Wednesday, May 12, 2010

පොඩි එකාගෙ අත්කම්


පොත් ගැන ලියල මට මහන්සියි වගේම පොත් ගැන කියවල ඔයාලටත් හොඳටම මහන්සි ඇතිනෙ.වෙන මොනව හරි පරණ කතාවක් ලියන්න ඕන කියල හිතනකොට තමයි මේ කතාව මතක් උනේ.
ඒ නිසා අද කියන්න යන්නෙ මම 2 වසරෙ ඉන්නකොට වෙච්ච සිද්ධියක්. ඔය කාලෙ අපේ වටපිටාවෙ අපිට නොතේරෙන කොච්චරනං දේවල් තියෙනවද. ගොඩක් අය එතකොට අරන්නෙ දෙමවුපියන්ගෙන්, වැඩිමල් සහෝදරයෙක්ගෙන් එහෙමත් නැත්නම් වැඩිහිටියෙක්ගෙන් අහල ඒ ප්‍රශ්ණ නිරාකරණය කරගන්න එකනෙ.
ඒත් මමනම් එහෙම ඇහුවෙ නොකරම බැරි වෙලාවක විතරයි. ඒක තමයි මගේ ෆයිනල් ඔප්ශන් එක. පුලුවන් තරම් හැම දේටම තනියම උත්තර හොයාගන්න තමයි බැලුවෙ. ඉතින් අද කියන්න යන්නෙ එහෙම තනියම උත්තර හොයන්න ගිහිල්ල මට වෙච්ච ඇබැද්දියක් ගැන.

මුලින්ම සුපුරුදු විදිහට පොතේ ගුරා එවල කතාවෙ පසුබිම හදල ගමුකො.

මම ඒ කාලෙ අත්කම් නිර්මාණ කරන්නත් මාර ආසයි. ඒකට වැඩියක්ම බලපෑවෙ අක්ක මට වඩා අවුරුදු 5ක්ම වැඩිමල් වුනු එක වෙන්න ඇති. එතකොට 7 වසරෙ හිටපු අක්ක ඉස්කෝලෙ ජීවන කුසලතා වලදි ඉගෙනගත්තු හැමදෙයක්ම වගේ ගෙදරදි මට උගන්නනව. මිදුලෙ පිපෙන මල් ප්‍රෙස් කරල සුභපැතුම් කාඩ් හදන්න. වත්ත පහලින් හුඹස් මැටි ගෙනැල්ල මැටි පුවරු, බිත්ති සැරසිලි හදන්න. ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් මල්වාස් හදන්න. වැල්ලෙන් අහුලගෙන එන සිප්පිකටු, හඳපලු, ගොංගො (කවඩි ) වලින් එක එක සත්තු හදන්න. මල් පැල බද්ධ කරන්න. කුකුල් සායම් වලින් දෙදි බතික් කරන්න.රැලි බකට්, අවාන්, බට පොතු වට්ටි, ......... කියන්වනම් තව කොච්චර තියෙන්වද!!!!!
නිවාඩු කාලෙ කියන්නෙ මටයි අක්කටයි නම් කිසිම නිවාඩුවක් නැති කාලයක්. අපරාදෙ කියන්න බෑ දෙක වසර වෙනකොට මම ඔය ඔක්කොම ශිලප හොඳට ප්‍රගුණ කරල තිබුනෙ. වැඩි හරියක් ගෑනු ළමයි ඉගෙන ගන්න අත්කම් තමයි. කොටින්ම කිව්වොත් මට ඔය කාලෙ වෙනකොට ලේන්සු වල මල් මහන්නත් පුලුවන්. හික්ස්!!!!!

ඒ වගේම තමයි ඔය කාලෙ ඒ වයසෙ ළමයි අතරෙ (දෙමවුපියන් අතරෙ???) බොහොම ජනප්‍රිය ළමා පත්තර දෙකක් තමයි "පුංචි" සහ "බිංදු" කියන්නෙ. තව එක එක ළමා පත්තර තිබුනත් අපේ තාත්ත හැම ඉරිදම පොළේ ගිහින් එනකොට මට ගේන්නෙ ඔය පත්තර දෙක තමයි. ඔය පත්තර දෙකේ තියෙන අමතර අභ්‍යාස එහෙම මගේ ඉගෙනීමට ගොඩක් වැදගත් කියල තාත්තගෙ ලොකු විස්වාසයක් තිබුන. ඒත් මමනම් කියෙව්වෙ ඒ පත්තර වල තියෙන කතා විතරයි.
ඉතින් ඔය පතර වල තියෙනවනෙ එක එක අත්කම් නිර්මාණ කරන හැටි ගැනත්. මටත් මාර ආසයි ඒව කරල බලන්න. ඒවට අවශ්‍ය අඩුම කුඩුම නම් මගේ පොත් කබඩ් එක ඇතුලෙ ඕන තරම් තියෙනව. ඩිමයි කොල ද, වාර්නිශ් කොල ද,බ්‍රවුන් පේපර් ද, හිස් ගිනි පෙට්ටි ද, බ්‍රිස්ල් බෝඩ් ද,පාට කූරු, කතුරු, ස්ටේප්ලර්, ගම්, ..... මේ එකී නොකී ඕනම දෙයක් පොත් කබඩ් එක ඇතුලෙ ඇතුලෙ අඩු වැඩි වශයෙන් තිබුන.

ඒ වුනත් ඔය අත්කම් නිර්මාණ හැම එකකටම වගේ ඕන වුනු එක දෙයක් මගේ ලඟ තිබුනෙ නෑ. ඒ නිසා මට පත්තර බලල නිර්මාණ කරන්න පුලුවන් උනේ බොහොම ටිකයි.
හිතාගන්න පුලුවන්ද මොනවද අඩු වෙලා හිටියෙ කියල.
"මැලියම්"
උදේ හවස සිග්නල් වලින් දත් මැදපු මගේ ලඟ කොහෙද මැලියම්. අර TV එකෙත් කියන්නෙ "මැලියම් නොමැති දත් දෙපෙළක් සඳහා සිග්නල් වලින් දත් මදින්න" කියල.
අනික, උදේ පාන්දර දත් මදින්න කලින් මැලියම් පොඩ්ඩක් එකතු කරගත්තත්, මොන හිතකින්ද ඒ ටික ඇඟිල්ලෙන් අරගෙන කොල කෑලි වල ගාන්නෙ. නියපොත්තෙන් දත් හීරුවත් කැත වැඩ කරන්ව කියල සද්දෙ දාන අම්මට එහෙම අහු උනොත් තවත් දේසනාවක් අහගන්න පුලුවන්.මොලේ කුරෝලු වෙනකන් කල්පන්න කරත් විසඳුමක් හිතාගන්න බෑ.
ඔන්න ඔය අතරෙ තමයි "පුංචි" පත්තරේ අත්වැඩ පිටුවෙ ලස්සන කරත්ත හැඩේ පැන්සල් රඳවනයක් හදන හැටි කියල තිබුනෙ. හැදුවට පස්සෙ මොන විදිහද කියල පින්තූරෙකුත් දාල තිබුන. ඒත් අවශ්‍ය බඩු ලැයිස්තුවෙ "මැලියම් ස්වල්පයක්" කියල ලියල තියෙන්ව. ස්වල්පයක් කිව්වට කොච්චර ඕන වෙද කියල කවුද දනෙ. හදන්න අරගෙන මදි වුනොත් ඊලඟ උදේ වෙනකන් බලාගෙන ඉන්නත් වෙනවනෙ. ඒත් කරත්තෙ පින්ත්තුරෙ දකින කොට හදන්නමයි ආසාව.

ඔන්න ඔය වෙලාවට තම්යි අර මගේ අන්තිම ඔප්ශන් එක, ඒ කියන්නෙ අක්කගෙන් අහන්න සිද්ධ වෙන්නෙ. ඒත් අප්ප මැලියම් එකතු කරගන්න හැටි අක්කගෙන් අහන්නෙ මොන හිතකින්ද? අනික අත්කම් වලට මොකට මැලියම්? ඕක ඇතුලෙ මට නොතේරෙන මොකක් හරි ට්‍රික් එකක් එහෙම තිබුනොත් වස නෝන්ඩිය. අක්කනම් ගානක් නෑ. එයා කවදාවත් මට නෝන්ඩි දාන්නෙ නෑ. ඇල්වතුරත් නිවලනෙ බොන්නෙ. ඒත් බැරි වෙලාවත් පුංචි දැනගත්තොත් ඉඳල හමාරයි. වධකාර අක්ක කෙනෙක් වෙනුවට මට හිටියෙ මේ පුංචි තමයි. එයා අපේ අක්කට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල්. අපි දෙන්න තමයි නිතරම වලි දාගෙන ගෙදර දෙවනත් කරන්නෙ. අක්ක තමයි සාධාරණ කොටා.හික්ස්!!!!

ඒ නිසා මගේ නොදන්න කමත් වහගෙන අක්කගෙන් මැලියම් ගැන අහගන්න ක්‍රමයක් කල්පනා කරා. ඉරිද උදේම නැගිටල ගිහිල්ල අක්කගෙන් ඇහුව "හෙට ඉස්කෝලෙ අත්කම් වලට මැලියම් ටිකක් ගේන්න කියල තියෙනව. මොකද කරන්නෙ?" කියල.කොහොමද ටිකිරි මොලේ.හික්ස්!!!. අක්ක පටස් ගාල එයාගෙ ක්බඩ් එක ඇරල නිකං ගම් බෝතලේකුයි බයින්ඩින් ගම් බෝතලේකුයි දෙකක්ම දුන්න ඉස්කෝලෙ ගිල්ල ආවට පස්සෙ ආපහු දෙන්න කියල. එතකොටයි මම දන්නෙ මේ "මැලියම්" කියන්නෙ "ගම්" වලට කියල.
පත්තර වල ඕක පොඩි එකෙක්ට තේරෙන බාසාවෙන් "ගම්" කියල ලියල තිබුනනම් ඉවරනෙ.ඒ කාලෙ ගෙයි කෑල්ලක් හදන නිසා හාකබොන්ඩ්, මල්ටිබොන්ඩ්, කෙම්ෆෙක්ස්, ... ඔය ඕන ගම් ජාතියක් ගෙදර තිබුන. තව පොඩ්ඩෙන් මමත් නිස්කාරනේ මගේ දත් ටික හූරල තමයි අත්කම් වලට ඕන මැලියම් ටික හොයාගන්නෙ.

අර හදපු කරත්ත හැඩේ පැන්සල් රඳවනෙත් තවත් අවුරුදු කීපයක්ම මගේ මේසෙ උඩ යහතින් තිබුන කියලනං අන්තිමටම කියන්න කැමතියි.

17 comments:

හා පැටික්කි (MS) said...

එදා කජු කතාවෙන් පස්සේ ඔයාව හෙව්වත් මට නම මතක තිබ්බෙ නැහැ නෙවැ.......
අද තමා හොයාගත්තේ....... :)

මාර මොළයක්නේ තිබිල තියෙන්නේ.........

මතක මංපෙත said...

@ හා පැටික්කි (MS)
කජු කතාවෙන් පස්සෙ පොත් ගැන ලියන්න පටන්ගත්ත නෙවැ......
ආයෙත් නම් අමතක කරගන්න එපා ඕං......
මේ පැත්තෙ ඇවිත් යන්න ආවට බොහොම ටැංකූ කිව්ව.

Ansh Lucky Sri Jay said...

හෙහෙහෙ.. නියමයිනේ ටිකිරි මොළේ..
:D

roylyfernando said...

හෙ හේ එල එල මචෝ. පොඩි කාලෙ ඔහොම මොළේ පාවිච්චි කරනවනම් දැන් කොහොම පාවිච්චි කරනවා ඇද්ද නේද :)


ප.ලි.
පොතේ ගුරා කිව්වම මම බැලුවා අපේ පොතේ ගුරාමද එහෙම කියලා :P

මතක මංපෙත said...

@ Ansh Lucky Sri Jay
ආයෙත් අහල.අම්මටයි තාත්තටයි මාව කොච්චර ගේමක් වෙන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නෙ.හික්ස්!!!!!

@ roylyfernando
මට ඔය ශෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න බැරි ලෙඩක් තියෙනවනෙ. ඉතින් නාට්‍ය වල පොතේ ගුරා ඇවිත් පසුබිම් කතාව කියනව වගේ මමත් මුලුන්ම පසුබින් කතාඅව ලියන්ව. ඒකයි කේස් එක.
අනේ වෙන කවුරුහරි පොතේ ගුරෙක් සිටියිනම් සමාව භජනය කල සේක්වා!!!!

ගයාන් තාරක said...

හික් හික්. මරේ මරු මැලියම් ගන්න හිතපු හැටි

හා පැටික්කි (MS) said...

නෑ නෑ ආයේ අමතක වෙන්නෑ ඕන්.......

වෙල්කම් වෙල්කම්..... :D :D :D :D

Bunny ! said...

අඩේ අර බිංදු පත්තරේ මැද පිටුවෙ එන අත්වැඩ නේ ? හෙහ් මටත් ඔය උන තිබ්බා කාලයක්...එකනම් සිරා පත්තරේ..!

තව මොකක්ද අක්කා කෙනෙක්ගෙ නමින් ඔය පත්තරේ, ඔය වගේම ජොලි කතා ගියා නෙද ?
හෙහ් මැලියම් :P

මම said...

මටත් අහන්න තියෙන්නේ පොඩි කාලේ ඔය තරම් දස්ස විදිහට මොලේ පාවිච්චි කලානම් දැන් කොහොම ඇත්ද කියලා තමා.අනේ ඇත්තට අර තරම් අහිංසක අක්කෙකුටනේ හම්බුනේ මේ වගේ කපටි රජෙක් . අව්ලක් නෑ පුංචි හිටියානේ ගේමට...නේ

මතක මංපෙත said...

@ ගයාන් තාරක
මම දැනගෙන ඉඳපු මලියම් තිබුනෙ දත් වල විතරනෙ.හික්ස්!!!!

@ Bunny !
ඒ කාලෙ මගේ කාමරේ එක එක ටොයිශ් අත්වැඩ වලින් පුරෝල තිබුන. වැඩි උනහම ඉස්කෝලෙ පන්තියෙත් ගිහින් එල්ලුව.

@ මම
හපෝ....!! ඒ පුංචි නම් අක්කල කීපදෙනෙක්ටම ඇති වෙන්න මාත් එක්ක වලි දාගෙන තියෙනව.
මගේ සේරම දඟ වැඩ ඉවසල ජීවිතේට එක සැරයක්වත් මට සැරෙන් කතාකරල නැති නිසා මම තාමත් පවුලෙ වැඩියෙන්ම ආදරේ අක්කට තමයි. මං වගේ වසවර්තයෙක් එක්ක ඉන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඇත්ද. අපරාදෙ කියන්න බෑ, අක්කනම් තාමත් ඒ වගේමයි.

wath said...

වැඩේ කියන්නේ මටත් මැලියම් කියපු ගමන් මතක් වෙන්නේ දත් මැලියම් ෴
කතාව නම් නියමයි.

දිල් said...

අනේ අනේ කොල්ලො........
මේක නම් මාර මොළයක් තියෙන්නේ...:)
මට හොඳටම හිනා

මතක මංපෙත said...

@ wath
මේ පැත්තෙ ඇවිත් යන්න ආවට බොහෝ.....ම පිං.....

@ දිල්
ඔයාලටනං හිනා !!
මේ පොඩි එකාට ඒ කාලෙ කොච්චර ප්‍රශ්ණ ත්බුනද.
තව පොඩ්ඩෙන් මම මැලියම් හූරල අරගෙන තමයි අත්කම් කරන්නෙ.

දුකා said...

මගේත් අක්කා කෙනෙක් හිටිය නිසා මටත් උඹ කිව්ව දේවල් ඔක්කෝම වගේ පුලුවන්.

එක පාරක් අක්ක ඩ්‍රෙස් මේකින් ක්ලාස් ගිහින් සාරි බ්ලවුස් එකකට බ්ලොග් එකක් හදන හැටි ඉගෙන ගෙන ඇවිත් මට කියලා දීලා මම අම්මට සාරි බ්ලවුස් එකකුත් මහලා දුන්නා හික්ස් . . .


අර උඹ හිතපු විහිහට මැලියම් එකතු කලානම් තාම එකතු කරනවා නේද බන්z . . එහෙනම් ඒ අත්කම් හැදිල්ල බොරු . . හික් හික්

මතක මංපෙත said...

@ දුකා
හික්ස්!!!!
හැබැයි තාමත් පොඩි කාලෙ ගම් මැලියම් මාරු වෙච්ච කෙනෙක් නම් කමෙන්ට් එකක් දාල නෑ. අනිත් අයට මට වගේ කොයිල් නැතුව ඇති නේ.හික්ස්!!!
ඒක නෙවෙයි දුකා අයියෙ, කොහොමද අර ෆිල්ම් එක?

කැන්ඩි... said...

මමයි මගේ අක්කයි ඒ කාලේ කරපු අන්ඩ වැඩ මතක් වුනා මේක දැක්කම..................ඇත්තටම මටත් මේ වගේම අතීතයකුයි හැම දේකටම උදවු කරපු අක්කා කෙනෙක් හිටියා......................මේක කියෙව්වම මට හිතුනෙ මමත් ආයෙ පොඩි එකා කාලෙට ගියා කියලා.................එළම තමා.........

මතක මංපෙත said...

@ කැන්ඩි...
අපිටත් දැනගන්න එක්ක ඒ කතා දෙකතුනකුත් කිව්වන්ම් මොකද වෙන්නෙ!!!!

Post a Comment