Wednesday, August 04, 2010

නෑ.. මේ... පොඩි ගැම්මක් ගන්නෙයි කියල!!!!!!!



ගිය මාසෙ මම දාල තියෙන්නෙ එකම එක පෝස්ට් එකයි. මේ යන විදිහට ගියොත් මගේ බ්ලොග් එකත් මාස 4කින් 5කින් මැරිල යන හතු බ්ලොග් එකක් වෙයිද දන්නෙ නෑ. මොකද මේක පටන් ගෙන තාම මාස 4යිනෙ.
මොන පිස්සුද!!!!!
කොහොමටවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මට ලියන්න දේවල් තව කොච්චර තියෙනවද. මගේ මතක මංපෙතේ මම තාම බොහොම ටික දුරයි ඇවිද්දෙ. ඉතුරු ටිකත් යන්න ගැම්මක් ගන්න කියල හිතාගෙන තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.

පහුගිය කාලෙනම් වැඩ කන්දරාවක් තිබුන.
එක පැත්තකින් මගේ රිසර්ච් එක. මේ අවුරුද්දෙ ඔක්තෝබර් වෙනකොට රිසර්ච් එක ඉවර කරල රිපෝට් එකත් ඉවර කරන්න කියල ප්ලෑන් කරගෙන හිටියට තාම රිසර්ච් එක ඉවරවෙන මානයක් වත් පේන්න නෑ. ඒත් ඉතින් ඒකත් කොහොම හරි ඉවර කරන්නත් ඕනනෙ.
තව පැත්තකින් ට්‍රේනින්. අන්තිම පෝස්ට් එක දාන්න කලින් සති 4ක ට්‍රේනින් එකකට දුර ගිහිල්ල ආව විතරයි. මේ ලියන්නෙත් ගිය 19 වෙනිද ඉඳල සති දෙකක් ට්‍රේනින් වලට දුර ගිහිල්ල ඇවිල්ල.
සති දෙකේ ට්‍රේනින් එක ඉවර වෙලා ආපු ගමන්ම මම කියවන බ්ලොග් සේරම ටික එක හුස්මට කියෙව්ව.
දැන් තමයි කියවල ඉවර වෙලා හුස්මක් කටක් ගත්තෙ. හැබැයි එක දිගට කියවගෙන ගියපු නිසා කමෙන්ට් නම් දැම්මෙ නෑ ඕං.
ඒ සති දෙකේ ට්‍රේනින් එක නම් එපා උනා. වැඩකට ඇති දෙයක් කෙරුනෙත් නෑ. ඒ උනාට ජොලියෙ නිකං ඉන්න ලැබුනෙත් නෑ. හරියට "නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ වගේ" (මගේ නම් පලුවක් නැති උනේ නෑ හොඳේ )
ඒ මදිවට රස්නෙ!!! මම ගියේ වැඩිය ලොකු නගරක් නොවන ෆුකුශිම කියන නගරයට. මම් එහේ ඉඳපු දවස් වල පරිසර උෂ්ණත්වය සෙල්සියස් 37යි. එලියට බහිනකොට නිකං ස්පා එකකට ගියා වගේ. මැදපෙරදිග පැත්තෙනම් මීට වඩා ගොඩක් රස්නෙ ඇති. ඒත් ආර්ද්‍රතාවය වැඩි නිසා මෙහේ රස්නෙ හොඳට ඇඟට දැනෙනව.

දැන් ඉඳල 23 වෙනිද වෙනකන් නම් සමර් වැකේශන් එක. ඒත් රිසර්ච් එක තියෙන නිසා නිවාඩු පඩුවෙ ඉන්න වෙලාවක් නෑ.
අනික මට නිකං ඉන්න බැරි නිසා ඊලඟ සතියෙ ෆුජි කන්ද නගින්න කියලත් හිතාගෙන ඉන්නව. ජපානෙට ඇවිල්ල අවුරුදු 4ක් උනත් තාම ෆුජි කන්ද නගින්න බැරි උනු නිසා මේ පාරවත් නගින්න කියලයි හිතාගෙන ඉන්නෙ.
ඒකෙ විස්තර ඉතින් ගිහිල්ල ඇවිල්ලම ලියන්නම්කො.

ඒ අතරෙ පහිගිය කාලෙ අලුත් පොත් 3කුත් කියෙව්ව.
ඒකෙ නම් ස්තුතිය චේඡනා අක්කට. එයාගෙ බ්ලොග් පෝස්ට් එකකින් තමයි මම Indu Sundaresan කියන කතුවරියගෙ The Twentieth Wife කියන පොත ගැන දැනගත්තෙ.
ඒ පොත ගැන Amazon එකේ සර්ච් කරල බලනකොට එයාගෙම තවත් පොත් 2 ගැන විස්තර තියෙනව දැක්ක.
The Twentieth Wife එකේ දෙවනි කොටස විදිහට ලියපු The Feast of Roses කියන පොතයි ලස්සන් ආදර කතාවක් ගැන කියවෙන The Splendor of Silence කියන පොතයි.
පොත් දැක්කහම මටත් නිකං ඉන්න බෑනෙ. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඕඩර් කරා පොත් තුනම.
පොත් තික අරගෙන නික්න් ඉන්න බෑනෙ. කියෙව්ව පොත් තුනම එක හුස්මට.
මම නම් පොත් තුනෙන් කැමතිම පොත තමයි The Splendor of Silence.
ඒකෙ තියෙන්නෙ මෙතෙක් මම කියවල නැති විදිහෙ අමුතුම ආදර කතාවක්. මම ඒක ගැන මෙතන විචාරයක් ලියන්න යන්නෙ නෑ. ඒත් ඇයගෙ පොත් මේ කෙටි කාලය තුල භාෂාවන් 17කට පරිවර්තනය වෙලා තියෙනව කියන එකෙන්ම ඒ පොත් වල තියෙන සාර්ථක බව හිතාගන්න පුලුවන්නෙ.
මේ කතුවරිය ලියපු තවත් පොත් දෙකක් මුද්‍රණය වෙලා තියෙන්ව. ඉක්මනටම ඒ දෙකත් අරගෙන කියවන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.

ඔන්න එහෙනම් මම මේ පෝස්ට් එක මෙතනින් නවත්තනව. ඒ උනාට මේ බ්ලොග් එකට මැරෙන්න දෙන්නෙත් නෑ, දියාරු වෙලා යන්න දෙන්නෙත් නෑ. හා පැටික්කි නම් කියල තිබුන ගණිතයට අනුව එයාගෙ බ්ලොග් එකත් සැප්තැම්බර් වලින් ඉවර වෙනව කියල. ඒ උනාටැ බ්ලොග් එකකට එහෙම ලේසියෙන් සමු දෙන්න බෑනෙ.
හා පැටික්කිත් එහෙනම් මේ ගැම්මෙන්ම ආයෙත් ලියන්න පටන්ගමුකෝ....

ඉක්මනටම මගේ ඊලඟ පෝස්ට් එකත් දානව කියන පොරොන්දුව පිට අදට නවතිනව.
සයොනරා!!!

Friday, July 02, 2010

මට හෝම් සික්ද මන්ද!!!!!!


අද නම් මහ අමුතුම අමුතු දවසක් අප්පා!!!!!!
ජපානෙට ඇවිත් අවුරුදු 4ක් වෙන්න ඔන්න මෙන්න තියල මට හෝම් සික් හැදීගෙන එනවද මන්ද. ඉන්න තැනකට වෙලා කන්න තියෙන දෙයක් කාල බලන්න තියෙන දෙයක් බලාගෙන කොරන්න තියෙන දෙයක් කොරගෙන සොමියෙ ඉන්න මට මොන හෝම් සික්ද!!!හෙදර මතක් කර කර හූල්ල හූල්ල ඉන්නෙ නැතුව ඉන්න තැනක සතුටින් ඉන්න කියලයි අම්ම මට උගන්නල තියෙන්නෙ. එහෙව් එකේ මතක මංපෙතට මඤ්ඤං කැවිලද මන්ද මේ ඇම්ඩට (දුකා අයිය මාව බෞතිස්ම කරේ ඔය නමින්නෙ ) හෝම් සික් කියල කියන්න.
ඒ උනත් දැන් දවස් දෙක තුනක ඉඳල ගෙදර උදවියමයි මතක් වෙන්නෙ. තවත් කෙනෙකුත් මතක් නොවෙනවම නෙවෙයි. ඒත් ඉතින් එයා මගේ හොඳ බාගෙනෙ. ඉන්නෙ හිත ඇතුලෙමයි. එයා මතක් වෙන එක නැවතුනොත් ඉතිං ලංකාවට පය ගහලත් හමාරයි.
ඔන ටොපික් එකෙන් පිට යනව.කොහොමින් කොහොමින් හරි මට මේ දවස් ටිකේම මතක් වෙන්නෙ ගෙදර හැමෝම එක්ක සොමියෙ හිටපු කාලෙ ගැන තමයි.අපි කොළඹ පදිංචියට එන්න කලින් මට අවුරුදු 4 ඉඳල 18 වෙනකන් පදිංචි වෙලා හිටියෙ හික්කඩුවෙ. ඒ කාලෙ තමයි ජොලිම කාලෙ. මම තාම මතක මංපෙතට නොලියපු, ඒත් ඉස්සරහට ලියන්න කියල හිතාගෙන ඉන්න රසවත් මතකයන්ගෙන් 99%ක්ම ඔය කාල සීමාව ඇතුලත සිද්ධ වෙච්ච දේවල් තමයි.
ඔය කාලෙ මුහුද අපේ ජීවිතයට ගොඩක් සමීපයි. ගිදර ඉඳන් විනාඩි පහක් ඇවිද්දොත් මුහුදට යන්න පුලුවන්. මුහුදෙ රැල ගහන සද්දෙත් යාන්තමට ගෙදරට ඇහෙනව.
අම්බලන්ගොඩ සහ ගාල්ලට අතරෙ පළල්ම වෙරළ තියෙන්නෙ හික්කඩුවෙ වෑවල ඉඳල දොඩන්දුවෙ කුමාරකන්ද වෙනකන්. ඔය හරියට කවදාවත් ගල්වැටි ඕන උනේ නෑ. වාරකන් කාලෙටත් වෙරළ ටිකක් පළලට ඉතුරු වෙලා තියෙනව. අපි හිටියෙ ඔය පුලුල් වෙරළෙ හරි මැද හරියෙ, ඒ කියන්නෙ හික්කඩුවෙ තිරාණගම කියන ගමේ.
ඒ කාලෙ හැම සති අන්තෙම වගේ තාත්ත මාව මුහුදෙ නාන්න එක්කගෙන යනව. එක්කගෙන නොයන පාටක් තිබුනොත් වදකරල හරි මම තාත්තව එක්කගෙන යනව. මොකද මම A/L කරන කාලෙ වෙනකන්ම තාත්ත ඇරෙන්න වෙන කාත් එක්ක වත් මාව මුහුදෙ නාන්න් යැව්වෙ නෑ. තනියෙන් යන්න දුන්නෙත් නෑ කියල ඉතින් කියන්නම ඕන නෑනෙ. පොඩි කාලෙදිම තාත්ත මටයි අක්කටයි පීනන්න ඉගැනුව උනත් දැනටත් ලංකාවට ගියපු වෙලාවක හික්කඩුවෙ යාලුවොත් එක්ක මුහුදෙ නාන්න යනව කිව්වොත් ටිකක් කනුකුනු ගාල තමයි යන්න දෙන්නෙ. මම හිතන්නෙ තාත්ත තරුණ කාලෙ යාලුවො දෙතුන්දෙනෙක්ම මුහුදට බිලි වුනු නිසා මට හිතේ හැටියට මුහුදෙ නාන්න ඉඩ දෙන්න බය හිතෙන්න ඇති. ඒ කාලෙ ඒ ගැන හිතේ පොඩි තරහක් තිබුනත්, දැන් කල්පනා කරල බලනකොට තාත්ත එහෙම කරේ මගේම හොඳට නේද කියල හිතෙනව.
ඒ වගේමයි කවුරු හරි දැලක් වටලල කියල ආරංචියක් ආවොත් තාත්ත මාවත් එක්කරගෙන තමයි මාලු ගන්න දැල අදින තැනට යන්නෙ. මාලු ගන්න අතරෙම එක එක මාලු වලට කියන නම්, ගනන් වැඩි මාලු ජාති වලින් ගනන් අඩු මාලු ජාති වෙන්කරල අඳුරගන්න හැටි, දැල් වට කරන හැටි වගේ එක එක දේවල් මට කියල දෙනව. මම වැඩියෙන්ම කන්න කැමති දැල්ලො, පැන්නො වගේ දෙයක් දැලට අහුවෙලා තිබුනොත් ඒවයින් ටිකකුත් ගන්න අමතක කරන්නෙ නෑ.

ඒ වගේමයි ඒකාලෙ අපි හැමෝගෙම ප්‍රියතම අංගයක් තමයි නිවාඩු පාඩු දවසක හවසට පවුලෙ හැමෝම වැල්ලට ගිහිල්ල ටිකක් නිවී හැනහිල්ලෙ වාඩි වෙලා ඉඳල එන එක.
හවස ඉර බහින්න පැයකට විතර කලින් හැමෝම වැල්ලට යනව. ගියපු ගමන්ම මමයි අක්කයි පුංචියි මොකක් හරි සෙල්ලමක් පටන් ගන්නව.අපි සෙල්ලං කරන අතරෙ අම්මයි තාත්තයි වාඩි වෙලා මොකොක් හරි කයියක් දාගෙන ඉන්නව. හැබැයි කතාකරන්නෙ මොනව ගැනද කියලනම් අපි දන්නෙ නෑ.
වැල්ලට ගියහමද අපිට කරන්න වැඩ නැත්තෙ. මගෙයි අක්කගෙයි ප්‍රියතම සෙල්ලම තමයි වැල්ලෙ තියෙන ඔරු වල බඩ පිලුන් ගහන එක. අර කොල්ලෑව ඔරුවට සම්බන්ධ කරන හරස් ලී දෙක තියෙන්නෙ, ( බෝඹු ලීයද මන්ද? දෙපාරක් කල්පනා කරල බලනකොට බෝඹු ලීය තියෙන්නෙ කරත්තෙටද මන්ද?!!!???!!! ) අන්න ඒකෙ බඩ පිලුන් ගහනව කියන්නෙ ෆුල්ම ජොලි වැඩක්. බඩ හම යනකන් කරත් එපා වෙන්නෙ නෑ. ඒත් ඉතින් කරකැවිල්ල හැදුනහම නම් එපා වෙනව.
කොහොමින් කොහොමින් හරි ඒක එපා උනා කියමුකො.
ඒත් වැල්ලෙ කරන්න තව කොච්චර ජොලි වැඩ තියෙනවද. ඒව කාලෙන් කලෙට මුහුදෙ තත්වෙ අනුව වෙනස් වෙනව.
ගොඩ මුහුද ගලල තියෙන කාලෙට ඒව එකට එක ඈඳල අගල් හාරනව. හාරන්නෙ නම් ඉතින් අතින් තමයි. ඒත් ඉතින් වාරි කර්මාන්තයනම් යෝධ ඇල පරාදයි.
සිප්පි කටු ගොඩගහන කාලෙට නම් සිප්පි කටු, හඳපලු, ගොංගො(කවඩි ), කිරිගොටු වගේ එක එක ජාති මල්ලක් පිරෙන්නම අහුලනව. ගෙදර ගිහිල්ල එක එක අත්වැඩ කරන්න පුලුවන්නෙ.
එහෙමත් නැත්තං වැරෑටි බෙල්ලො අහුලනව. උන් මැරිල උන්ගෙ පියන් තමයි සිප්පි කටු විදිහට ගොඩ ගහන්නෙ. ඒත් උන්ව නම් ගෙදර ගෙනියන්න තහනම්. කොච්චර ඇහින්දත් ටික වෙලාවකින් ආපහු වතුරට දාන්න වෙනව. පවු සිද්ධ වෙනවලු. ඒ උනාට බෙල්ලො ගලේ බෙල්ලො ඉන්න කාලෙට නම් තාත්තමයි මට කතා කරන්නෙ බෙල්ලො එකතු කරන්න යමු කියල. තාත්තත් ඉතින් මං වගේම බෙල්ලො කන්න රුසියනෙ. හැබැයි වැරෑටි බෙල්ලට එක ධර්මෙකුයි ගලේ හැදෙන බෙල්ලට වෙනත් ධර්මෙකුයි අනුමත වෙන්නෙ කොහොමද කියල නම් මට තාමත් හිතාගන්න බෑ. !!! ??? !!!
ඔය මුකුත්ම නැත්තං වැල්ලෙ වලවල් හාරල ඒව උමං වලින් සම්බන්ධ කරල බිංගෙවල් සංකීර්ණ හදනව. ඕව කරේ පොඩිම පොඩි කාලෙ විතරක් නෙවෙයි, අක්ක කැම්පස් යන කාලෙ උනත් නිවාඩු දවසක් වැල්ලෙ ගියොත් බඩ පිලුන් ගහල, බිංගෙවල් හාරල තලා දුවල තමයි නවතින්නෙ.

කොහොම හරි ඉර බහින්න ඔන්න මෙන්න තියල තුන්දෙනාම අම්මයි තාත්තයි වාඩි වෙලා ඉන්න තැනට එනව. අක්කයි පුංචියි අම්මගෙ පැත්තකින් වාඩි උනාට මගේ ආසනේ නම් වෙන් කරලමයි තියෙන්නෙ. තාත්තගෙ සරම බොකුටු කරල ඒකෙ වාඩිවෙලා තාත්තගෙ කකුල් දෙකට අත්දෙක ගහගෙන රජා වගේ තමයි මම වාඩි වෙන්නෙ. මම A/L කරන කාලෙවත් ඔය පුරුද්ද නැති උනේ නෑ.
වැල්ලට එන අතරෙ කඩෙන් අරගෙන ආපු බයිට් ටිකක් එහෙම කකා පස්දෙනාම එකතු වෙලා ඉර බහින හැටි බලාගෙන ටික වෙලාවක් සද්ද නැතුව ඉන්නව. ඉර හිමීට හිමීට ඈත ක්ෂිතිජයෙ නොපෙනීයන හැටි පස්දෙනාම නිහඬව බලාගෙන ඉන්න හැටි මට දැනටත් මතක් වෙනව.
ඊට පස්සෙත් තවත් පැය දෙකක් විතර කරුවලේ අපි කොච්චර දේවල් නම් කතා කර කර ඉන්න ඇත්ද. අක්ක අපිට අහසෙ තියෙන එක එක තරු රටා ගැන කියල දෙනව. 8 වසරෙ විද්‍යාවට තියෙන තරු රටා ටික අනිත් කොල්ලො දමාගෙන පාඩම් කරන කොට මට ෆුල් ජොලි. මොකද මම ඒ තරු රටා ඉගෙනගත්තෙ 3 වසරෙදි. ඒ කියන්නෙ අක්ක 8 වසරෙ ඉන්නකොට.
මම ඉස්කෝලෙ වෙච්ච කේස් කවදාවත් ගෙදරදි කියන්නෙ නැති උනත් මොනව හරි ජොලි සීන් එකක් එහෙම උනානම් ගෙද අයට ඒක රස කර කර කියන්නෙ මේ වෙලාවට තමයි. ඒත් චාටර් කේස් නම් කියන්නෙ නෑ. එහෙමත් නැත්තං ඉස්කෝලෙ ක්‍රිකට් මැච් අවලදි වෙන සීන් (මම ඉස්කෝලෙ 13න් පහල ක්‍රිකට් ටීම් එකෙත් අවුරුදු 3ක් සෙල්ලම් කරානෙ ), ප්‍රැක්ටිස් වලදි වෙන සීන් එහෙමත් දිග අරින්නෙ මේ වෙලාවට තමයි.
අම්මයි තාත්තයි වැඩ කරන තැන් වල මොකක් හරි සිද්ධියක් එහෙමත් අපිට කියන්න ඕන කියල හිතුනොතින් ඒක කියන්නෙත් මේ වෙලාවට තම්යි. ඊලඟට තාත්ත රට වටේ ඉස්කෝල වල් උගන්නන කාලෙ සිද්ධ වෙච්ච රසවත් සිදුවීම්, අම්ම රස්සාවට ගියපු මුල් කාලෙ වෙච්ච කේස් වගේ රසවත් සිද්ධි විතරක් නෙවෙයි 89 කලබල කාලෙ එක එක සිද්ධිත් අපිට කියල දුන්නෙ මේ වෙලාවෙදි තමයි.
මමයි අක්කයි කිය්වපු පොත් ගැන අපි හිතන විදිහ, ප්‍රබන්ධ කොට සහ සත්‍ය කොටස අතර කොච්චර ගැලපීමක් තියෙනවද වගේ හරබර සංවාදත් නොතිබුනාමෙ නෙවෙයි.
කතා විදිහට කියල දුන්නත් මේ කතාබහ අපේ ජීවිත වලට කොච්චර දැනුම එකතු කරාද කියල හිතෙන්නෙ දැන් ඒ ගැන කල්පනා කරල බලනකොට තමයි.

TV, ටෙලිෆෝන් වගේ දේවල් වලින් ඈත් වෙලා සති කීපයකට සැරයක් නිදහසේ එකට ගත කරන මේ පැය කීප‍ය අපේ ජීවිතේ හැඩැගස්ස ගන්න කොච්චර රුකුලක් උනාද කියල දැන් තමයි තේරෙන්නෙ.
අද මේ අප්සෙට් ගහල ඉන්න වෙලාවෙත් වැඩියෙන්ම මතක් වෙන්නෙ පවුලෙ හැමෝම එක්ක වැල්ලෙ ගතකරපු ඒ පැ‍ය කීපය ගැන තමයි.
ආයෙත් පවුලෙ අයත් එක්ක පරණ විදිහටම වැල්ලෙ ගිහිල්ල වාඩි වෙලා ඉන්න කොච්චර ආස උනත් ඒක කරන්න පුලුවන් වෙයිද කියල සැකයි. පුංචිත් දැන් වෙනම පවුලක්. ඉස්කෝලෙ යන දුවෙකුත් ඉන්නව. අක්කත් වෙනමම පවුලක්. මට දැන් අවුරුද්දක් වයස බෑන පොඩ්ඩකුත් ඉන්නව.
ඒත් කවද හරි මේ හැමෝම එකතු කරගෙන තිරාණගම වැල්ලෙ පැය කීපයක් ගතකරන්න තියෙන්වනම් කොච්චර දෙයක්ද. බලමුකො ඊලඟ වතාවෙ ලංකාවට ගියහම වත් පුලුවන් වෙයිද කියල.
අද මම ලිව්වෙ මගේ මතක මංපෙතේ බොහොම තදින් කාවැදිල තියෙන සුන්දර මතකයක් ගැන. කතාව ලියාගෙන අන අතරෙ මගේ හැඟීම් වෙන්ස් වෙන විදිහට ලිවීමේ ශෛලියත් තැනින් තැනට වෙන්ස් කියල මේක කියවපු ඔයාලටත් දැනෙන්න්න ඇතිනෙ. ඒත් අද ලිපිය නම් මේ විදිහටම එඩිට් නොකර පෝස්ට් කරනව.
හැඟීම්බර විදිහට ලිවීමේ හැකියාව ගොඩක් දුර්වල උනත් මට හිතෙන දේ පටලවල හරි ලියල දැම්ම. මේ ගැන ඔයාලට හිතෙන දේත් පුලුවන් නම් ලියල යන්නකො.
ලිපිය නම් ටිකක් දිග උනා. ඒත් ලොකුම ප්‍රශ්ණෙ තමයි මේකට ටොපික් එකක් දාන එක. බලමුකො ඒකතත් හොඳ එකක් කල්පනා කරල !!!!!!!!!!!!!!!!!

ඔය ඉහලින් තියෙන්නෙ තිරාණගම වෙරළෙ පින්තූර දෙකක්.

Thursday, June 17, 2010

දොස්තර, මම සහ කොකා කෝලා......

අද පරණ කතාවක් ලියනව ලියනවමයි කියල ඊයෙ පොරොන්දු උනානෙ. ඒ පොරොන්දුව රකින්නත් ඕන නිසා ඔන්න අද ලියනව මම පොඩිකාලෙ වෙච්ච තවත් කේස් එකක් ගැන.
මේක උනේ මම 2,3,4 වසරෙ ඉන්න කාලෙක. ඉස්කෝලෙ යන,ඒත් පොඩි පන්ති වල ඉන්න කාලෙ කියල විතරයි මතක. හරියටම වුරුද්ද මතක නෑ. කොහොම හරි කතාවට එන්ටර් වෙන්න කලින් සුපුරුදු විදිහට පසුබිම හදල ඉන්නම්කො.

පොඩි කාලෙ මම කූල් බීම ජාති, ගණිතය සර් කියන විදිහට කියනව නම් පැණි බීම ජාති බොන්න හරිම කෑදරයි. මොන පොඩි එකාද ඒව බොන්න අකමැති. තාමත් ඒ කෑදර කම සම්පූර්ණයෙන්ම නැති වෙලා නෑ. මේ දැන් ලියන ගමනුත් ෆැන්ටා එකකට වග කියමින් තමයි ඉන්නෙ. හික්ස්!!!
ඒ කාලෙ මගේ ප්‍රියතම බීම වර්ග ටික තමයි අලියා ලෙමනේඩ්, කොකා කෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට්, පෝටෙලෝ. තව ලා කොල පාට අලිය බීම ජාතියක් තිබුන, ඒත් නම මතක නෑ. මේ කියන්න අවුරුදු 15කට විතර කලින්.ඕනම වලියක් සමගියෙන් සමාදානෙන් බේරගන්න ඕන නම් මට පගාව විදිහට බීම එකක් අරගෙන දෙන්න නිතරම තාත්තට සිද්ධ වෙනව. ඇඟට කොච්චර අගුණ උනත් ඉතින් මොනව කරන්නද. මාව අවුස්ස ගත්තොත් අහල පහල අයත් ඉඳල ඉවරයිනෙ.

ඒ වගේම තමයි පොඩි කාලෙ ඉඳලම මට නිතරම සෙම් රෝග හැදෙනව. ඉපදිච්ච ගමනුත් දවස් ගානක් වීදුරු පෙට්ටියෙ හිටි‍යැයි කියල කියන්නෙ. ඔන්න මට ඒක නම් මතක නෑ....
ඉතින් මේ විදිහට සෙම තියෙන එකා නිතරම කූල් බොන්න ගන්නව කියන්නෙ ඉතින් ආයෙත් අහන්න දෙයක්ද. මාසෙකට දෙකකට සැරයක් ලොකුවට ලෙඩක් හැදෙනව මයි. ඒත් වැඩේ කියන්නෙ ඉස්කෝලෙ නොගිහින් ඉන්න තරම් සිරාවට ලෙඩේ වැඩි වෙන්නෙ නැති එකනෙ. එහෙම උනා නම් කොච්චර ආතල්ද.

ඉතින් මෙහෙම ලෙඩ වෙනකොට මාව එක්කරගෙන යන්නෙ ඒ කාලෙ ගාල්ලෙ හිටපු ප්‍රසිද්ධ ළමා රෝග විශේෂඥයෙක් වුනු දොස්තර හරේන්ද්‍ර සිලව ලඟට. ඒ කාලෙ එයා ගාල්ලෙ නම් ප්‍රසිද්ධයි. පස්සෙ කාලෙක ගාල්ලෙන් කොළඹට ඇවිත් TV එකෙත් එක එක වැඩසටහන් වලට පෙනී හිටින්න පටන් ගත්තට පස්සෙ තමයි ගොඩක් ජනප්‍රිය උනේ. නිකමට ගූගල් කරල බලනකොට තමයි දැක්කෙ දැන් එයා මහාචාර්ය කෙනෙක් කියල.
ඉතින් මට අසනීප වෙච්ච ගමන් තාත්ත ගිහිල්ල එයාව චැනල් කරන්ව. කොටින්ම කිව්වොත් මම එයාගෙ හොඳම කස්ටමර් කෙනක්. එයාට මගේ නම හිටන් හොඳට කට පාඩම්. හමදාම බෙහෙත් දුන්නෙත් කටපාඩමෙන්ද දන්නෙ නෑ. හික්ස්!!!

ඒ වගේම තමයි දොස්තර හරේන්ද්‍ර මහත්තයට තිබුන අතඇරගන්න බැරි එක පුරුද්දක්. ඒක තමයි හමදාම ලෙඩ්ඩු බලන වෙලාවට කොකා කෝල එකක් මෙසෙ උඩ තියාගෙන ස්ට්‍රෝ එකෙන් ටිකෙන් ටික බොන එක. මම බෙහෙත් ගන්න යනකොට හැමදාම ඔය කොකා කෝල එකනම් වරදින්නෙ නෑ.
අනිත් පොඩි එවුන් බෙහෙත් ගන්න ගියහම දොස්තරගෙ වෙද නලාවයි( ස්තෙතස්කෝප් ද මොකක්ද කියන්නෙ ) ,ටෝච් එකයි අරකයි මේකයි හැම එකම මැජික් බලන්ව වගේ බලනවනෙ. මට නම් ඔය මොකක්වත් වැඩක් නෑ, මම ගියපු ගමන් බලන්නෙ කොකා කෝල එක දිහා.
මුල් හරියෙ නොම්මරයක් ලැබුනොත් මම යන වෙලාවට බෝතලේ ෆුල්. අන්තිම හරියෙ නොම්මරයක් නම් ඉතින් ඉවර වෙන්න ඔන්න මෙන්න. පැය දෙකක් තුනක් තිස්සෙ ඕක කොහොම බොනවද මන්ද.
වැඩේ කියන්නෙ මේ මනුස්සය කොකා කෝල එකෙන් උගුරක් බොන ගමන් තමයි තාත්තට කියනෙ මට කූල් ජාති එහෙම බොන්න් දෙන්න එපා, අයිස් ක්‍රීම් කන්න දෙන්න එපා කියල. මට ඒ කාලෙ ඕකට මාර ජුවල් (මාරයියගෙ ජුවෙල් එහෙම නෙවෙයි ඔන්න )
වෙන වැරැද්දක් නම් නෑ. හැමදාම බොහොම කරුණාවෙන් කතා කරල ඉස්කෝලෙ විස්තර එහෙමත් අහන ගමන් තමයි බෙහෙත් දෙන්නෙ. අනික මමත් ඉතින් රෙගියුලර් කස්ටමර් කෙනෙක්නෙ. හැමදාම පොඩි පෙප් ටෝක් එකක් දානවමයි.

ඉතින් ඔහොම යනකොට එක දවසක් මෙයා මගෙන් ඇහුව ලොකු උනහම කවුරු වෙන්නද කැමති කියල. ඕනම වැඩි හිටියෙක් පොඩි එකෙක්ගෙන් අහන බොහොම සරළ ප්‍රශ්ණයක්නෙ.
ඒත් ඉතින් කොට්ටෝරුවට වරදින්නෙ කෙහෙල් ගහට කොටපු දවසට කියන්න වගේ දොස්තරටත් වැරදුනෙ මට ඔය ප්‍රශ්ණෙ දාපු දවසෙ තමයි.හික්ස්!!!
මම පට ගාල කිව්ව "දොස්තර කෙනෙක් වෙන්න" කියල.
විශේෂඥ මහත්තයටත් ෆුල් හැපී. පිටිපස්සට වෙලා හිටගෙන හිටපු අපේ තාත්තටත් හැපීද මන්ද.
"ඒ මොකද පුතා ඒ? ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඔච්චරම ආසද?" මෙයා තවත් හුරතල් වෙන්න හදනව.
"නෑ..නෑ... එතකොට මට ඕන වෙලාවක කොකා කෝල බොන්න පුලුවන්න්නෙ....." මමත් බොහොම ලාමක විදිහට උත්තර දුන්න.
දොස්තරට කොහොමද දන්නෙ නෑ. ඒත් පැත්තක හිටපු අපේ තාත්තටයි නර්ස්ටයි නම් බකස් ගාල හැපී සාගරයයි.හික්ස්!!!

සාමාන්‍යයෙන් මගේ දඟ වැඩ වලට හිනා වෙන්නෙයි තරහ වෙන්නෙයි අපේ අම්ම තමයි. තාත්ත නිතරම නියුට්‍රල් එකේ හිටියෙ. ඒත් එදා නම් ගෙදර එනකොට බස් එකේදිත් තාත්ත කීප සැරයක්ම තනියම හිනා වුනා කියල මතකයි.
එදා ඉඳල මම බෙහෙත් ගන්න යනකොට දොස්තරගෙ මේසෙ උඩ අර සුපුරුදු කොකා කෝල බෝතලේ පේන්න තිබුනෙ නෑ. ඒ පුරුද්ද අතඇරියද, එහෙමත් නැත්තං චැනලින් ලිස්ට් එකේ මගේ නම දැකපු ගමන් බෝතලේ මේසෙ යට හැංගුවද කියන එකනම් මට තාමත් අභිරහසක්.
ඔය කොළඹදි මහාචාර්ය තුමාගෙන් බෙහෙත් ගන්න ගියපු කෙනෙක් ඉන්නවනම් අපිට දැන්ගන්නත් එක්ක කියන්නකො තාමත් ලෙඩ්ඩු බලනකොට ඒ කොකා කෝල බෝතලේ මේසෙ උඩ තියෙනවද කියල.
එහෙම නම් ආයෙත් මොකක් හරි පරණ කුණුගොඩක් ඇදල මතක මංපෙතේ අතුරනතුරු සයොනරා!!!!!!

පිංතූර තික අහුල ගත්තෙ මෙතනින්.
http://farm3.static.flickr.com/2581/3819406710_2dc1bf1057.jpg
http://www.colastuffusa.com/images/products/8241695_1463088.jpg

Wednesday, June 16, 2010

ඔන්න මම ආයෙමත් අවෝ!!!!!!

ඔන්න අද කාලෙකට පස්සෙ ආයෙමත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න ලබුන. අන්තිම පෝස්ට් එක දාල මාසෙකටත් ලඟයි. හැබයි නොලිය හිටියෙ කම්මැලි කමට කියල නම් හිතන්න එපා.
පහුගිය සති තුනේ මම පුහුණුවීමකට, සිංහලෙන්ම කියනව නම් Training එකකට පිට ගිහිල්ලයි හිටියෙ. ඉන්ටර්නෙට් පහසුකම් එහෙම නැති බොහොම දුශ්කර පලාතකට නම් නෙවෙයි (මෙහේ එහෙම තැන් තියෙනවද දන්නෙත් නෑ). ඒත් ටෝකියෝ වල ඉඳල ටිකක් දුර පලාතකට තමයි ගියේ.
මගේ උපාධිය ගන්න නම් ඉගෙනගැනීම විතරක් මදි, තමන් ඉගෙන ගත්තු දේ තවත් කෙනෙකුට උගන්නන්නත් පුලුවන් වෙන්න ඕන.ඉතින් මටත් සති තුනක් තිස්සෙ වෙනත් කැම්පස් එකකපළවෙනි වසරෙ සිසුන්ට නෙට්වර්කින් ගැන පාඩමක් කරන්න සිද්ධ උනා. මම පිටරට කෙනෙක් නිසා ළමයිනුත් මගේ හැම හැසිරීම දිහාමක් හොඳින් බලාගෙන ඉන්නව. වරදුනොත්නෝන්ඩියනෙ. ඒත් සම්හර වෙලාවට වචන වැරදිච්ච තැන් වලදි කවුරුවත් හිනා උනේ නම් නෑ.( ජප්පොන්ට ජපන් වලින් උගන්නනව කියන්නෙත් සෙල්ලං කෙළියක්ද )


ඔය තියෙන්නෙ මම උගන්නපු පන්තිය. ඉස්සරහින් හිටගෙන ලොක්ක වගේ ඉන්නෙ කවුද කියල කියන්න ඕන නෑනෙ.මාව පොඩියට පේන එකක් තමයි ඔය තෝරල බේරල දැම්මෙ.

කොහොමින් කොහොමින් හරි ජාමෙ බේරගෙන ඉගැන්නුවයි ඉයමුකො. ඔය වගේ පිට තැනකට ගියහම සමහරු නම් දවස තිස්සෙම මූණු පොතෙයි ට්විටර් එකෙයි ලොග් වෙච්ච ගමන්නෙ.මමනම් ඉතින් ලැබුනු චාන්ස් එකෙන් සම්පූර්ණ ප්‍රයෝජනේ අරගෙන නිවාඩු පාඩු වෙලාවට හතර වටේම ඇවිදින්න ගියා. අතින් ගෙවාගෙන ට්‍රිප් යනව වගේද මෙහෙම නිකන් ඇවිදින්නලැබෙනකොට. ඉන්ටර්නෙට් පාවිච්චි කරේ මේල් චෙක් කරන්න විතරයි. ඉතින් ඒ නිසා බ්ලොග් ලිව්වෙත් නෑ. කමෙන්ට් වලට රිප්ලයි කලෙත් නෑ. රිප්ල්යි නොකරපු කමෙන්ට් ටිකක් තියෙනව.
මේ පොස්ට් එක දාපු ගමන් ඒවටත් රිප්ලයි කරන්න කියලයි හිතාගෙන ඉන්නෙ.මට ඊලඟ මාසෙත් මේ වගේ සති දෙකක ට්‍රේනින් එකක් තියෙන්ව වෙනත් තැනක. ඒකටත් ගිහිල්ල ඇවිල්ලම ඒලබපු අත්දැකීම් ගැන වෙනම ලිපියක් ලියන්නම්කො.

අද මොනවම හරි ලියනව කියල හිතාගෙන ආවට මොකද, දැන් මහා කම්මැලි කමක් දැනෙනව. කාලෙකට පස්සෙ ලියන්න ගත්තු නිසාද මන්ද. ටික කාලයක් සද්ද නැතුව හිටියෙ මොකද කියල අද පැහැදිලි කරානෙ. ඒ නිසා මගේ කම්මැලිකමටත් ඉඩ දීල මේ ලිපිය මෙතනින් නවත්තනව. ඒත් හෙටනම් ශුවර් එකටම පරණ කතාවක් අරගෙන එනව එනවමයි.
පොඩි කාලෙ බෙහෙත්ගන්න ගිහිල්ල දොස්තරටත් ඇඩ්‍රස් නැති කරපු කතාවක් තමයි හෙට ලියන්න කියල ඉන්නෙ.
අද කම්මැලි කමට කතාවක් නොකිව්ව එකට තරහ ගියපු අය ඉන්නවනම් ඔය පහලින් තියෙන කොටුවෙ මට බැනල මොනව හරි ලියල යන්නකො.
ඒත් හෙටනම් කතාවක් කියනවමයි. ශුවර්.

Saturday, May 22, 2010

පුංචි පහේ චූ කතාව


මේ දවස් වල මුලු සිංහල බ්ලොග් අවකාශයම චූ ගඳ ගහනවනෙ. කතන්දර කාරයගෙන් පටන් ගත්තු චූ කතා ටික මම කියවන බ්ලොග් අඩවි කීපයකටම ව්‍යාප්ත වෙලා. පෙරේද බලනකොට මාතලන් සහෝදරයත් දාලනෙ චූ කතාවක්.මටත් ඉතින් මෙහෙම වෙලාවට නිකන් ඉන්න බෑනෙ. ඒ නිසා මමත් අද කියන්න යන්නෙ චූ කතාවක්.
හැබ‍යි මේකත් මම කියන්න හිතාගෙන හිටපු කතා ලිස්ට් එකේ තිබුන. හැමෝම චූ ගැන කතා කතා කරන වෙලාවෙ මේ ගැන ලිව්වොත් අනිත් අයගෙ චූ ගඳ නිසා මේකෙ ගඳ වැඩිය දැනෙන එකක් නෑ කියල හිතල තමයි මෙක ලියන්න මේ වෙලාවම තෝරගත්තෙ.
මගේ මතක මංපෙතම චූ ගඳින් පිරිල කියල නම හිතන්න එපා. මේක තමයි මගේ මතක මංපෙතේ තියෙන මට මතක් වෙන එකම, ඒ කියන්නෙ වන් ඇන්ඩ් ඔන්ලි චූ කතාව.
මේකත් සිද්ධ උනේ මම 5 වසරෙ ඉන්න කාලෙ. ඒකත් එසේ මෙසේ තැනකදි නෙවෙයි, මගේ ශිෂ්‍යත්ව පන්තියෙදි. මගේ දෙවනි බ්ලොග් පෝස්ට් එක, ඒ කියන්නෙ පුංචි පහේ මං කියවපු අය දන්නවනෙ මගේ ශිෂ්‍යත්ව පංතිය ගැන. නොදන්න අය දැන්ම ගිල්ල ඒ කතාවත් කියවල එන්න.
මුලින්ම කියන්න ඕන, මේක මම කරපු දඟ වැඩක් නම් නෙවෙයි. මම බලාගෙන ඉන්දෙද්දි වෙච්ච දෙයක්.

මුලින්ම පොතේ ගුරා එවල කතාවෙ පසුබිම හදමුකො.

හැම පන්තියකටම වගේ මගේ ශිෂ්‍යත්ව පන්තියටත් තිබුන ටොයිලට් එකක්. ඕකට යන්න පුලුවන් පන්තිය පටන් ගන්න කලින්, පන්තිය ඉවර උනාට පස්සෙ සහ පන්තියෙ අතරමැද දෙන විවේක කාලයෙදි, සිංහලෙන්ම කියනවනම් ඉන්ටවල් එකේදි විතරයි. පන්තිය අතරතුර යන්න ඕන නම් සර්ට විශේෂ හේතු දැක්වීමක් කරල තමයි යන්න ඕන.
සර්ගෙ තිබුනු කරුණාවන්ත කම නිසාම ළමයි කවුරුවත් පන්තිය අතරමැද ටොයිලට් යන්න අහන්නෙ නෑ. මොකද,එහෙම ඇහුවහම සර් දාන කරුණාවන්ත බැලමට එතනම සුලුදිය පහවෙන්න ඉන්ඩ තියෙන නිසා. ඇහුවත් අහන්නෙ ඉවසගන්න බැරුව රතු කට්ට පැනපු කෙනෙක් තමයි.
ඒ නිසා ඉන්ටවල් එක කියන්නෙ ඔය ටොයිලට් එක බොහොම කාර්ය බහුල වෙන වෙලාවක්.
ගැහැණු ළමයින්ගෙ ටොයිලට් එකයි පිරිමි ළමයින්ගෙ ටොයිලට් එකයි එකට අල්ලල තමයි හදල තියෙන්නෙ. වටේට අඩි 6ක විතර බිත්තියක් තියෙනව. ටොයිලට් දෙක වෙන් කරන බිත්තියත් අඩි 6ක් විතර තම්යි. (පොඩි කාලෙ ඔය බිත්ති අපිට වඩා ගොඩක් උසයි. අඩි 5 ද, 6ද කියන්න හරියටම දන්නෙ නෑ. )
ඒවගේම මුලු ටොයිලට් එකම වහල රහිත එකක්. පහලින් තියෙන රූපෙ බලන්නකො ඒ ටොයිලට් එක මොන වගේද කියල දැනගන්න. පිරිමි ළමයින්ගෙ පැත්තනම් ඔය තියෙන විදිහම තමයි. බිත්තිය වටේට පොඩි කාණුවක් තිබුන. එච්චරයි!!!!! ඊට වඩා ඉතින් ඕනෙත් නෑනෙ.හික්ස්!!!
ගැහැණු ළමයින්ගෙ පැත්ත නම් මොන වගේද කියල දන්නෙ නෑ. මොකෝ ඇතුලට ගිහිල්ල තියෙන එකක්යැ.
ඔය කාලෙ අපේ ළමයින්ගෙ අතරෙ ටොයිලට් එකේදි කරන අමුතු සෙල්ලමක් තිබුන. ඔය ඉතිං!!!!! එක එක අය දැන එක එක ඒව හිතනවනෙ. බය වෙන්න එපා, ඔය එකක්වත් නෙවෙයි. බොහොම සරල අහිංසක සෙල්ලමක්. ඒක තමයි පුලුවන් තරම උත්සාහ කරල තටමල තටමල ඔය උස බිත්තියෙන් එහාපැත්තට මුත්‍ර පාරක් විදින එක. අපි ඕකට කිව්වෙ ගිනි නිවන්න පුරුදු වෙනව කියල. හිතාගන්න බැරි අය ඔය යූ ටියිබ් එකෙන් ගිනි නිවන වීඩියෝ එකක් හොයාගෙන බලන්නකො.
හෝව් හෝව්!!!!! මේ ලිපිය කියවන කාන්තා පාර්ශවය කලබල වෙන්න එපා. මම ලංකාවට එනකොට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන්න ලේස්ති වෙන්නත් එපා.
අපි මේ ගිනි නිවීම පුරුදු වුනේ බොහොම අහිංසක විදිහට, කාටවත් කරදරයක් නොවෙන්න. ඔය ගැහැණු ළමයින්ගෙ පැත්තෙ බිත්තියට උඩින් වතුර පාරවල් විදින්න තුන් හිතකවත් තිබුනෙ නෑ. අපි ගිනි නිවීම පුරුදු වුනේ අනිත් බිත්තියෙ, ඒ කියන්නෙ ඔය පිංතූරෙ "X" කියල ලියල තියෙන බිත්තියෙ. ඔය "Y" පැත්තෙ සිද්ධ වුනේ සාමාන්‍ය ක්‍රියාකාරකම් විතරයි.
ඔය ඕනම සෙල්ලමක් කොච්චර සංතෝසෙන් සාමයෙන් කරගෙන ගියත් ඕක ලෙල්ලම වෙන වෙලාවකුත් තියෙනවනෙ. එදා කරුමෙට මාත් එතන හිටිය. ඒ වුනාට ජොලියකුත් නොතිබුනාම නෙවෙයි.

මෙන්න මේකයි සිද්ධිය.

එක දවසක් මමත් සුලුදිය පහ කරන්න ඔය ටොයිලට් එකට ගියපු වෙලාවක එකෙක් "X" පැත්තෙ බිත්තියෙ ගිනි නිවීම පුරුදු වෙනව. අනිත් කොල්ලො ටික පිටිපස්සට වෙලා චියර් එක දෙනව. බිත්තිය අපිට වඩා ගොඩක් උස නිසා බොහොම කලාතුරකින් තමයි බිත්තිය උඩින් සුලුදිය පහරක් විදින්න පුලුවන් උනේ.
මූත් මුලු ඇඟේම තියෙන වෙර දාල තටමල ගේම දෙනව. පිටිපස්සෙනුත් හොඳ චියර් පාරක් එනවනෙ. කොහොම හරි තටමල වැඩි වෙලාද කොහේද මූට ගියා පොඩි වාතයක්. වාතෙ පොඩි උනාට ටිකක් සද්දෙට ගියා. ඕකට කොල්ලො ටික බඩ අල්ලගෙන හිනා වෙන්න පටන් ගත්ත. චියර් කරපු කොල්ලො විරක් නෙවෙයි ඒ වෙනකොට සුලුදිය පහකිරීමෙ අතරමැද ලෙවල් එකේ හිටපු අයටත් මාර විදිහට හිනා. ඔය අතරෙ "Y" පැත්තෙ තමන්ගෙ පාඩුවෙ කාරිය කොර කොර හිටපු එකෙක්ටත් හෙන කික් හිනාවක් ගියා. හිනාව කොච්චර කික්ද කියන්වනම් ඒ කික් එක උගේ මුත්‍රාශයටම දැනෙන්න වැදිල තියෙනව.
හිනාවෙ පවර් එකේ සැර කමටද කොහෙද උගේ සුලුදිය පාරක් බිත්තිය උඩින් අනිත් පැත්තට විද්ද. හිතාගන්න බැරිනං පොඩ්ඩක් තදින් හිනා වෙලා බලන්නකො ඔය මුත්‍රාශය තියෙන පැත්තට කික් එකක් දැනෙන්නෙ නැද්ද කියල.
කෙල්ලොන්ගෙ පැත්තෙන් " ඊයා....... ඉකේ........යියා........." කියල සද්ද්යක් ඇහෙනව. වැඩේ දෙල් . වැදිල තියෙන්නෙ හෙන ගිනි ගොඩකට. ඒ මදිවට අරූගෙ ටැංකියෙ තිබිල තියෙන්නෙ පෙට්‍රල් ද කොහෙද. ඒ සුලුදිය පාර වැදිච්ච ගමන් එහා පැත්තෙන් හෝ ගාල ඇවිලෙන සද්දෙ ඇහෙනව.
අර චියර් දිදී ඉඳපු කොල්ලො සෙට් එක කොහෙන් ගියාද නෑ. ටොයිලට් ඒකේ ඉතුරු උනේ මමත් ඇතුලුව 5 දෙනෙක් විතරයි. ඇයි ඉතින් කාරිය කර කර ඉඳපු අය කාරිය අතරමැද නවත්තල දුවන්නයැ. සර්ගෙ කරුණාවන්ත කම දන්න නිසා අර එහා පැත්තට සුලුදිය විදපු එකාට ආයෙමත් මුත්‍ර බර හැදිල වගේ. හැමෝම මගේ දිහා බලනව. මොකද මම හැමදාඅම පන්තියෙ පළවෙනි 5 දෙනා අතර ඉන්නව. කොච්චර දඟ වැඩ කරත් සර් මට ටිකක් ආදරෙයි.
දැන් අහුවෙන්නෙ අපි 5 දෙනානෙ. 5 දෙනාම එකට එලියට ආව. එතකොට කෙල්ලො ටික සර්ටත් කතා කරල ඉවරයි. මුත්‍ර පාර වැදිච්ච ගෑණු ළමයත් බලාගෙන ඉන්නව. අම්මෝ!!!!! ඒක මහ ගිනි බෝම්බයක්!!!!
"කවුද මේ වැඩේ කරේ" සර්ගෙන් මුල්ම ප්‍රහාරය.
අපි කට්ටිය සයිලන්ට්.
සුලුදිය පාර විදපු එකා හරි අහිංසක කොල්ලෙක්. ඌ මගේ මූණ බලනව.ඒක දැකල අනිත් උන් 3දෙනත් මගේ මූන බලනව. හරියට මම වැරැද්ද කරා වගේ.
"මතක මංපෙත...... මේක තමුසෙගෙ වැඩක්ද?? මට ඇත්ත කියන්වා...." සර්ගෙන් දෙවනි ප්‍රහාරය.
" නෑ සර් මම නෙවෙයි...." මගේ උත්තරය.
"එහෙනං කවුද මේක කරේ? "
කවුරුත් සද්ද නෑ.
"කට්ටියම පන්තිය ඉවර වෙනකන් ස්ටෙජ් එක ලඟ දන ගහගෙන ඉතුරු පාඩම් ටික අහගෙන ඉන්නව. වැදිකාරය තමන්ගෙ වැරැද්ද පිලිගන්නකන් හැදාම දන ගහගෙන තමයි පන්තියෙ ඉගෙන ගන්න වෙන්නෙ." සර් බර අවි වලින් ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්ත.
එහෙම කියල සර් අනිත් පැත්ත හැරුන විතරයි එකෙක් ඉස්සරහට යන්නයි හදන්නෙ. මම උගේ බඩට ඇනල නවත්තගත්ත.පාවාදීම් වලට ඉඩ දෙන්න බෑනෙ.

එදා පන්තිය ඉවර වෙනකන්ම අපි දන ගහගෙන. පන්තිය ඉවර වෙලා සේරම ළමයි ටික යනකන් අපිව තියාගත්ත.
සෙරම ළමයි ටික ගිහිල්ල ඉවර වෙලා සර් අපි ලඟට එනකොටම අර අහිංසක වැරදිකාරය නැගිටල කිව්ව
" මම තමයි සර් බිත්තියෙන් එහාපැත්තට චූ කරේ" කියල.
ඌ බයේ ගැහෙනව.
"එහෙනම් තමුසෙගෙ වැරැද්දට මෝම දඬුවම් විඳිනකන් බලාගෙන හිටිය නෙ...."සර් නිකං යකා වගේ.
" අපි කට්ටිය කතා උනා කවුරුවත් අල්ලල නොදෙන්න. අනික මේක හිතල කරපු දෙයක් නෙවෙයි සර්" මම පට ගාල නැගිටල උතර දුන්න.
ඊට පස්සෙ වෙච්ච සිද්ධියත් කෙටියෙන් විස්තර කරල දුන්න. සර්ටත් පුංචි හිනාවක් ගියා. මම දැනගත්ත වැඩේ ශේප් කියල.
ඕක මට පොඩි කාලෙ ඉඳල තියෙන දක්ෂකමක්. කාටහරි තරහ ගිහිල්ල හිටියත් ඒක පට ගාල නිවල දාන්න මගේ වචන දෙක තුනකට පුලුවන්. ටික ටික ලොකු වෙනකොට තමයි ඒකෙ පල ප්‍රයෝජන බොහොම තියෙන විත්තිය තේරුම් ගත්තෙ.හික්ස්!!!!

අපිට ගෙදර යන්න අවසර වගේම ඊලඟ දවසෙ ඉඳල නැවතත් සුපුරුදු ඩෙස් එකේම වාඩි වෙන්නත් අවසර ලැබුන.
මම පන්තියෙ ගේට්ටුවෙන් එලියට එනකොට තාත්ත බලාගෙන ඉන්නව. හැමදාම අපිත් එක්ක එකට පන්ති ඇරිල යන මගේ ඥාති සහෝදරිය, ඒ කියන්නෙ මට වඩා දවස් 11ක් බාල මගේ නෑන තාත්තට සේරම නිවුස් එක දීල.
ඉතින් ගෙදර ගිහිල්ල ඔය සිද්ධිය ගෙදර අයටත් විස්තර කරල දුන්නට පස්සෙ තමයි මගේ නම බේරගන්න පුලුවන් උනේ. හික්ස්!!!
ඔන්න මගේ චූ කතාවත් කියල ඉවර කරා. බ්ලොග් අවකාශය චූ කතා වලින් පිරී ඉතිරී යත්වා..!!! කියල හමෝම සාදුකාරයක් දෙන්න.............
දැන් මේ චූ කතාවට කැමති අය ඉන්නවනම් ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.
අකමැති අයත් දත් මිටි කකා නිකං ඉන්න එපා. ඔය පහලින් තියෙන කොටුවෙ මට බැනල මොනව හරි ලියල යන්න.