Wednesday, August 03, 2011

සම්මත / අසම්මත !!! -1


අවුරුද්දක විතර කාලයක් නිහඬව ඉඳල එකපාරටම කතා කරන්න ගත්තෙ බොහොම බැරෑරුම් ටොපික් එකක්. ඒත් මේ දවස් ටිකේ මගේ හිතට බොහොම තදින් වද දෙන ගැටළුවක් ගැන බ්ලොග් අවකාශය තුල පොඩි සංවාදයකට මුලපුරන්න තමයි මගේ අදහස. බොහොම කාලයක් පෝස්ට් එකක් නොදා හිටපු නිසා බොහෝ දෙනෙක්ට මේ ලිපිය මගඇරේවිද කියල්ත් පොඩි සැකයක් තියෙනව. කොහොම නමුත් ලියල බලමුකො.මේක කොච්චර දිග ලිපියක් වෙයිද කියල මට දැන්ම කියන්න බෑ. ඒත් කඩදහිය ලිපේ දාල ආපු අය ඉන්නවනම් කඩදහි පුච්චන්නෙ නැති වෙලාවක් බලල මේක කියවන්න පටන් ගත්තොත් හොඳයි කියලයි මගේ අදහස.
මේක මගේ හිතට වධ දෙන ගැටලුවක් කිව්වට මම තහනම් පෙමක පැටලිලා එහෙම නෙවෙයි. මේක මම දන්න අඳුනන කිහිප දෙනෙක්ගෙ කතාවක්. ඒත් පුදුමාකාර විදිහට මම මේ කතාව ඇතුලෙ හිර වෙලා. ඒ නිසා, කාටවත් කියාගන්න බැරුව හිත අතුලෙ හිරකරගෙන ඉන්න කතාවක් බ්ලොග් එකේවත් ලියල හිත ටිකක් සැහැල්ලු කරගන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්. ටිකක් දිග කතාවක් උනත් මුල ඉඳලම පටන් ගනිමුකො.
මේ කතාව පටන්ගන්නෙ අවුරුදු දෙකහමාරකට විතර කලින් Uni එකේ දෙවනි අවුරුද්දෙ අන්තිම කාලෙ. මගේ පන්තියෙ යාලුවෙක්- මම Uni එකට ඇතුල් වුනු මුල්මකාලෙ මට ඒ තරමටම ජපන් භාෂාව බැරි කාලෙ මට ගොඩක් උදවු කරපු යාලුවෙක් මගේ ලඟට ඇවිත් කියනව මාත් එක්ක්ක කතා කරන්න එයාට බැරෑරුම් ප්‍රෂ්ණයක් තියෙනව කියල. වෙනත් ජපන් යාලුවෙක්ට මේ කතාව කිව්වොත් ඒක සැහැල්ලුවට ගන්න ඉඩ තියෙන නිසා මාත් එක්ක ඒ ගැන කතා කරන්න හිතුවලු. විසඳුමක් දෙන්න බැරි වෙන්න පුලුවන් උනත් කතාව අහගෙන ඉන්න මම පොරොන්දු වුනා.
මාස හතරකට විතර කලින් ඔහු Part Time කරන සුපර්මර්කට් එකේ Flower Shop එකක් කරගෙන යන කාන්තාවක් එක්ක මොහු ඇස් වලින් කතා කරන්න පටන් ගන්නව. ඊට මාසෙකට විතර පස්සෙ දෙන්න කතාබහ කරල දැන අඳුන ගන්නව. එකට ඇවිදින්න එහෙම යනව. ආදරය කරන්න පටන් ගන්නව. බොහොම සුන්දර විදිහට පෙනෙන ආදර කතාවක් උනත් ඒ වෙන කොට ඔහුට වයස 21 උනා විතරයි. ඇයට 30යි. ඔහු තවත් අවුරුදු 2යි මාස 3ක් යනකන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඇය මල් වෙළඳ සැලක හිමි කාරියක්. බරපතලම දෙය ඔහු ආදරයට කෝඩුකාරයෙක් වුනත් ඇය අවුරුදු 4ක විවාහ ජීවිතයක් ගතකරන කාන්තාවක්. ඔහුම කියනව ඇයගෙ ස්වාමි පුරුෂයත් බොහොම හොඳ කෙනෙක් කියල. පැය දෙකකටත් වඩා දිග්ගැහුණු කතාවක සාරාංශය ඔහොමයි.
වචනයෙන් මොකවත් නොකිව්වට, මමත් ඒ වෙලාවෙ හිතුවෙ මේක ටික දවසකින් නැතිවෙලා යන හුදු ආකර්ෂණයක් විතරයි කියල. මම ඔහුට කිව්වෙ "පවුලක් කඩා කප්පල් කරල සතුට හොයන එක බොහොම අවදානම් වැඩක්, ඒ නිසා කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න" කියල විතරයි. ඉන් පසුව අපි අතර මේ ගැන වැඩිහමන් කතාබහක් නොවුනත් මේ සංවාදයෙන් මාස 8කට විතර පස්සෙ බාස්කට් බෝල් ගේම් එකක් ඉවරවෙලා ආපහු එන අතරෙ මගේ ජපන් මිතුරා මට කියන්ව ඔහු ඉගෙනීම අත් ඇරල රැකියාවක් හොයන්න කල්පනා කරනව කියල. ඔහු ඇයත් එක්ක එකට ජීවිතයක් පටන් ගන්න කල්පනා කරනව. මම සාමාන්‍යයෙන් ආදර සම්බන්ධ වලදි උපදෙස් දෙන්න යන්නෙ නැති උනත් මේ වෙලාවෙදි මට නිහඬව ඉන්න බැරි උනා. මම ඔහුට කිව්ව මට ඉක්මනටම ඔහුත් ඇයත් දෙන්නටම එකට කතා කරන්න අවෂ්‍ය බව.
සතියකට විතර පස්සෙ හවස් වරුවක අපි තුන්දෙනා Cafe එකකදි හමු වුනා. මට මුලින්ම වැටහුණු දෙයක් තමයි ,දෙන්නගෙ සම්බන්ධය ගැන මම මුලින් හිතාගෙන ඉඳපු විදිහ වැරදියි කියල. ඔවුන් දිහා බ්ලපු ගමන් කියන්න පුලුවන් දෙන්න ඇත්තටම එකිනෙකාට ආදරය කරනව කියල. ඒ කොහොමද කියල අහන්න එපා. ඒත් ඇත්තටම ආදරය කරන් දෙන්නෙක් ඒ ආදරය හංගන්න හදන්නෙ නැත්නම් දෙන්න දිහා බලල කියන්න පුලුවන් ඒ අය ඇත්තටම ආදරය කරනවද නැද්ද කියල. දෙන්නගෙ සම්බන්ධයට විරුද්ද වෙනව කියල නොපෙන්නන්න වගේම සම්බන්ධය අනුමත කරනව කියලත් නොපෙන්නන්න මම ඒ වෙලාවෙ බොහොම පරිස්සම් උනා. ටික වෙලාවක් කතාකරනකොට මට තේරුනා ඇය ඇගේ සැමියට බොහොම ගෞරව කරනව කියල. මගේ යාලුවත් ඒ ගැන අමනාපයක්වත් ඊර්ෂ්‍යාවක්වත් පෙන්නුවෙ නෑ. ඇයත් ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ මගේ මිතුරා ඉගෙනීම අත් අරින්න යන බව. අපි දෙන්නම එකතුවෙලා ඔහුට පැහදිලි කරල දුන්න මොනව කරන්නත් කලින් ඉගෙනීම ඉවර කරල ඉන්න කියල. ඇයත් කිව්ව ඇයට දැන්ම සැමියගෙන් වෙන් වෙන්න් බෑ කියල. ඒ වෙලාවෙ මගේ මුහුණෙ ඉරියවු පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ඇති. මොකද අයට දැනුන මගේ හිතේ තියෙන ප්‍රෂ්ණය. එතකොට තමයි ඇය ඇගේ කතාව පටන්ගත්තෙ.
ඇගේ විවාහය යෝජනා විවාහයක්. ඇගේ පවුලත් සැමියගෙ පවුලත් බොහොම කාලයක ඉඳන් දන්න අඳුනන පවුල් දෙකක්. ඔහු සමාගමක විධාක මට්ටමේ නිලයක් දරන බොහොම කරුණාවන්ත කෙනෙක්. ඔහු ඇයට වඩා අවුරුදු 2ක් වයසින් වැඩියි වගේම දෙන්න පොඩිකාලෙ ඉඳලම එකිනෙකාව හොඳට දන්නව. නමුත් දෙන්නටම විවාහයට කලින් වෙන ප්‍රේම සම්බන්ධතා තිබිල තියෙනව. ඒත් ඒ එකක්වත් සාර්ථක ඒව නොවුණු නිසා අන්තිමට පවුල් දෙක අතරෙ ඇතිවෙච්ච යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි දෙන්න විවාහ වෙන්නෙ. ඔහුත් බොහොම හොඳට ඇගේ දුක සැප හොයා බලල කිසිම අඩුවක් නොකර සලකනව වගේම ඇයත් ඇගේ යුතුකම් අඩුවක් නැතුව කරනව. ලිංගික ජීවිතයෙදිත් කිසිම අඩුපාඩුවක් නෑ කියල තමයි ඇය කිව්වෙ. මෙහේ ඒ දේවල් ගැන විවෘතව කතාකරන්න මිනිස්සු බය නෑ. නමුත් දෙන්නටම දරුවන් ලැබෙන්නෙ නෑ. වෛද්‍ය පරීක්ශණයකින් හෙලිවෙනව ඇයට දරුවන් බිහිකරන්න බෑ කියල. දෙන්නටම දරුවන් අවෂ්‍යයි. ඒ නිසා දෙන්නම එකඟ වෙනව දරුවෙක් අරන් හදාගන්න. ඒ අතරෙ තමයි ඇයට මගේ මිතුරව මුණගැහෙන්නෙ.
විවාහ වෙලා අවුරුදු 4කට පස්සෙ, ජීවිතය ඒකාකාරව ගලාගෙන යන වෙලාවක තමයි ඈයට ඔහු මුණගැහෙන්නෙ. ජීවිතේ මුල්ම වතාවට, මුළු ජීවිත කාලයම එකට ගතකරන්න ඕන කියල ඇයට හිතුනු මගේ මිතුර ගැන විතරලු. දෙන්නටම එකිනෙකා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒත් ඔහුට වගේම ඇයටත් හිතන්න දේවල් බොහොමයක් තියෙනව. ඇගේ පවුල, සැමියගෙ ගෞරවය, දෙමවුපියන්ගෙ ගෞරවය, පෙම්වතාගෙ අනාගතය වගේ ගොඩක් දේවල් ගැන ඇයට කල්පනා සිදුවෙනව. මේක මේ දෙන්නම පිස්සුවෙ වගේ ජොලියට කරන ආදරක් නොවන වග මට හොඳටම තහවුරු උනා. මේ සම්බන්ධය නිසාම් ඇය දරුවෙක් හදාගන්න ගන්න එකත් කල් දදා ඉන්නවලු. මම උපදෙස් දෙන්න නොගියත්, මගේ මුතුරා ඉගෙනීම ඉවර කරනකන් මුකුත් තීරණයක් නොගන්න දෙන්නම එකඟ වුනා.

ඉන් පසුවත් මට දෙන්නව කිහිප සැරයක් මුණගැහුනත් වැඩි දෙයක් නතුව දෙන්නගෙ සම්බන්ධය තව දුරටත් ගලාගෙන ගියා. චේඡනා අක්කගෙ ලිපියකට (මෙතන) කමෙන්ට් එකක් විදිහට මම මේ සිද්ධිය එකපාරක් බොහොම කෙටියෙන් ලියල තියෙනව. ඒ වෙලාවෙ කතාව පොඩ්ඩක් එහෙමෙහෙ කරත් අද ලියන්නෙ ඇත්තම සිද්ධිය.
තවත් අවුරුදු දෙකකට පස්සෙ දැන් තමයි කතාව වර්තමානයට එන්නෙ.
කතාව කුට්ටි කරන්න පොඩ්ඩක්වත් කැමති නැති උනත්, හිතුවටත් වඩා දිග කතාවක් ලියැවීගෙන යන නිසා කතාවෙ මුල්ම අඩ කොටස මෙතනින් ඉවර කරනව.
ඉතිරි කොටස තව දවස් දෙක තුනකින් පල කරන බවට පොරොන්දුවකුත් එක්ක. ඉතිරි කොටස රවම පළ නොවුනත්, ඔයාලගෙ අදහස් තියෙනවනම් පහලින් කොටල යන්න. ඉතිරි කොටසටත් කියවලම අදහස් පල කරන්න හිතාගෙන ඉන්නවනම් අදහස් වල බාගයක් විතරක් පළ කරල යන්නකො.

7 comments:

දිල් said...

කාලෙකට පස්සෙ ඔන්න මමත් මේ පැත්තෙ. මුලින්ම අහන්න ඕනෙ " කොහොමද මල්ලි ? " මාව මතකද දන්නෙත් නෑ....

දැන් ඔය කාරනය සම්බන්ධව...

ආදරය කියන්නෙ හරිම පුදුම දෙයක්. ඒක මේ විදිහයි කියලා විස්තර කරන්න බැරි දෙයක්... මම දන්න කෙනෙක් ගැන ඔය වගෙම අත්දැකීමක් මට තියෙනවා. නම් ගම් නොකියා මම මෙහෙම කියන්නම්.... ගැහැණු කෙනා බැඳලා දික්කසාද උන කෙනෙක්. පිරිමි කෙනා තමත් තරුණයෙක්. අර ගැහැණු කෙනා ගෙ කසාද ජීවිතය නම් මම දන්න විදියට අපායක්. හමුදා නිළධාරියෙක් තමා ඇගේ ස්වාමි පුරුෂයා. බොහෝමයක් නොගැලපීම්...කොටින්ම කිව්වොත් නිදි යහනේදඉ තිරිසනෙක් උන සැමියාගෙන් ඈ වෙනවෙලා බොහෝම හොඳ ජීවිතයක ඉද්දි මේ තරුණයාව ඈට මුණ ගැහෙනවා. වයස් පරතරය අවුරුදු 5ක් පමණ.... නමුත් දෙදෙනාගෙ ආදරය....මට නම් හිතා ගන්නවත් බෑ. කිසිම දවසක ඔහුට ඈව විවාහ කර ගනට ලැබෙයිද මම දන්නෙ නෑ. සමාජීය ගැටළු නිසා. නමුත් ආදරය ඉතාම ගැඹුරුයි ඔවුන් දෙදෙනාගෙ. මේ මම දන්න කියන කෙනෙක් ගෙ වග...

මෙතැනට දෙන්න ඕනෙ නම සම්මතද අසම්මතද මම දන්නෙ නෑ.සම්මත් ආදරයක් දෙදෙනෙක් වෙන්කරද්දී අසම්මත ආදරයක් දෙදෙනෙක් එකතු කරන්න පුළුවන්...නමුත්... මේ වගේ දෙයක් අනුමත් කිරීමක් නම් මගෙන් නෑ

මතක මංපෙත said...

මොකද අප්පේ..... අපිට දිල් අක්කව මතක නැත්තෙ
මම නම් ඉතිං ජොබ් එකත් කරගෙන දැහැමින් සෙමෙන් ඔහේ ඉන්නව.
තාමත් මෙහේ හිටපු ගමන් හෙලවෙනවනෙ. ඒ නිසා සැරින් සැරේ පොඩි ආතල් එකක් තියෙනව.
ඒත් ලොකුවට හෙල්ලුනොත් තමයි ජොලිය දෙපිටින් යන්නෙ. භූමි කම්පා කියන ඒව එන්න කලින් කෝල් කරල එන එකක්යැ.
කතාව ගැන කියන්වනම් මේ දෙන්න හරිද වැරදිද කියල අපි කාටවත් කියන්න බෑ.
මමත් මේ දෙන්නගෙ සම්බන්ධය අනුමත කරන්නෙ නෑ. ඒත් මම ඒකට විරුද්ධයි කියලත් කියන්න බෑ.
බැඳපු පලියට ජීවිත කාලෙම ඔහේ එකට ඉන්න ඕන කියල හිතන පතන සමාජයක් නෙවෙයි මෙහේ තියෙන්නෙ.
ඊලඟ කොටසත් මම හෙට අනිද්ද දානව. මම මේ කතාව මැදට හිරවෙන්නෙ ඒ කොටසෙදි.
මතක ඇතුව කියවල බලන්නකො......

Nisupa said...

ඉක්මනට ඉතුරු කොටසත් දාන්න. එතකොටම අදහසක් දාල යන්නම්කෝ..

මතක මංපෙත said...

@Nisupa

ඔන්න නිසූ මම කතාවෙ දෙවනි කොටසත් දැම්ම.
ඒකත් කියවල බලන්නකො!!

නදී said...

අනේ මන්ද?මට කියන්න තේරෙන්නෙ නෑ.කොහොම උනත් ඉගනීමේ කටයුතු එකලාසයක් වෙනකන් ඉන්න කිව්ව එක නම් හොදයි,අවසානෙට මොනදේ උනත් ඒක හරි ඉතුරුවෙයිනේ.

කතන්දර Kathandara said...

ඇත්තටම කොහෙද හිටියෙ මෙච්චර කල්?

විභාග, ජොබ් නිසා බිසි වෙන්න ඇති නේද?

Anonymous said...

tikak lokuwata akuru danna bari da ?

Post a Comment