Thursday, August 04, 2011

සම්මත / අසම්මත -2 !!!


මගේ යහලුවෙකුගෙ ප්‍රේම සම්බන්ධයකට මම යන්තමට ගෑවුණු හැටි කලින් පෝස්ට් එකේදි පැහැදිලි කරානෙ.
කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවල එන්න. නැත්නම් කතාවෙ අගක් මුලක් තේරෙන එකක් නෑ.
අද මම කියන්න යන්නෙ ඒ කතාවෙ වර්තමානය. ඒ වගේම හීනෙකින්වත් නොහිතපු විදිහට මම මේ කතාවට තවත් පැටලුනු හැටි.

මමත් දැන් ටෝකියෝ වල එක්තරා සමාගමක Engineer කෙනෙක් විදිහට රැකියාව කරනව. රැකියාව පටන්ගතෙ ගිය අප්‍රේල් වල. මම වැඩ කරන්නෙ Field Engineering Section එකේ. මීට මාසෙකට විතර කලින් මම වැඩ කරපු Project එකක තිබුණු Technical Problem එකක් මට අහුවුනා. මට අදාල කොටසක් නොවුනත් මම ඒ වැරැද්ද දැකපු එකෙන් සමාගමට වෙන්න තිබුණු යෙන් මිලියන 5ක විතර පාඩුවක් වැළකුනා. මේ සිද්ධිය නිසා Project Planning වල Section Manager මාත් එක්ක බොහොම හිතවත් උනා. මම අර වැරැද්ද දැක්කෙ නැත්නම් ඔහුගෙ කණ්ඩායමට තමයි වගකීම ගන්න වෙන්නෙ. ඔහු මට වඩා බොහොම ඉහල නිලයක් දරන කෙනෙක් උනත් මට යාලුවෙක්ට වගේ තමයි සැලකුවෙ. ටික දවසක් කතාබහ කරන කොට මට තේරුනා ඔහු බොහොම හොඳ පුද්ගලයෙක් බව.
මීට සති දෙකකට විතර කලින් ඔහු මට රෑ කෑමකට ආරාධනා කලා ඔහුගෙ ගෙදරට. ජපන් ජාතිකයො වැඩිය ගෙදරට අමුත්තන්ට ආරධනා කරන්නෙ නැහැ. පිටත රෙස්ටුරන්ට් එකකදි තමයි බොහෝ වෙලාවට අමුත්තන්ට සංග්‍රහ කරන්නෙ. කෑමට සහභාගී වෙන්න හිටියෙ ඔහුත් ඔහුගෙ බිරිඳත් බිඳගෙ නංගිත්.(ඇය මට වඩා අවුරුද්දකින් බාලයි. මොකටද මට කෑමකට කතා කරේ කියල තේරෙනව ඇතිනෙ. ඔව්!! ඔව්!! මගුලකට තමයි )මම ගෙදරට ගොඩවෙනකොටම මාව පිළිගත්තෙ මගේ කාර්යාල මිතුරා. ඊ ලඟට මාව ඔහුගෙ නෑනට (බිරිඳගෙ නංගිට ) හඳුන්වල දුන්න. බොහොම ලස්සන නිවිච්ච පෙනුම තියෙන ගෑණු ළමයෙක් (ඒත් ඉතින් මම අයිති වෙන කෙනෙකුටනේ ).
ඒ වෙලාවෙ තමයි ඔහුගෙ බිරිඳ ගේ ඇතුලෙ ඉඳල ඉස්සරහට ආවෙ. ඇවුරුද්දකින් විතර මුනගැහිල නොතිබුනත් අපි දෙන්නට එකිනෙකාව අඳුරගන්න නිමේෂයකට වඩා ගතවුනේ නෑ. මම ලේසියෙන් කලබල වෙන කෙනෙක් නොවුනත් ඒ වෙලාවෙ නම් මගේ ස්නායු උපරිම විදිහට කම්පනය වෙලයි තිබුනෙ. ඒත් මම පිටතින් කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව හිටිය. ඇය නම් බොහොම අමාරුවෙන් තමයි මුල්ම කම්පනය දරාගත්තෙ. ඒත් මම ඉක්මනටම සාමාන්‍ය ජපන් ක්‍රමයට " මුල්ම වතාවට මුණගැසීම සතුටක්" කියල ආචාර කරා ( අපි දෙන්න මුණගැහෙන මුල්ම වතාව ඒක නොවුනත් ). මට ඒ වෙලාවෙ හරිවැරැද්ද විශ්ලේෂණය කරකර ඉන්න වෙලාවක් තිබුණෙනෑ. මම පුලුවන් තරම් සාමාන්‍ය විදිහට රෑ කෑමට සහභාගී උනත් ඇය සාමාන්‍ය විදිහට ඉන්න බොහොම ලොකු උත්සාහයක් ගන්න බව මට තේරුණා. තමන්ගෙ ස්වාමිය ගෙදරට ආරධනා කරපු මිතුරා, තමන්ගෙ නැගණියව හඳුන්වල දෙන්න හදපු මිතුරා, තමන් බොහොම කාලයක් තිස්සෙ රැකගෙන ආපු, තමන්ගෙ ජීවිත වගේම පවුලෙ අයෙගෙත් ජීවිත වෙනස් කරන්න පුලුවන් රහසක් ගැන සේරම තොරතුරු දන්නව කියල හිතෙනකොට කලබල නොවී ඉඳියිද!!
මේ කෙළි අස්සෙ නංගිත් මැදට එන්න හැදුවොත් මලකෙළි දෙකක් වෙන නිසා මම ඉඩ ලැබුණු මුල්ම වතාවෙම ආදරේ ගැන මාතෘකාවක් ඇදල අරගෙන, කාගෙත් හිත නොරිදෙන විදිහට, මට කෙනෙක් ඉන්නව කියල කිව්ව.
එදා දවස තවත් අමතර සිද්ධියක් නැතුව ගෙවිලගියා. පහුවෙනිද මගේ කැම්පස් යාලුවගෙ පෙම්වතිය, එහෙමත් නැත්නම් වැඩකරන තැන යාලුවගෙ බිරිඳ, මට Call කලා. මම ඇගේ සැමියව අඳුරගත්තු විදිහ මම ඇයට විස්තර කරල දුන්න. ඒ වගේම අපි දෙන්නගෙ ඇඳුනුම් කම රහසක් විදිහට තියාගන්න කියලත් ඇය මගෙන් ඉල්ලීමක් කලා. මේ සිද්ධිය ගැන මගේ කාර්යාල සගයත් එක්ක කතාකරන්න මගේ හිතේ කිසිම අදහසක් නොතිබුණු නිසා ඒ පොරොන්දුව ගැටලුවක් උනේ නෑ. ඒ වගේම මේ තුන්කොණ් ආදර කතාවට මාව තව දුරටත් ගාවගන්නෙ නෑ කියලත් ඇය මට පොරොන්දු වුනා. මමත් ඒකටනම් බොහොම කැමැත්තෙන් එකඟ උනා.

මේ සිද්ධිය මේ දවස් වල මගේ හිතට ගොඩක් වධ දෙන නිසයි බ්ලොග් එකේ හරි ලියන්න හිතුනෙ. මට දැනෙන්නෙ නිකං, පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගිනිකන්දක් උඩ ඉඳගෙන ඒක පුපුරන බව දැන දැනත් මුකුත්ම කරකියාගන්න බැරුව ඉන්නව වගේ.
මේ සිද්ධිය අරගෙන මල් නවකතාවක් උනත් ලියන්න පුලුවන් ( සුජීව ප්‍රසන්නආරච්චි දැනටමත් මේ වගේ එකක් ලියල නැත්නම්.. ) ඒ උනත් මම කොහෙද ඕව ලියන්න්නෙ. ඒ නිසා ඔන්න රචනාවක් ලියල දැම්ම.
මේ සිද්ධියෙ කවුද වැරදි, කවුද හරි කියල කියන්න මට තේරෙන්නෙ නෑ. ඇයත් මගේ කැම්පස් සගයත් වැරදියි කියල මට අවංකවම කියන්න බෑ. ඒ උනත් උන් දෙන්න හරි කියල කියන්නත් මට බෑ. වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතය ගතකරන හැටි ගැන විනිශ්චය කරන්න මම කවුද. මගේ කාර්යාල සගයත් බොහොම හොඳ කෙනෙක්. ඒත් ආදරයක් නැති විවාහයක ඉඳල ඔහුට සතුටක් ලැබෙයිද? තුන්දෙනාම කතාබහ කරල විසඳ ගන්න ඕන ප්‍රෂ්ණයක් නේද මේක?

ගොඩක් දිග කතාවක් ලිව්ව එකට වගේම කතාව කුට්ටි කරපු එකටත් සමා වෙන්න. ඒත් මේක මීට වඩා කෙටිකරල ලියන්න ක්‍රමයක් හිතාගන්න බැරි උනා.
මම මේ ප්‍රෂ්ණයට තවදුරටත් සම්බන්ධ වෙන්න අදහසක් නැති උනත් බ්ලොග් මිතුරන් අතරේ මේ ගැන කතාබහ කරන්න තහනමක් නෑනෙ. ඒ නිසා මේ කතාව හැම දෙනාටම සංවාදයට විවෘතයි.

4 comments:

Anonymous said...

ane manda ubatath wena wada..ube hita hoda nesai ohama dara ganna amaru.balan yanakota api wage eunuth me loke innawa

මතක මංපෙත said...

@ Ano

ජීවිතේ හැටිනෙ බං.
පොඩි කාලෙ නම් වෙන දෙයක් වෙන්න දීල බලාගෙන ඉන්න සිරිතක් මගේ තිබුනෙ නෑ. ඒත් දැන් එහෙම බෑනෙ. සමහර වෙලාවට ඔහේ වෙන දෙයක් වෙන්න කියල බලාගෙන ඉන්න සිද්ධ වෙනව.
ඒකයි කාටවත් කියාගන්න බැරි මේ කතාව බ්ලොග් එකේ ලිව්වෙ.

නදී said...

මම් මේ මුල්ම වතාවට බ්ලොග් එකට ගොඩ උනා වෙන්න ඕනේ,කතාව 2 කොටස නිසා හරි හැටි තේරුමක් ආවෙ නෑ.කෝක උනත් දැනිච්ච හැටියට ලගදිම වැඩේ පත්තු වෙන්න වගේ යන්නෙ.පරිස්සමෙන්.

කතන්දර Kathandara said...

මේව ජීවිතවල සාමාන්‍ය දේවල් නොවුණත් අසාමාන්‍ය දේවල් නොවේ. එකම වෙනස දැන් ඔබ සැමියා, බිරිඳ සහ අනියම් පෙම්වතා යන තිදෙනාම හොඳින් ඇඳිනීම විතරයි.

ඒ කොයින්සිඩන්ස් එක අමතක කළ විට මේ වගේ සිද්ධීන් දහසක් මේ ලෝකේ තියෙනවා.

කොහොම වුනත් ආපහු බ්ලොග් එකට බැස්ස එක ගැන සතුටුයි!

Post a Comment