සූර පප්ප බලපු අය දන්නවනෙ ජිම් පප්ප සීසර්ගෙ රෙස්ටුරන්ට් එකකට දීපු ගේම.
අපි මේ රෙස්ටුරන්ට් එකට කරෙත් ඒ වැඩේම තමයි.
අද Half price නොවුනත් අපි ලංකාවෙ 5 දෙනා අද ගියා මේකෙන් රෑට කන්න කියල.
අනේ!!! කඩේ වහල, එතන අලුතින් නූඩ්ල්ස් කඩයක් දාන්න ලේස්ති වෙන්ව.
කලින් රෙස්ටුරන්ට් එක බංකොලොත් වෙලාද කොහෙද.
එහෙම නොවී තියෙයිද 50 දෙනෙක් විතර ගිහිල්ල කඩේ පාළු කරනකොට.
නූඩ්ල්ස් කඩේ නම් All you can eat දාන එකක් නෑ. එහෙම දැම්මොත් තිතින් එකටත් මාස තුන හතරකින් අකුලගෙන යන්න වෙනවනෙ. හික්ස්!!
අර රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයට මොනව උනාද මන්ද. මිනිහ ආයෙත්නම් පිටරට ළමයි ඉන්න කැම්පස් එකක් ලඟ කඩයක් දාන එකක් නෑ.
ඒ ඉතින් රසට ලාබෙට කාපු කඩේ නැතිවෙච්චි එක ගැන නම් හිතට අමාරුයි. මොනව කොරන්නද ඉතින්.
දැන් ඉතින් පාළු කරන්න අලුතින් රෙස්ටුරන්ට් එකක් හොයාගන්නකන්, මාස හතරක් තිස්සෙ ඉස්මුරුත්තාවට එනකන් කාල එකතු කරගත්තු මේද තට්ටුවෙ පිහිට තමයි.
එහෙමනම් අදට ඉවරයි.
ඇපිට පාළු කරන්න අලුතින් රෙස්ටුරන්ට් එකක් ලැබේවා කියල ඔය පහලින් තියෙන කොටුවෙ එක හිතින් ප්‍රාර්ථනා කරල යන්නකො.
Labels: කැම්පස්, නිකං ඉන්න බැරුවට, මට කොයිල්

ගිය මාසෙ මම දාල තියෙන්නෙ එකම එක පෝස්ට් එකයි. මේ යන විදිහට ගියොත් මගේ බ්ලොග් එකත් මාස 4කින් 5කින් මැරිල යන හතු බ්ලොග් එකක් වෙයිද දන්නෙ නෑ. මොකද මේක පටන් ගෙන තාම මාස 4යිනෙ.
මොන පිස්සුද!!!!!
කොහොමටවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මට ලියන්න දේවල් තව කොච්චර තියෙනවද. මගේ මතක මංපෙතේ මම තාම බොහොම ටික දුරයි ඇවිද්දෙ. ඉතුරු ටිකත් යන්න ගැම්මක් ගන්න කියල හිතාගෙන තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.
පහුගිය කාලෙනම් වැඩ කන්දරාවක් තිබුන.
එක පැත්තකින් මගේ රිසර්ච් එක. මේ අවුරුද්දෙ ඔක්තෝබර් වෙනකොට රිසර්ච් එක ඉවර කරල රිපෝට් එකත් ඉවර කරන්න කියල ප්ලෑන් කරගෙන හිටියට තාම රිසර්ච් එක ඉවරවෙන මානයක් වත් පේන්න නෑ. ඒත් ඉතින් ඒකත් කොහොම හරි ඉවර කරන්නත් ඕනනෙ.
තව පැත්තකින් ට්‍රේනින්. අන්තිම පෝස්ට් එක දාන්න කලින් සති 4ක ට්‍රේනින් එකකට දුර ගිහිල්ල ආව විතරයි. මේ ලියන්නෙත් ගිය 19 වෙනිද ඉඳල සති දෙකක් ට්‍රේනින් වලට දුර ගිහිල්ල ඇවිල්ල.
සති දෙකේ ට්‍රේනින් එක ඉවර වෙලා ආපු ගමන්ම මම කියවන බ්ලොග් සේරම ටික එක හුස්මට කියෙව්ව.
දැන් තමයි කියවල ඉවර වෙලා හුස්මක් කටක් ගත්තෙ. හැබැයි එක දිගට කියවගෙන ගියපු නිසා කමෙන්ට් නම් දැම්මෙ නෑ ඕං.
ඒ සති දෙකේ ට්‍රේනින් එක නම් එපා උනා. වැඩකට ඇති දෙයක් කෙරුනෙත් නෑ. ඒ උනාට ජොලියෙ නිකං ඉන්න ලැබුනෙත් නෑ. හරියට "නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ වගේ" (මගේ නම් පලුවක් නැති උනේ නෑ හොඳේ )
ඒ මදිවට රස්නෙ!!! මම ගියේ වැඩිය ලොකු නගරක් නොවන ෆුකුශිම කියන නගරයට. මම් එහේ ඉඳපු දවස් වල පරිසර උෂ්ණත්වය සෙල්සියස් 37යි. එලියට බහිනකොට නිකං ස්පා එකකට ගියා වගේ. මැදපෙරදිග පැත්තෙනම් මීට වඩා ගොඩක් රස්නෙ ඇති. ඒත් ආර්ද්‍රතාවය වැඩි නිසා මෙහේ රස්නෙ හොඳට ඇඟට දැනෙනව.
දැන් ඉඳල 23 වෙනිද වෙනකන් නම් සමර් වැකේශන් එක. ඒත් රිසර්ච් එක තියෙන නිසා නිවාඩු පඩුවෙ ඉන්න වෙලාවක් නෑ.
අනික මට නිකං ඉන්න බැරි නිසා ඊලඟ සතියෙ ෆුජි කන්ද නගින්න කියලත් හිතාගෙන ඉන්නව. ජපානෙට ඇවිල්ල අවුරුදු 4ක් උනත් තාම ෆුජි කන්ද නගින්න බැරි උනු නිසා මේ පාරවත් නගින්න කියලයි හිතාගෙන ඉන්නෙ.
ඒකෙ විස්තර ඉතින් ගිහිල්ල ඇවිල්ලම ලියන්නම්කො.
ඒ අතරෙ පහිගිය කාලෙ අලුත් පොත් 3කුත් කියෙව්ව.
ඒකෙ නම් ස්තුතිය චේඡනා අක්කට. එයාගෙ බ්ලොග් පෝස්ට් එකකින් තමයි මම Indu Sundaresan කියන කතුවරියගෙ The Twentieth Wife කියන පොත ගැන දැනගත්තෙ.
ඒ පොත ගැන Amazon එකේ සර්ච් කරල බලනකොට එයාගෙම තවත් පොත් 2 ගැන විස්තර තියෙනව දැක්ක.
The Twentieth Wife එකේ දෙවනි කොටස විදිහට ලියපු The Feast of Roses කියන පොතයි ලස්සන් ආදර කතාවක් ගැන කියවෙන The Splendor of Silence කියන පොතයි.
පොත් දැක්කහම මටත් නිකං ඉන්න බෑනෙ. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඕඩර් කරා පොත් තුනම.
පොත් තික අරගෙන නික්න් ඉන්න බෑනෙ. කියෙව්ව පොත් තුනම එක හුස්මට.
මම නම් පොත් තුනෙන් කැමතිම පොත තමයි The Splendor of Silence.
ඒකෙ තියෙන්නෙ මෙතෙක් මම කියවල නැති විදිහෙ අමුතුම ආදර කතාවක්. මම ඒක ගැන මෙතන විචාරයක් ලියන්න යන්නෙ නෑ. ඒත් ඇයගෙ පොත් මේ කෙටි කාලය තුල භාෂාවන් 17කට පරිවර්තනය වෙලා තියෙනව කියන එකෙන්ම ඒ පොත් වල තියෙන සාර්ථක බව හිතාගන්න පුලුවන්නෙ.
මේ කතුවරිය ලියපු තවත් පොත් දෙකක් මුද්‍රණය වෙලා තියෙන්ව. ඉක්මනටම ඒ දෙකත් අරගෙන කියවන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.
ඔන්න එහෙනම් මම මේ පෝස්ට් එක මෙතනින් නවත්තනව. ඒ උනාට මේ බ්ලොග් එකට මැරෙන්න දෙන්නෙත් නෑ, දියාරු වෙලා යන්න දෙන්නෙත් නෑ. හා පැටික්කි නම් කියල තිබුන ගණිතයට අනුව එයාගෙ බ්ලොග් එකත් සැප්තැම්බර් වලින් ඉවර වෙනව කියල. ඒ උනාටැ බ්ලොග් එකකට එහෙම ලේසියෙන් සමු දෙන්න බෑනෙ.
හා පැටික්කිත් එහෙනම් මේ ගැම්මෙන්ම ආයෙත් ලියන්න පටන්ගමුකෝ....
ඉක්මනටම මගේ ඊලඟ පෝස්ට් එකත් දානව කියන පොරොන්දුව පිට අදට නවතිනව.
සයොනරා!!!
Labels: කැම්පස්, නිකං ඉන්න බැරුවට, පොත් සමග මම, මට කොයිල්
අද පරණ කතාවක් ලියනව ලියනවමයි කියල ඊයෙ පොරොන්දු උනානෙ. ඒ පොරොන්දුව රකින්නත් ඕන නිසා ඔන්න අද ලියනව මම පොඩිකාලෙ වෙච්ච තවත් කේස් එකක් ගැන.
මේක උනේ මම 2,3,4 වසරෙ ඉන්න කාලෙක. ඉස්කෝලෙ යන,ඒත් පොඩි පන්ති වල ඉන්න කාලෙ කියල විතරයි මතක. හරියටම වුරුද්ද මතක නෑ. කොහොම හරි කතාවට එන්ටර් වෙන්න කලින් සුපුරුදු විදිහට පසුබිම හදල ඉන්නම්කො.
පොඩි කාලෙ මම කූල් බීම ජාති, ගණිතය සර් කියන විදිහට කියනව නම් පැණි බීම ජාති බොන්න හරිම කෑදරයි. මොන පොඩි එකාද ඒව බොන්න අකමැති. තාමත් ඒ කෑදර කම සම්පූර්ණයෙන්ම නැති වෙලා නෑ. මේ දැන් ලියන ගමනුත් ෆැන්ටා එකකට වග කියමින් තමයි ඉන්නෙ. හික්ස්!!!
ඒ කාලෙ මගේ ප්‍රියතම බීම වර්ග ටික තමයි අලියා ලෙමනේඩ්, කොකා කෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට්, පෝටෙලෝ. තව ලා කොල පාට අලිය බීම ජාතියක් තිබුන, ඒත් නම මතක නෑ. මේ කියන්න අවුරුදු 15කට විතර කලින්.ඕනම වලියක් සමගියෙන් සමාදානෙන් බේරගන්න ඕන නම් මට පගාව විදිහට බීම එකක් අරගෙන දෙන්න නිතරම තාත්තට සිද්ධ වෙනව. ඇඟට කොච්චර අගුණ උනත් ඉතින් මොනව කරන්නද. මාව අවුස්ස ගත්තොත් අහල පහල අයත් ඉඳල ඉවරයිනෙ.
ඒ වගේම තමයි පොඩි කාලෙ ඉඳලම මට නිතරම සෙම් රෝග හැදෙනව. ඉපදිච්ච ගමනුත් දවස් ගානක් වීදුරු පෙට්ටියෙ හිටියැයි කියල කියන්නෙ. ඔන්න මට ඒක නම් මතක නෑ....
ඉතින් මේ විදිහට සෙම තියෙන එකා නිතරම කූල් බොන්න ගන්නව කියන්නෙ ඉතින් ආයෙත් අහන්න දෙයක්ද. මාසෙකට දෙකකට සැරයක් ලොකුවට ලෙඩක් හැදෙනව මයි. ඒත් වැඩේ කියන්නෙ ඉස්කෝලෙ නොගිහින් ඉන්න තරම් සිරාවට ලෙඩේ වැඩි වෙන්නෙ නැති එකනෙ. එහෙම උනා නම් කොච්චර ආතල්ද.
ඉතින් මෙහෙම ලෙඩ වෙනකොට මාව එක්කරගෙන යන්නෙ ඒ කාලෙ ගාල්ලෙ හිටපු ප්‍රසිද්ධ ළමා රෝග විශේෂඥයෙක් වුනු දොස්තර හරේන්ද්‍ර සිලව ලඟට. ඒ කාලෙ එයා ගාල්ලෙ නම් ප්‍රසිද්ධයි. පස්සෙ කාලෙක ගාල්ලෙන් කොළඹට ඇවිත් TV එකෙත් එක එක වැඩසටහන් වලට පෙනී හිටින්න පටන් ගත්තට පස්සෙ තමයි ගොඩක් ජනප්‍රිය උනේ. නිකමට ගූගල් කරල බලනකොට තමයි දැක්කෙ දැන් එයා මහාචාර්ය කෙනෙක් කියල.
ඉතින් මට අසනීප වෙච්ච ගමන් තාත්ත ගිහිල්ල එයාව චැනල් කරන්ව. කොටින්ම කිව්වොත් මම එයාගෙ හොඳම කස්ටමර් කෙනක්. එයාට මගේ නම හිටන් හොඳට කට පාඩම්. හමදාම බෙහෙත් දුන්නෙත් කටපාඩමෙන්ද දන්නෙ නෑ. හික්ස්!!!
ඒ වගේම තමයි දොස්තර හරේන්ද්‍ර මහත්තයට තිබුන අතඇරගන්න බැරි එක පුරුද්දක්. ඒක තමයි හමදාම ලෙඩ්ඩු බලන වෙලාවට කොකා කෝල එකක් මෙසෙ උඩ තියාගෙන ස්ට්‍රෝ එකෙන් ටිකෙන් ටික බොන එක. මම බෙහෙත් ගන්න යනකොට හැමදාම ඔය කොකා කෝල එකනම් වරදින්නෙ නෑ.
අනිත් පොඩි එවුන් බෙහෙත් ගන්න ගියහම දොස්තරගෙ වෙද නලාවයි( ස්තෙතස්කෝප් ද මොකක්ද කියන්නෙ ) ,ටෝච් එකයි අරකයි මේකයි හැම එකම මැජික් බලන්ව වගේ බලනවනෙ. මට නම් ඔය මොකක්වත් වැඩක් නෑ, මම ගියපු ගමන් බලන්නෙ කොකා කෝල එක දිහා.
මුල් හරියෙ නොම්මරයක් ලැබුනොත් මම යන වෙලාවට බෝතලේ ෆුල්. අන්තිම හරියෙ නොම්මරයක් නම් ඉතින් ඉවර වෙන්න ඔන්න මෙන්න. පැය දෙකක් තුනක් තිස්සෙ ඕක කොහොම බොනවද මන්ද.
වැඩේ කියන්නෙ මේ මනුස්සය කොකා කෝල එකෙන් උගුරක් බොන ගමන් තමයි තාත්තට කියනෙ මට කූල් ජාති එහෙම බොන්න් දෙන්න එපා, අයිස් ක්‍රීම් කන්න දෙන්න එපා කියල. මට ඒ කාලෙ ඕකට මාර ජුවල් (මාරයියගෙ ජුවෙල් එහෙම නෙවෙයි ඔන්න )
වෙන වැරැද්දක් නම් නෑ. හැමදාම බොහොම කරුණාවෙන් කතා කරල ඉස්කෝලෙ විස්තර එහෙමත් අහන ගමන් තමයි බෙහෙත් දෙන්නෙ. අනික මමත් ඉතින් රෙගියුලර් කස්ටමර් කෙනෙක්නෙ. හැමදාම පොඩි පෙප් ටෝක් එකක් දානවමයි.
ඉතින් ඔහොම යනකොට එක දවසක් මෙයා මගෙන් ඇහුව ලොකු උනහම කවුරු වෙන්නද කැමති කියල. ඕනම වැඩි හිටියෙක් පොඩි එකෙක්ගෙන් අහන බොහොම සරළ ප්‍රශ්ණයක්නෙ.
ඒත් ඉතින් කොට්ටෝරුවට වරදින්නෙ කෙහෙල් ගහට කොටපු දවසට කියන්න වගේ දොස්තරටත් වැරදුනෙ මට ඔය ප්‍රශ්ණෙ දාපු දවසෙ තමයි.හික්ස්!!!
මම පට ගාල කිව්ව "දොස්තර කෙනෙක් වෙන්න" කියල.
විශේෂඥ මහත්තයටත් ෆුල් හැපී. පිටිපස්සට වෙලා හිටගෙන හිටපු අපේ තාත්තටත් හැපීද මන්ද.
"ඒ මොකද පුතා ඒ? ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඔච්චරම ආසද?" මෙයා තවත් හුරතල් වෙන්න හදනව.
"නෑ..නෑ... එතකොට මට ඕන වෙලාවක කොකා කෝල බොන්න පුලුවන්න්නෙ....." මමත් බොහොම ලාමක විදිහට උත්තර දුන්න.
දොස්තරට කොහොමද දන්නෙ නෑ. ඒත් පැත්තක හිටපු අපේ තාත්තටයි නර්ස්ටයි නම් බකස් ගාල හැපී සාගරයයි.හික්ස්!!!
සාමාන්‍යයෙන් මගේ දඟ වැඩ වලට හිනා වෙන්නෙයි තරහ වෙන්නෙයි අපේ අම්ම තමයි. තාත්ත නිතරම නියුට්‍රල් එකේ හිටියෙ. ඒත් එදා නම් ගෙදර එනකොට බස් එකේදිත් තාත්ත කීප සැරයක්ම තනියම හිනා වුනා කියල මතකයි.
එදා ඉඳල මම බෙහෙත් ගන්න යනකොට දොස්තරගෙ මේසෙ උඩ අර සුපුරුදු කොකා කෝල බෝතලේ පේන්න තිබුනෙ නෑ. ඒ පුරුද්ද අතඇරියද, එහෙමත් නැත්තං චැනලින් ලිස්ට් එකේ මගේ නම දැකපු ගමන් බෝතලේ මේසෙ යට හැංගුවද කියන එකනම් මට තාමත් අභිරහසක්.
ඔය කොළඹදි මහාචාර්ය තුමාගෙන් බෙහෙත් ගන්න ගියපු කෙනෙක් ඉන්නවනම් අපිට දැන්ගන්නත් එක්ක කියන්නකො තාමත් ලෙඩ්ඩු බලනකොට ඒ කොකා කෝල බෝතලේ මේසෙ උඩ තියෙනවද කියල.
එහෙම නම් ආයෙත් මොකක් හරි පරණ කුණුගොඩක් ඇදල මතක මංපෙතේ අතුරනතුරු සයොනරා!!!!!!
පිංතූර තික අහුල ගත්තෙ මෙතනින්.
http://farm3.static.flickr.com/2581/3819406710_2dc1bf1057.jpg
http://www.colastuffusa.com/images/products/8241695_1463088.jpg
Labels: දඟ වැඩ, නිකං ඉන්න බැරුවට, පොඩිකාලේ, මට කොයිල්

මේ දවස් වල මුලු සිංහල බ්ලොග් අවකාශයම චූ ගඳ ගහනවනෙ. කතන්දර කාරයගෙන් පටන් ගත්තු චූ කතා ටික මම කියවන බ්ලොග් අඩවි කීපයකටම ව්‍යාප්ත වෙලා. පෙරේද බලනකොට මාතලන් සහෝදරයත් දාලනෙ චූ කතාවක්.මටත් ඉතින් මෙහෙම වෙලාවට නිකන් ඉන්න බෑනෙ. ඒ නිසා මමත් අද කියන්න යන්නෙ චූ කතාවක්.
හැබයි මේකත් මම කියන්න හිතාගෙන හිටපු කතා ලිස්ට් එකේ තිබුන. හැමෝම චූ ගැන කතා කතා කරන වෙලාවෙ මේ ගැන ලිව්වොත් අනිත් අයගෙ චූ ගඳ නිසා මේකෙ ගඳ වැඩිය දැනෙන එකක් නෑ කියල හිතල තමයි මෙක ලියන්න මේ වෙලාවම තෝරගත්තෙ.
මගේ මතක මංපෙතම චූ ගඳින් පිරිල කියල නම හිතන්න එපා. මේක තමයි මගේ මතක මංපෙතේ තියෙන මට මතක් වෙන එකම, ඒ කියන්නෙ වන් ඇන්ඩ් ඔන්ලි චූ කතාව.
මේකත් සිද්ධ උනේ මම 5 වසරෙ ඉන්න කාලෙ. ඒකත් එසේ මෙසේ තැනකදි නෙවෙයි, මගේ ශිෂ්‍යත්ව පන්තියෙදි. මගේ දෙවනි බ්ලොග් පෝස්ට් එක, ඒ කියන්නෙ පුංචි පහේ මං කියවපු අය දන්නවනෙ මගේ ශිෂ්‍යත්ව පංතිය ගැන. නොදන්න අය දැන්ම ගිල්ල ඒ කතාවත් කියවල එන්න.
මුලින්ම කියන්න ඕන, මේක මම කරපු දඟ වැඩක් නම් නෙවෙයි. මම බලාගෙන ඉන්දෙද්දි වෙච්ච දෙයක්.
මුලින්ම පොතේ ගුරා එවල කතාවෙ පසුබිම හදමුකො.
හැම පන්තියකටම වගේ මගේ ශිෂ්‍යත්ව පන්තියටත් තිබුන ටොයිලට් එකක්. ඕකට යන්න පුලුවන් පන්තිය පටන් ගන්න කලින්, පන්තිය ඉවර උනාට පස්සෙ සහ පන්තියෙ අතරමැද දෙන විවේක කාලයෙදි, සිංහලෙන්ම කියනවනම් ඉන්ටවල් එකේදි විතරයි. පන්තිය අතරතුර යන්න ඕන නම් සර්ට විශේෂ හේතු දැක්වීමක් කරල තමයි යන්න ඕන.
සර්ගෙ තිබුනු කරුණාවන්ත කම නිසාම ළමයි කවුරුවත් පන්තිය අතරමැද ටොයිලට් යන්න අහන්නෙ නෑ. මොකද,එහෙම ඇහුවහම සර් දාන කරුණාවන්ත බැලමට එතනම සුලුදිය පහවෙන්න ඉන්ඩ තියෙන නිසා. ඇහුවත් අහන්නෙ ඉවසගන්න බැරුව රතු කට්ට පැනපු කෙනෙක් තමයි.
ඒ නිසා ඉන්ටවල් එක කියන්නෙ ඔය ටොයිලට් එක බොහොම කාර්ය බහුල වෙන වෙලාවක්.
ගැහැණු ළමයින්ගෙ ටොයිලට් එකයි පිරිමි ළමයින්ගෙ ටොයිලට් එකයි එකට අල්ලල තමයි හදල තියෙන්නෙ. වටේට අඩි 6ක විතර බිත්තියක් තියෙනව. ටොයිලට් දෙක වෙන් කරන බිත්තියත් අඩි 6ක් විතර තම්යි. (පොඩි කාලෙ ඔය බිත්ති අපිට වඩා ගොඩක් උසයි. අඩි 5 ද, 6ද කියන්න හරියටම දන්නෙ නෑ. )
ඒවගේම මුලු ටොයිලට් එකම වහල රහිත එකක්. පහලින් තියෙන රූපෙ බලන්නකො ඒ ටොයිලට් එක මොන වගේද කියල දැනගන්න. පිරිමි ළමයින්ගෙ පැත්තනම් ඔය තියෙන විදිහම තමයි. බිත්තිය වටේට පොඩි කාණුවක් තිබුන. එච්චරයි!!!!! ඊට වඩා ඉතින් ඕනෙත් නෑනෙ.හික්ස්!!!
ගැහැණු ළමයින්ගෙ පැත්ත නම් මොන වගේද කියල දන්නෙ නෑ. මොකෝ ඇතුලට ගිහිල්ල තියෙන එකක්යැ.
ඔය කාලෙ අපේ ළමයින්ගෙ අතරෙ ටොයිලට් එකේදි කරන අමුතු සෙල්ලමක් තිබුන. ඔය ඉතිං!!!!! එක එක අය දැන එක එක ඒව හිතනවනෙ. බය වෙන්න එපා, ඔය එකක්වත් නෙවෙයි. බොහොම සරල අහිංසක සෙල්ලමක්. ඒක තමයි පුලුවන් තරම උත්සාහ කරල තටමල තටමල ඔය උස බිත්තියෙන් එහාපැත්තට මුත්‍ර පාරක් විදින එක. අපි ඕකට කිව්වෙ ගිනි නිවන්න පුරුදු වෙනව කියල. හිතාගන්න බැරි අය ඔය යූ ටියිබ් එකෙන් ගිනි නිවන වීඩියෝ එකක් හොයාගෙන බලන්නකො.
හෝව් හෝව්!!!!! මේ ලිපිය කියවන කාන්තා පාර්ශවය කලබල වෙන්න එපා. මම ලංකාවට එනකොට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන්න ලේස්ති වෙන්නත් එපා.
අපි මේ ගිනි නිවීම පුරුදු වුනේ බොහොම අහිංසක විදිහට, කාටවත් කරදරයක් නොවෙන්න. ඔය ගැහැණු ළමයින්ගෙ පැත්තෙ බිත්තියට උඩින් වතුර පාරවල් විදින්න තුන් හිතකවත් තිබුනෙ නෑ. අපි ගිනි නිවීම පුරුදු වුනේ අනිත් බිත්තියෙ, ඒ කියන්නෙ ඔය පිංතූරෙ "X" කියල ලියල තියෙන බිත්තියෙ. ඔය "Y" පැත්තෙ සිද්ධ වුනේ සාමාන්‍ය ක්‍රියාකාරකම් විතරයි.
ඔය ඕනම සෙල්ලමක් කොච්චර සංතෝසෙන් සාමයෙන් කරගෙන ගියත් ඕක ලෙල්ලම වෙන වෙලාවකුත් තියෙනවනෙ. එදා කරුමෙට මාත් එතන හිටිය. ඒ වුනාට ජොලියකුත් නොතිබුනාම නෙවෙයි.
මෙන්න මේකයි සිද්ධිය.
එක දවසක් මමත් සුලුදිය පහ කරන්න ඔය ටොයිලට් එකට ගියපු වෙලාවක එකෙක් "X" පැත්තෙ බිත්තියෙ ගිනි නිවීම පුරුදු වෙනව. අනිත් කොල්ලො ටික පිටිපස්සට වෙලා චියර් එක දෙනව. බිත්තිය අපිට වඩා ගොඩක් උස නිසා බොහොම කලාතුරකින් තමයි බිත්තිය උඩින් සුලුදිය පහරක් විදින්න පුලුවන් උනේ.
මූත් මුලු ඇඟේම තියෙන වෙර දාල තටමල ගේම දෙනව. පිටිපස්සෙනුත් හොඳ චියර් පාරක් එනවනෙ. කොහොම හරි තටමල වැඩි වෙලාද කොහේද මූට ගියා පොඩි වාතයක්. වාතෙ පොඩි උනාට ටිකක් සද්දෙට ගියා. ඕකට කොල්ලො ටික බඩ අල්ලගෙන හිනා වෙන්න පටන් ගත්ත. චියර් කරපු කොල්ලො විරක් නෙවෙයි ඒ වෙනකොට සුලුදිය පහකිරීමෙ අතරමැද ලෙවල් එකේ හිටපු අයටත් මාර විදිහට හිනා. ඔය අතරෙ "Y" පැත්තෙ තමන්ගෙ පාඩුවෙ කාරිය කොර කොර හිටපු එකෙක්ටත් හෙන කික් හිනාවක් ගියා. හිනාව කොච්චර කික්ද කියන්වනම් ඒ කික් එක උගේ මුත්‍රාශයටම දැනෙන්න වැදිල තියෙනව.
හිනාවෙ පවර් එකේ සැර කමටද කොහෙද උගේ සුලුදිය පාරක් බිත්තිය උඩින් අනිත් පැත්තට විද්ද. හිතාගන්න බැරිනං පොඩ්ඩක් තදින් හිනා වෙලා බලන්නකො ඔය මුත්‍රාශය තියෙන පැත්තට කික් එකක් දැනෙන්නෙ නැද්ද කියල.
කෙල්ලොන්ගෙ පැත්තෙන් " ඊයා....... ඉකේ........යියා........." කියල සද්ද්යක් ඇහෙනව. වැඩේ දෙල් . වැදිල තියෙන්නෙ හෙන ගිනි ගොඩකට. ඒ මදිවට අරූගෙ ටැංකියෙ තිබිල තියෙන්නෙ පෙට්‍රල් ද කොහෙද. ඒ සුලුදිය පාර වැදිච්ච ගමන් එහා පැත්තෙන් හෝ ගාල ඇවිලෙන සද්දෙ ඇහෙනව.
අර චියර් දිදී ඉඳපු කොල්ලො සෙට් එක කොහෙන් ගියාද නෑ. ටොයිලට් ඒකේ ඉතුරු උනේ මමත් ඇතුලුව 5 දෙනෙක් විතරයි. ඇයි ඉතින් කාරිය කර කර ඉඳපු අය කාරිය අතරමැද නවත්තල දුවන්නයැ. සර්ගෙ කරුණාවන්ත කම දන්න නිසා අර එහා පැත්තට සුලුදිය විදපු එකාට ආයෙමත් මුත්‍ර බර හැදිල වගේ. හැමෝම මගේ දිහා බලනව. මොකද මම හැමදාඅම පන්තියෙ පළවෙනි 5 දෙනා අතර ඉන්නව. කොච්චර දඟ වැඩ කරත් සර් මට ටිකක් ආදරෙයි.
දැන් අහුවෙන්නෙ අපි 5 දෙනානෙ. 5 දෙනාම එකට එලියට ආව. එතකොට කෙල්ලො ටික සර්ටත් කතා කරල ඉවරයි. මුත්‍ර පාර වැදිච්ච ගෑණු ළමයත් බලාගෙන ඉන්නව. අම්මෝ!!!!! ඒක මහ ගිනි බෝම්බයක්!!!!
"කවුද මේ වැඩේ කරේ" සර්ගෙන් මුල්ම ප්‍රහාරය.
අපි කට්ටිය සයිලන්ට්.
සුලුදිය පාර විදපු එකා හරි අහිංසක කොල්ලෙක්. ඌ මගේ මූණ බලනව.ඒක දැකල අනිත් උන් 3දෙනත් මගේ මූන බලනව. හරියට මම වැරැද්ද කරා වගේ.
"මතක මංපෙත...... මේක තමුසෙගෙ වැඩක්ද?? මට ඇත්ත කියන්වා...." සර්ගෙන් දෙවනි ප්‍රහාරය.
" නෑ සර් මම නෙවෙයි...." මගේ උත්තරය.
"එහෙනං කවුද මේක කරේ? "
කවුරුත් සද්ද නෑ.
"කට්ටියම පන්තිය ඉවර වෙනකන් ස්ටෙජ් එක ලඟ දන ගහගෙන ඉතුරු පාඩම් ටික අහගෙන ඉන්නව. වැදිකාරය තමන්ගෙ වැරැද්ද පිලිගන්නකන් හැදාම දන ගහගෙන තමයි පන්තියෙ ඉගෙන ගන්න වෙන්නෙ." සර් බර අවි වලින් ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්ත.
එහෙම කියල සර් අනිත් පැත්ත හැරුන විතරයි එකෙක් ඉස්සරහට යන්නයි හදන්නෙ. මම උගේ බඩට ඇනල නවත්තගත්ත.පාවාදීම් වලට ඉඩ දෙන්න බෑනෙ.
එදා පන්තිය ඉවර වෙනකන්ම අපි දන ගහගෙන. පන්තිය ඉවර වෙලා සේරම ළමයි ටික යනකන් අපිව තියාගත්ත.
සෙරම ළමයි ටික ගිහිල්ල ඉවර වෙලා සර් අපි ලඟට එනකොටම අර අහිංසක වැරදිකාරය නැගිටල කිව්ව
" මම තමයි සර් බිත්තියෙන් එහාපැත්තට චූ කරේ" කියල.
ඌ බයේ ගැහෙනව.
"එහෙනම් තමුසෙගෙ වැරැද්දට මෝම දඬුවම් විඳිනකන් බලාගෙන හිටිය නෙ...."සර් නිකං යකා වගේ.
" අපි කට්ටිය කතා උනා කවුරුවත් අල්ලල නොදෙන්න. අනික මේක හිතල කරපු දෙයක් නෙවෙයි සර්" මම පට ගාල නැගිටල උතර දුන්න.
ඊට පස්සෙ වෙච්ච සිද්ධියත් කෙටියෙන් විස්තර කරල දුන්න. සර්ටත් පුංචි හිනාවක් ගියා. මම දැනගත්ත වැඩේ ශේප් කියල.
ඕක මට පොඩි කාලෙ ඉඳල තියෙන දක්ෂකමක්. කාටහරි තරහ ගිහිල්ල හිටියත් ඒක පට ගාල නිවල දාන්න මගේ වචන දෙක තුනකට පුලුවන්. ටික ටික ලොකු වෙනකොට තමයි ඒකෙ පල ප්‍රයෝජන බොහොම තියෙන විත්තිය තේරුම් ගත්තෙ.හික්ස්!!!!
අපිට ගෙදර යන්න අවසර වගේම ඊලඟ දවසෙ ඉඳල නැවතත් සුපුරුදු ඩෙස් එකේම වාඩි වෙන්නත් අවසර ලැබුන.
මම පන්තියෙ ගේට්ටුවෙන් එලියට එනකොට තාත්ත බලාගෙන ඉන්නව. හැමදාම අපිත් එක්ක එකට පන්ති ඇරිල යන මගේ ඥාති සහෝදරිය, ඒ කියන්නෙ මට වඩා දවස් 11ක් බාල මගේ නෑන තාත්තට සේරම නිවුස් එක දීල.
ඉතින් ගෙදර ගිහිල්ල ඔය සිද්ධිය ගෙදර අයටත් විස්තර කරල දුන්නට පස්සෙ තමයි මගේ නම බේරගන්න පුලුවන් උනේ. හික්ස්!!!
ඔන්න මගේ චූ කතාවත් කියල ඉවර කරා. බ්ලොග් අවකාශය චූ කතා වලින් පිරී ඉතිරී යත්වා..!!! කියල හමෝම සාදුකාරයක් දෙන්න.............
දැන් මේ චූ කතාවට කැමති අය ඉන්නවනම් ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.
අකමැති අයත් දත් මිටි කකා නිකං ඉන්න එපා. ඔය පහලින් තියෙන කොටුවෙ මට බැනල මොනව හරි ලියල යන්න.
Labels: දඟ වැඩ, නිකං ඉන්න බැරුවට, පොඩිකාලේ, මට කොයිල්

මම පහුගිය ලිපියෙ කිව්වනෙ මේ පෝස්ට් එකට ලියන්නෙ මට අවුරුදු 5 දි වෙච්ච සිද්ධියක් කියල. ඉතින් කිව්වත් වගේ ඒක තමයි මේ ලියන්න යන්නෙ.
ගොඩක් අය මොන්ටිසෝරි යන්නෙ අවුරුදු 5 දිනෙ. ඒත් මම නම් අවුරුදු 3 ඉඳල මොන්ටිසෝරි යනව.අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරපු නිසා මාව ගෙදර තියාගන්න අමාරු වෙන්න ඇති.අනික ඒ කාලෙ අපි හිටියෙ ගමෙන් බොහොම ඈත, හම්බන්තොට. මට අවුරුදු 3 උනාට මම මොන්ටිසෝරියෙ හිටපු අනිත් අයියල අක්කලට වඩා පැහිල කියලයි අම්මල තාමත් කියන්නෙ.
එහෙම කියනකොට තව පොඩි කතාවක් මතක් උනා. ළමයි මොන්ටිසෝරි යන මුල් දවසෙ අම්මල එයාලව තියල ගියහම අඬන වෙලාවල් වැඩියිනෙ. අපේ අම්මත් මාව මොන්ටිසෝරි දාන්න ගිය මුල්ම දවසෙ මාව ඉස්සරහින් වාඩි කරවල පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවලු. ඉක්මනට වැඩට යන්න ඕන උනත් මේ අවුරුදු 3නේ පොඩි එකාගෙ මුල්ම මොන්ටිසෝරි දවස, අඬන්න ගනියිද දන්නෙ නෑ කියල බයේ තමයි අම්ම එහෙම ටික වෙලාවක් නැවතිල ඉඳල තියෙන්නෙ.
එතකොට මම පිටිපස්ස හැරිල අම්මට කිව්වලු " අම්ම වැඩට යන්න. පරක්කුත් වෙනවනෙ. මොන්ටිසෝරි ඉවරවෙන වෙලාවට එක්කරගෙන යන්න එන්න" කියල.
තාමත් අම්ම සැරින් සැරේ ඔය කතාව මතක් කරනව "මුගේ ඇට්ටර කං පටන් ගත්තෙ මූ දණ ගාන්නත් කලින් ඉඳල" කියල කියන ගමන්.
හරි දැන් එමුකො අවුරුදු 5හේ කතාවට.මුලින්ම සුපුරුදු විදිහට පොතේ ගුරා එවල පසුබිම හදන්නම්.
මම අවුරුදු 5හේ දි, ඒ කියන්නෙ නිල වශයෙන් මොන්ටිසෝරි ගියේ ගාල්ල කොන්වන්ට් එකේ මොන්ටිසෝරියට. ඔය කාලෙ අපි හික්කඩුවෙ අලුතින් ගෙයක් හදන කාලෙ. ඒ නිසා පදිංචි වෙලා හිටියෙ ඒ හදන ගෙට අල්ලපු වත්තෙ තිබුනු තාත්තගෙ මහගෙදර. ඒ ගෙදර එක කාමරයක අම්මයි තාත්තයි අක්කයි හිටිය. හතර දෙනෙක්ට ඉඩ මදි හින්ද, මම ඒ කාලෙ නැවතිලා හිටියෙ ඊට කිලෝමීටර් දෙකක් විතර ඈතින් තිබුනු අම්මලගෙ මහගෙදර. දොඩන්දුවෙ මහපාර අයිනෙම තිබුනු ගෙයක්. ඉස්සරහ දොරෙන් එලියට බැස්සොත් ගාලු පාර. පිටිපස්සෙ දොරෙන් එලියට බැස්සොත් මුහුදු වෙරළ. මාව බලාගන්න බාර වෙලා තිබුනෙ අම්මගෙ අම්මට. මුනුපුරු මිනිපිරියො හැමෝම එයාට කිව්වෙ "අම්මම්ම" කියල. ඔය නම දාල තියෙන්නෙ අපේ අක්ක. අක්ක තමයි අම්මම්මගෙ මුලම මිනිපිරී.
මම පොඩි කාලෙ ඉඳල තාමත් කිරිබත් කන්න මාර විදිහට ආසයි. ලංකාවෙ කවුද කිරිබත් කන්න අකමැති. හික්ස්!!!
ඒත් මට පොඩි කාලෙ ඉඳලම සෙම් රෝග ටිකක් විතර වැඩියි. ඒ නිසා කිරිබත් දෙන එක ටිකක් විතර පාලනය කරලයි තිබුනෙ. අනික මම ගෙදර ඉන්නවනම් හැමදාම උදේට ඉල්ලන්නෙ කිරිබත්නෙ. ඉතින් කාටද පුලුවන් මට හැමදාම කිරිබත් හදල දෙන්න.
ඕකට අම්මම්ම හොයාගෙන තිබුන හොඳ පිළියමක්. මම කිරිබත් ඉල්ලනකොට කියනව " අද කිරිබත් ගහේ පොල් ඉවරයි. ආයෙත් කඩනකන් ඉන්න වෙනව" කියල.
දැන් කස්ටිය බලනව ඇති මොකක්ද මේ කිරිබත් ගහ කියල.
ඒහේ වත්තෙ හොඳ සරු පොල් ගස් 10 ක් විතර තිබුන. ඒ නිසා කවදාවත් කඩෙන් පොල් ගෙනාවෙ නෑ. ඔය අතරිනුත් උසම ගහ තමයි කිරිබත් ගහ. මට කියල දීල තිබුනු විදිහට ඒකෙ පොල් වලින් විතරයි කිරිබත් හදන්න පුලුව. අනිත් ගස් වල පොල් වලින් කෑම උයන්න පුලුවන් උනාට කිරිබත් හදන්න බෑ. ඉතින් මට කිරිබත් කන්න නම් කිරිබත් ගහේ පොල් කඩනකං ඉන්න ඕන. පිටිපස්සෙ මඩුවෙ පොල් ගොඩ ගහල තිබුනට කිරිබත් ගහේ පොල් වෙන්කරල අඳුරගන්න පුලුවන් අම්මම්මට විතරයි. ඒ නිසා මගේ කිරිබත් කෑමේ අයිතිවාසිකම අම්මම්මයි මේ කිරිබත් ගහයි විසින් අම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තමයි තිබුනෙ.
මමත් ඉතින් අවුරුදු 5 පොඩි එකා උනාට වෙන දෙයක් වෙන්න කියල ඔහේ බලාගෙන ඉඳීමෙ සිරිතක් තිබුනෙ නෑනෙ. කිරිබත් කෑමේ ආශාවත් ඉතින් සුලුපටු දෙයක්ද. මම ගැහුව බොහොම සිම්පල් ප්ලෑන් එකක්.
මම බලාගෙන හිටියෙ ඊලඟට පොල් කඩන දවස එනකන්. එදා කිරිබත් ගහෙන් කඩන පොල් ටික මම වෙනමම අහුලල මඩුවෙ වෙනම මුල්ලක්ට ගොඩ ගහගත්ත. ඊට පස්සෙ ප්ලැටිග්නම් එකකකින් ඒ හැම පොල් ගෙඩියෙම රවුමක් ඇන්ද. කිරිබත් ගහෙන් කොහොමත් එක පාරකට පොල් ගෙඩි 15~20 ක් කඩන නිසා සති පහලවක් විස්සක් විතර වීක් එන්ඩ් එකට ඇතිවෙන්න කිරිබත් කන්න පුලුවන්.
කිරිබත් ගහේ පොල් ඉවරයි කියපු ගමන් මම මගේ පොල් ගොඩෙන් පොල් ගෙඩියක් දෙනැල්ල දෙනව. ඉතින් අම්මම්මත් කරන්න දෙයක් නැති නිසා කිරිබත් හදල දෙන්ව.
මම ඔය විදිහට කෝටා ක්‍රමයට පොල් රිලීස් කරපු නිසා අම්මම්මට කට උත්තර නෑ. මගේ පොල් ගොඩේ තිබුනු පොල් ගෙඩි ගාන ගනන් කරල තියාගෙන තිබුණු නිසා (අවුරුදු 3ක්ම මොන්ටිසෝරියෙ මාර ඇට, ඔලිඳ ඇට ගනන් කරපු මට පොල් ගෙඩි විස්සක් ගනන් කරනව කියන්නෙ ඒ හැටි කජ්ජක්යැ ) මට හොරෙන් පොල් ඔයන්නත් (ලෙලි ගහන්න ) බෑ. එහෙම කරල තිබුනොත් එදාට ගාලු පාරෙ වාහන ගිහිල්ලත් හමාරයි කියල ගෙදර අය දන්නව. ඒ කාලෙ මම ඒ තරම්ම අහිංසක කොලු පැටියෙක්නෙ. ඒකයි.හික්ස්!!!!
ඔය ගේම කොච්චර කල් ගෙනිච්චද කියලනම් මට හරියටම මතක නෑ. ඒත් තවත් අවුරුදු 2ක් විතර යනකන් ඔය කිරිබත් ගහේ පොල් නැතුව කිරිබත් හදන්න බෑ කියන එකනං විස්වාස කරා.
පොඩි කාලෙ ඉඳන්ම මාව හොඳට රැක බලාගත්තු අම්ම්මම්ම නම් තාමත් මම ලංකාවට එන්නෙ කවදද කියල නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්නව කියන එකත් අන්තිමටම කියන්න ඕන.
Labels: දඟ වැඩ, පොඩිකාලේ, මට කොයිල්

පොත් ගැන ලියල මට මහන්සියි වගේම පොත් ගැන කියවල ඔයාලටත් හොඳටම මහන්සි ඇතිනෙ.වෙන මොනව හරි පරණ කතාවක් ලියන්න ඕන කියල හිතනකොට තමයි මේ කතාව මතක් උනේ.
ඒ නිසා අද කියන්න යන්නෙ මම 2 වසරෙ ඉන්නකොට වෙච්ච සිද්ධියක්. ඔය කාලෙ අපේ වටපිටාවෙ අපිට නොතේරෙන කොච්චරනං දේවල් තියෙනවද. ගොඩක් අය එතකොට අරන්නෙ දෙමවුපියන්ගෙන්, වැඩිමල් සහෝදරයෙක්ගෙන් එහෙමත් නැත්නම් වැඩිහිටියෙක්ගෙන් අහල ඒ ප්‍රශ්ණ නිරාකරණය කරගන්න එකනෙ.
ඒත් මමනම් එහෙම ඇහුවෙ නොකරම බැරි වෙලාවක විතරයි. ඒක තමයි මගේ ෆයිනල් ඔප්ශන් එක. පුලුවන් තරම් හැම දේටම තනියම උත්තර හොයාගන්න තමයි බැලුවෙ. ඉතින් අද කියන්න යන්නෙ එහෙම තනියම උත්තර හොයන්න ගිහිල්ල මට වෙච්ච ඇබැද්දියක් ගැන.
මුලින්ම සුපුරුදු විදිහට පොතේ ගුරා එවල කතාවෙ පසුබිම හදල ගමුකො.
මම ඒ කාලෙ අත්කම් නිර්මාණ කරන්නත් මාර ආසයි. ඒකට වැඩියක්ම බලපෑවෙ අක්ක මට වඩා අවුරුදු 5ක්ම වැඩිමල් වුනු එක වෙන්න ඇති. එතකොට 7 වසරෙ හිටපු අක්ක ඉස්කෝලෙ ජීවන කුසලතා වලදි ඉගෙනගත්තු හැමදෙයක්ම වගේ ගෙදරදි මට උගන්නනව. මිදුලෙ පිපෙන මල් ප්‍රෙස් කරල සුභපැතුම් කාඩ් හදන්න. වත්ත පහලින් හුඹස් මැටි ගෙනැල්ල මැටි පුවරු, බිත්ති සැරසිලි හදන්න. ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් මල්වාස් හදන්න. වැල්ලෙන් අහුලගෙන එන සිප්පිකටු, හඳපලු, ගොංගො (කවඩි ) වලින් එක එක සත්තු හදන්න. මල් පැල බද්ධ කරන්න. කුකුල් සායම් වලින් දෙදි බතික් කරන්න.රැලි බකට්, අවාන්, බට පොතු වට්ටි, ......... කියන්වනම් තව කොච්චර තියෙන්වද!!!!!
නිවාඩු කාලෙ කියන්නෙ මටයි අක්කටයි නම් කිසිම නිවාඩුවක් නැති කාලයක්. අපරාදෙ කියන්න බෑ දෙක වසර වෙනකොට මම ඔය ඔක්කොම ශිලප හොඳට ප්‍රගුණ කරල තිබුනෙ. වැඩි හරියක් ගෑනු ළමයි ඉගෙන ගන්න අත්කම් තමයි. කොටින්ම කිව්වොත් මට ඔය කාලෙ වෙනකොට ලේන්සු වල මල් මහන්නත් පුලුවන්. හික්ස්!!!!!
ඒ වගේම තමයි ඔය කාලෙ ඒ වයසෙ ළමයි අතරෙ (දෙමවුපියන් අතරෙ???) බොහොම ජනප්‍රිය ළමා පත්තර දෙකක් තමයි "පුංචි" සහ "බිංදු" කියන්නෙ. තව එක එක ළමා පත්තර තිබුනත් අපේ තාත්ත හැම ඉරිදම පොළේ ගිහින් එනකොට මට ගේන්නෙ ඔය පත්තර දෙක තමයි. ඔය පත්තර දෙකේ තියෙන අමතර අභ්‍යාස එහෙම මගේ ඉගෙනීමට ගොඩක් වැදගත් කියල තාත්තගෙ ලොකු විස්වාසයක් තිබුන. ඒත් මමනම් කියෙව්වෙ ඒ පත්තර වල තියෙන කතා විතරයි.
ඉතින් ඔය පතර වල තියෙනවනෙ එක එක අත්කම් නිර්මාණ කරන හැටි ගැනත්. මටත් මාර ආසයි ඒව කරල බලන්න. ඒවට අවශ්‍ය අඩුම කුඩුම නම් මගේ පොත් කබඩ් එක ඇතුලෙ ඕන තරම් තියෙනව. ඩිමයි කොල ද, වාර්නිශ් කොල ද,බ්‍රවුන් පේපර් ද, හිස් ගිනි පෙට්ටි ද, බ්‍රිස්ල් බෝඩ් ද,පාට කූරු, කතුරු, ස්ටේප්ලර්, ගම්, ..... මේ එකී නොකී ඕනම දෙයක් පොත් කබඩ් එක ඇතුලෙ ඇතුලෙ අඩු වැඩි වශයෙන් තිබුන.
ඒ වුනත් ඔය අත්කම් නිර්මාණ හැම එකකටම වගේ ඕන වුනු එක දෙයක් මගේ ලඟ තිබුනෙ නෑ. ඒ නිසා මට පත්තර බලල නිර්මාණ කරන්න පුලුවන් උනේ බොහොම ටිකයි.
හිතාගන්න පුලුවන්ද මොනවද අඩු වෙලා හිටියෙ කියල.
"මැලියම්"
උදේ හවස සිග්නල් වලින් දත් මැදපු මගේ ලඟ කොහෙද මැලියම්. අර TV එකෙත් කියන්නෙ "මැලියම් නොමැති දත් දෙපෙළක් සඳහා සිග්නල් වලින් දත් මදින්න" කියල.
අනික, උදේ පාන්දර දත් මදින්න කලින් මැලියම් පොඩ්ඩක් එකතු කරගත්තත්, මොන හිතකින්ද ඒ ටික ඇඟිල්ලෙන් අරගෙන කොල කෑලි වල ගාන්නෙ. නියපොත්තෙන් දත් හීරුවත් කැත වැඩ කරන්ව කියල සද්දෙ දාන අම්මට එහෙම අහු උනොත් තවත් දේසනාවක් අහගන්න පුලුවන්.මොලේ කුරෝලු වෙනකන් කල්පන්න කරත් විසඳුමක් හිතාගන්න බෑ.
ඔන්න ඔය අතරෙ තමයි "පුංචි" පත්තරේ අත්වැඩ පිටුවෙ ලස්සන කරත්ත හැඩේ පැන්සල් රඳවනයක් හදන හැටි කියල තිබුනෙ. හැදුවට පස්සෙ මොන විදිහද කියල පින්තූරෙකුත් දාල තිබුන. ඒත් අවශ්‍ය බඩු ලැයිස්තුවෙ "මැලියම් ස්වල්පයක්" කියල ලියල තියෙන්ව. ස්වල්පයක් කිව්වට කොච්චර ඕන වෙද කියල කවුද දනෙ. හදන්න අරගෙන මදි වුනොත් ඊලඟ උදේ වෙනකන් බලාගෙන ඉන්නත් වෙනවනෙ. ඒත් කරත්තෙ පින්ත්තුරෙ දකින කොට හදන්නමයි ආසාව.
ඔන්න ඔය වෙලාවට තම්යි අර මගේ අන්තිම ඔප්ශන් එක, ඒ කියන්නෙ අක්කගෙන් අහන්න සිද්ධ වෙන්නෙ. ඒත් අප්ප මැලියම් එකතු කරගන්න හැටි අක්කගෙන් අහන්නෙ මොන හිතකින්ද? අනික අත්කම් වලට මොකට මැලියම්? ඕක ඇතුලෙ මට නොතේරෙන මොකක් හරි ට්‍රික් එකක් එහෙම තිබුනොත් වස නෝන්ඩිය. අක්කනම් ගානක් නෑ. එයා කවදාවත් මට නෝන්ඩි දාන්නෙ නෑ. ඇල්වතුරත් නිවලනෙ බොන්නෙ. ඒත් බැරි වෙලාවත් පුංචි දැනගත්තොත් ඉඳල හමාරයි. වධකාර අක්ක කෙනෙක් වෙනුවට මට හිටියෙ මේ පුංචි තමයි. එයා අපේ අක්කට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල්. අපි දෙන්න තමයි නිතරම වලි දාගෙන ගෙදර දෙවනත් කරන්නෙ. අක්ක තමයි සාධාරණ කොටා.හික්ස්!!!!
ඒ නිසා මගේ නොදන්න කමත් වහගෙන අක්කගෙන් මැලියම් ගැන අහගන්න ක්‍රමයක් කල්පනා කරා. ඉරිද උදේම නැගිටල ගිහිල්ල අක්කගෙන් ඇහුව "හෙට ඉස්කෝලෙ අත්කම් වලට මැලියම් ටිකක් ගේන්න කියල තියෙනව. මොකද කරන්නෙ?" කියල.කොහොමද ටිකිරි මොලේ.හික්ස්!!!. අක්ක පටස් ගාල එයාගෙ ක්බඩ් එක ඇරල නිකං ගම් බෝතලේකුයි බයින්ඩින් ගම් බෝතලේකුයි දෙකක්ම දුන්න ඉස්කෝලෙ ගිල්ල ආවට පස්සෙ ආපහු දෙන්න කියල. එතකොටයි මම දන්නෙ මේ "මැලියම්" කියන්නෙ "ගම්" වලට කියල.
පත්තර වල ඕක පොඩි එකෙක්ට තේරෙන බාසාවෙන් "ගම්" කියල ලියල තිබුනනම් ඉවරනෙ.ඒ කාලෙ ගෙයි කෑල්ලක් හදන නිසා හාකබොන්ඩ්, මල්ටිබොන්ඩ්, කෙම්ෆෙක්ස්, ... ඔය ඕන ගම් ජාතියක් ගෙදර තිබුන. තව පොඩ්ඩෙන් මමත් නිස්කාරනේ මගේ දත් ටික හූරල තමයි අත්කම් වලට ඕන මැලියම් ටික හොයාගන්නෙ.
අර හදපු කරත්ත හැඩේ පැන්සල් රඳවනෙත් තවත් අවුරුදු කීපයක්ම මගේ මේසෙ උඩ යහතින් තිබුන කියලනං අන්තිමටම කියන්න කැමතියි.
Labels: අක්කා, දඟ වැඩ, පුංචි, පොඩිකාලේ, මට කොයිල්



