Friday, July 02, 2010

මට හෝම් සික්ද මන්ද!!!!!!


අද නම් මහ අමුතුම අමුතු දවසක් අප්පා!!!!!!
ජපානෙට ඇවිත් අවුරුදු 4ක් වෙන්න ඔන්න මෙන්න තියල මට හෝම් සික් හැදීගෙන එනවද මන්ද. ඉන්න තැනකට වෙලා කන්න තියෙන දෙයක් කාල බලන්න තියෙන දෙයක් බලාගෙන කොරන්න තියෙන දෙයක් කොරගෙන සොමියෙ ඉන්න මට මොන හෝම් සික්ද!!!හෙදර මතක් කර කර හූල්ල හූල්ල ඉන්නෙ නැතුව ඉන්න තැනක සතුටින් ඉන්න කියලයි අම්ම මට උගන්නල තියෙන්නෙ. එහෙව් එකේ මතක මංපෙතට මඤ්ඤං කැවිලද මන්ද මේ ඇම්ඩට (දුකා අයිය මාව බෞතිස්ම කරේ ඔය නමින්නෙ ) හෝම් සික් කියල කියන්න.
ඒ උනත් දැන් දවස් දෙක තුනක ඉඳල ගෙදර උදවියමයි මතක් වෙන්නෙ. තවත් කෙනෙකුත් මතක් නොවෙනවම නෙවෙයි. ඒත් ඉතින් එයා මගේ හොඳ බාගෙනෙ. ඉන්නෙ හිත ඇතුලෙමයි. එයා මතක් වෙන එක නැවතුනොත් ඉතිං ලංකාවට පය ගහලත් හමාරයි.
ඔන ටොපික් එකෙන් පිට යනව.කොහොමින් කොහොමින් හරි මට මේ දවස් ටිකේම මතක් වෙන්නෙ ගෙදර හැමෝම එක්ක සොමියෙ හිටපු කාලෙ ගැන තමයි.අපි කොළඹ පදිංචියට එන්න කලින් මට අවුරුදු 4 ඉඳල 18 වෙනකන් පදිංචි වෙලා හිටියෙ හික්කඩුවෙ. ඒ කාලෙ තමයි ජොලිම කාලෙ. මම තාම මතක මංපෙතට නොලියපු, ඒත් ඉස්සරහට ලියන්න කියල හිතාගෙන ඉන්න රසවත් මතකයන්ගෙන් 99%ක්ම ඔය කාල සීමාව ඇතුලත සිද්ධ වෙච්ච දේවල් තමයි.
ඔය කාලෙ මුහුද අපේ ජීවිතයට ගොඩක් සමීපයි. ගිදර ඉඳන් විනාඩි පහක් ඇවිද්දොත් මුහුදට යන්න පුලුවන්. මුහුදෙ රැල ගහන සද්දෙත් යාන්තමට ගෙදරට ඇහෙනව.
අම්බලන්ගොඩ සහ ගාල්ලට අතරෙ පළල්ම වෙරළ තියෙන්නෙ හික්කඩුවෙ වෑවල ඉඳල දොඩන්දුවෙ කුමාරකන්ද වෙනකන්. ඔය හරියට කවදාවත් ගල්වැටි ඕන උනේ නෑ. වාරකන් කාලෙටත් වෙරළ ටිකක් පළලට ඉතුරු වෙලා තියෙනව. අපි හිටියෙ ඔය පුලුල් වෙරළෙ හරි මැද හරියෙ, ඒ කියන්නෙ හික්කඩුවෙ තිරාණගම කියන ගමේ.
ඒ කාලෙ හැම සති අන්තෙම වගේ තාත්ත මාව මුහුදෙ නාන්න එක්කගෙන යනව. එක්කගෙන නොයන පාටක් තිබුනොත් වදකරල හරි මම තාත්තව එක්කගෙන යනව. මොකද මම A/L කරන කාලෙ වෙනකන්ම තාත්ත ඇරෙන්න වෙන කාත් එක්ක වත් මාව මුහුදෙ නාන්න් යැව්වෙ නෑ. තනියෙන් යන්න දුන්නෙත් නෑ කියල ඉතින් කියන්නම ඕන නෑනෙ. පොඩි කාලෙදිම තාත්ත මටයි අක්කටයි පීනන්න ඉගැනුව උනත් දැනටත් ලංකාවට ගියපු වෙලාවක හික්කඩුවෙ යාලුවොත් එක්ක මුහුදෙ නාන්න යනව කිව්වොත් ටිකක් කනුකුනු ගාල තමයි යන්න දෙන්නෙ. මම හිතන්නෙ තාත්ත තරුණ කාලෙ යාලුවො දෙතුන්දෙනෙක්ම මුහුදට බිලි වුනු නිසා මට හිතේ හැටියට මුහුදෙ නාන්න ඉඩ දෙන්න බය හිතෙන්න ඇති. ඒ කාලෙ ඒ ගැන හිතේ පොඩි තරහක් තිබුනත්, දැන් කල්පනා කරල බලනකොට තාත්ත එහෙම කරේ මගේම හොඳට නේද කියල හිතෙනව.
ඒ වගේමයි කවුරු හරි දැලක් වටලල කියල ආරංචියක් ආවොත් තාත්ත මාවත් එක්කරගෙන තමයි මාලු ගන්න දැල අදින තැනට යන්නෙ. මාලු ගන්න අතරෙම එක එක මාලු වලට කියන නම්, ගනන් වැඩි මාලු ජාති වලින් ගනන් අඩු මාලු ජාති වෙන්කරල අඳුරගන්න හැටි, දැල් වට කරන හැටි වගේ එක එක දේවල් මට කියල දෙනව. මම වැඩියෙන්ම කන්න කැමති දැල්ලො, පැන්නො වගේ දෙයක් දැලට අහුවෙලා තිබුනොත් ඒවයින් ටිකකුත් ගන්න අමතක කරන්නෙ නෑ.

ඒ වගේමයි ඒකාලෙ අපි හැමෝගෙම ප්‍රියතම අංගයක් තමයි නිවාඩු පාඩු දවසක හවසට පවුලෙ හැමෝම වැල්ලට ගිහිල්ල ටිකක් නිවී හැනහිල්ලෙ වාඩි වෙලා ඉඳල එන එක.
හවස ඉර බහින්න පැයකට විතර කලින් හැමෝම වැල්ලට යනව. ගියපු ගමන්ම මමයි අක්කයි පුංචියි මොකක් හරි සෙල්ලමක් පටන් ගන්නව.අපි සෙල්ලං කරන අතරෙ අම්මයි තාත්තයි වාඩි වෙලා මොකොක් හරි කයියක් දාගෙන ඉන්නව. හැබැයි කතාකරන්නෙ මොනව ගැනද කියලනම් අපි දන්නෙ නෑ.
වැල්ලට ගියහමද අපිට කරන්න වැඩ නැත්තෙ. මගෙයි අක්කගෙයි ප්‍රියතම සෙල්ලම තමයි වැල්ලෙ තියෙන ඔරු වල බඩ පිලුන් ගහන එක. අර කොල්ලෑව ඔරුවට සම්බන්ධ කරන හරස් ලී දෙක තියෙන්නෙ, ( බෝඹු ලීයද මන්ද? දෙපාරක් කල්පනා කරල බලනකොට බෝඹු ලීය තියෙන්නෙ කරත්තෙටද මන්ද?!!!???!!! ) අන්න ඒකෙ බඩ පිලුන් ගහනව කියන්නෙ ෆුල්ම ජොලි වැඩක්. බඩ හම යනකන් කරත් එපා වෙන්නෙ නෑ. ඒත් ඉතින් කරකැවිල්ල හැදුනහම නම් එපා වෙනව.
කොහොමින් කොහොමින් හරි ඒක එපා උනා කියමුකො.
ඒත් වැල්ලෙ කරන්න තව කොච්චර ජොලි වැඩ තියෙනවද. ඒව කාලෙන් කලෙට මුහුදෙ තත්වෙ අනුව වෙනස් වෙනව.
ගොඩ මුහුද ගලල තියෙන කාලෙට ඒව එකට එක ඈඳල අගල් හාරනව. හාරන්නෙ නම් ඉතින් අතින් තමයි. ඒත් ඉතින් වාරි කර්මාන්තයනම් යෝධ ඇල පරාදයි.
සිප්පි කටු ගොඩගහන කාලෙට නම් සිප්පි කටු, හඳපලු, ගොංගො(කවඩි ), කිරිගොටු වගේ එක එක ජාති මල්ලක් පිරෙන්නම අහුලනව. ගෙදර ගිහිල්ල එක එක අත්වැඩ කරන්න පුලුවන්නෙ.
එහෙමත් නැත්තං වැරෑටි බෙල්ලො අහුලනව. උන් මැරිල උන්ගෙ පියන් තමයි සිප්පි කටු විදිහට ගොඩ ගහන්නෙ. ඒත් උන්ව නම් ගෙදර ගෙනියන්න තහනම්. කොච්චර ඇහින්දත් ටික වෙලාවකින් ආපහු වතුරට දාන්න වෙනව. පවු සිද්ධ වෙනවලු. ඒ උනාට බෙල්ලො ගලේ බෙල්ලො ඉන්න කාලෙට නම් තාත්තමයි මට කතා කරන්නෙ බෙල්ලො එකතු කරන්න යමු කියල. තාත්තත් ඉතින් මං වගේම බෙල්ලො කන්න රුසියනෙ. හැබැයි වැරෑටි බෙල්ලට එක ධර්මෙකුයි ගලේ හැදෙන බෙල්ලට වෙනත් ධර්මෙකුයි අනුමත වෙන්නෙ කොහොමද කියල නම් මට තාමත් හිතාගන්න බෑ. !!! ??? !!!
ඔය මුකුත්ම නැත්තං වැල්ලෙ වලවල් හාරල ඒව උමං වලින් සම්බන්ධ කරල බිංගෙවල් සංකීර්ණ හදනව. ඕව කරේ පොඩිම පොඩි කාලෙ විතරක් නෙවෙයි, අක්ක කැම්පස් යන කාලෙ උනත් නිවාඩු දවසක් වැල්ලෙ ගියොත් බඩ පිලුන් ගහල, බිංගෙවල් හාරල තලා දුවල තමයි නවතින්නෙ.

කොහොම හරි ඉර බහින්න ඔන්න මෙන්න තියල තුන්දෙනාම අම්මයි තාත්තයි වාඩි වෙලා ඉන්න තැනට එනව. අක්කයි පුංචියි අම්මගෙ පැත්තකින් වාඩි උනාට මගේ ආසනේ නම් වෙන් කරලමයි තියෙන්නෙ. තාත්තගෙ සරම බොකුටු කරල ඒකෙ වාඩිවෙලා තාත්තගෙ කකුල් දෙකට අත්දෙක ගහගෙන රජා වගේ තමයි මම වාඩි වෙන්නෙ. මම A/L කරන කාලෙවත් ඔය පුරුද්ද නැති උනේ නෑ.
වැල්ලට එන අතරෙ කඩෙන් අරගෙන ආපු බයිට් ටිකක් එහෙම කකා පස්දෙනාම එකතු වෙලා ඉර බහින හැටි බලාගෙන ටික වෙලාවක් සද්ද නැතුව ඉන්නව. ඉර හිමීට හිමීට ඈත ක්ෂිතිජයෙ නොපෙනීයන හැටි පස්දෙනාම නිහඬව බලාගෙන ඉන්න හැටි මට දැනටත් මතක් වෙනව.
ඊට පස්සෙත් තවත් පැය දෙකක් විතර කරුවලේ අපි කොච්චර දේවල් නම් කතා කර කර ඉන්න ඇත්ද. අක්ක අපිට අහසෙ තියෙන එක එක තරු රටා ගැන කියල දෙනව. 8 වසරෙ විද්‍යාවට තියෙන තරු රටා ටික අනිත් කොල්ලො දමාගෙන පාඩම් කරන කොට මට ෆුල් ජොලි. මොකද මම ඒ තරු රටා ඉගෙනගත්තෙ 3 වසරෙදි. ඒ කියන්නෙ අක්ක 8 වසරෙ ඉන්නකොට.
මම ඉස්කෝලෙ වෙච්ච කේස් කවදාවත් ගෙදරදි කියන්නෙ නැති උනත් මොනව හරි ජොලි සීන් එකක් එහෙම උනානම් ගෙද අයට ඒක රස කර කර කියන්නෙ මේ වෙලාවට තමයි. ඒත් චාටර් කේස් නම් කියන්නෙ නෑ. එහෙමත් නැත්තං ඉස්කෝලෙ ක්‍රිකට් මැච් අවලදි වෙන සීන් (මම ඉස්කෝලෙ 13න් පහල ක්‍රිකට් ටීම් එකෙත් අවුරුදු 3ක් සෙල්ලම් කරානෙ ), ප්‍රැක්ටිස් වලදි වෙන සීන් එහෙමත් දිග අරින්නෙ මේ වෙලාවට තමයි.
අම්මයි තාත්තයි වැඩ කරන තැන් වල මොකක් හරි සිද්ධියක් එහෙමත් අපිට කියන්න ඕන කියල හිතුනොතින් ඒක කියන්නෙත් මේ වෙලාවට තම්යි. ඊලඟට තාත්ත රට වටේ ඉස්කෝල වල් උගන්නන කාලෙ සිද්ධ වෙච්ච රසවත් සිදුවීම්, අම්ම රස්සාවට ගියපු මුල් කාලෙ වෙච්ච කේස් වගේ රසවත් සිද්ධි විතරක් නෙවෙයි 89 කලබල කාලෙ එක එක සිද්ධිත් අපිට කියල දුන්නෙ මේ වෙලාවෙදි තමයි.
මමයි අක්කයි කිය්වපු පොත් ගැන අපි හිතන විදිහ, ප්‍රබන්ධ කොට සහ සත්‍ය කොටස අතර කොච්චර ගැලපීමක් තියෙනවද වගේ හරබර සංවාදත් නොතිබුනාමෙ නෙවෙයි.
කතා විදිහට කියල දුන්නත් මේ කතාබහ අපේ ජීවිත වලට කොච්චර දැනුම එකතු කරාද කියල හිතෙන්නෙ දැන් ඒ ගැන කල්පනා කරල බලනකොට තමයි.

TV, ටෙලිෆෝන් වගේ දේවල් වලින් ඈත් වෙලා සති කීපයකට සැරයක් නිදහසේ එකට ගත කරන මේ පැය කීප‍ය අපේ ජීවිතේ හැඩැගස්ස ගන්න කොච්චර රුකුලක් උනාද කියල දැන් තමයි තේරෙන්නෙ.
අද මේ අප්සෙට් ගහල ඉන්න වෙලාවෙත් වැඩියෙන්ම මතක් වෙන්නෙ පවුලෙ හැමෝම එක්ක වැල්ලෙ ගතකරපු ඒ පැ‍ය කීපය ගැන තමයි.
ආයෙත් පවුලෙ අයත් එක්ක පරණ විදිහටම වැල්ලෙ ගිහිල්ල වාඩි වෙලා ඉන්න කොච්චර ආස උනත් ඒක කරන්න පුලුවන් වෙයිද කියල සැකයි. පුංචිත් දැන් වෙනම පවුලක්. ඉස්කෝලෙ යන දුවෙකුත් ඉන්නව. අක්කත් වෙනමම පවුලක්. මට දැන් අවුරුද්දක් වයස බෑන පොඩ්ඩකුත් ඉන්නව.
ඒත් කවද හරි මේ හැමෝම එකතු කරගෙන තිරාණගම වැල්ලෙ පැය කීපයක් ගතකරන්න තියෙන්වනම් කොච්චර දෙයක්ද. බලමුකො ඊලඟ වතාවෙ ලංකාවට ගියහම වත් පුලුවන් වෙයිද කියල.
අද මම ලිව්වෙ මගේ මතක මංපෙතේ බොහොම තදින් කාවැදිල තියෙන සුන්දර මතකයක් ගැන. කතාව ලියාගෙන අන අතරෙ මගේ හැඟීම් වෙන්ස් වෙන විදිහට ලිවීමේ ශෛලියත් තැනින් තැනට වෙන්ස් කියල මේක කියවපු ඔයාලටත් දැනෙන්න්න ඇතිනෙ. ඒත් අද ලිපිය නම් මේ විදිහටම එඩිට් නොකර පෝස්ට් කරනව.
හැඟීම්බර විදිහට ලිවීමේ හැකියාව ගොඩක් දුර්වල උනත් මට හිතෙන දේ පටලවල හරි ලියල දැම්ම. මේ ගැන ඔයාලට හිතෙන දේත් පුලුවන් නම් ලියල යන්නකො.
ලිපිය නම් ටිකක් දිග උනා. ඒත් ලොකුම ප්‍රශ්ණෙ තමයි මේකට ටොපික් එකක් දාන එක. බලමුකො ඒකතත් හොඳ එකක් කල්පනා කරල !!!!!!!!!!!!!!!!!

ඔය ඉහලින් තියෙන්නෙ තිරාණගම වෙරළෙ පින්තූර දෙකක්.

10 comments:

ඉලංදාරියා said...

සුන්දර මතකයක්..සහෝ හරිම සුන්දරයි....මගෙත් මතකය ඇවිස්සෙනවා ....ලස්ස්නට ලියලා තියනවා.........

Ansh Lucky Sri Jay said...

හරිම ලස්සනට ලියලා තියෙනවා..

ගල්මල්-Coral said...

ලස්සන රචනය මල්ලී, ගොඩාක් ආසාවෙන් කියෙව්වා.

අපි ඉතිං ඔය ගම් පලාතත් පසුකරලා අපෙ ගම් පලාතට යන්න ඕනේ. දැන් නම් ගමෙන් ගොඩාක් ඈත... දන්නේම නැතිව ගමෙ ගියාවගේ හිතුනා.

Praසන්ன said...

හිතට කාවදින ලෙස ලස්සනට ලියල තියෙනවා.

චේජනා said...

ඔයාට ඔය ලෙඩේ ටික දවසක් ඉඳල නෙ.. තියෙන්නේ, මට නම් මල්ලි හැමදාම හෝම්සික්ද මන්ද, මෙහේ ඉන්න කට්ටිය කියන්නෙ මම ඉන්නෙ ජපානෙ නෙවේ ලංකාවෙ කියල..

Anonymous said...

නුවන්,

මටත් කාලෙකට පස්සෙ මේ ලිපිය කියෙව්වට පස්සෙ හිතට ලොකු සතුටක් දැනුනා.
ආයේමත් සැරයක් ලංකාවට යන්න හිතුනා. ,

පිස්සා පලාමල්ල said...

මොනවද බන් මේ ලියන්නේ.... ලංකාව මතක් උනා.. ඉස්සර තාත්ත එක්ක මුහුදෙ නාන්න ගියපුවා... ඇවිදින්න ගියපුව.... දුක හිතෙනවා...

ආයෙ ඒ කාලේ එන්නෙ නැහ බන්. අපි ආයෙ ගියත් ඒ විදියට ඒ දේවල් නැහ දැන්.
උබට ඕක ටික දවසනෙ.. මට නම් හැමදාමත් තියෙනවා බන්. මට ලංකාව වගේ හරි යන්නෙ නැහ මේ සීතල රටවල්... අවුරුදු ගානක් හිටියත් තාමත් හිත ලංකාවෙ. ආයෙ යන දවස වෙනකල් ඉන්නෙ.

thariya said...

මටත් ඒ වගේ සුන්දර මතක තියනව.

Hasitha said...

නියම කතාව අයියේ. දැන් කාලේ පොඩි එවුන් ඉස්කෝලේ ගිහින් හැන්දෑවේ පංති ගිහින් ඇවිත් ටීවී එකේ යන කාටූන් ටික බලලා ඊට පස්සේ මළ ගෙදරයි අනිත් ටිකයි බලලා නිදා ගන්නවා ඇරෙන්න කරන්නේ මොකක්ද ? අම්මායි තාත්තයි එහෙමත් ඒවාට ඇබ්බැහි වෙලා නිසා ළමයි එක්ක කතා කරන්න වෙලාවක් නැහැ...... ඔහොම තමා දැන් කාලේ ජීවීතේ. තාක්ෂණේ දියුණු වෙන්න වෙන්න මිනිසාගේ තියෙන මනුස්ස ගුණ ධර්මත් එකින් එක අඩුවෙලා ගිහින් යාන්ත්‍රික මිනිස්සු වෙලා තියෙන්නේ.........

ඉන්දික උපශාන්ත said...

ඔය තිරාණගම තමයි මගේ යාලුව්ක්ගෙ මහ ගෙදර. මිනිහනං දැන් ඉන්නෙ ඉතාලියෙ, උගෙ බාප්පල තමයි එහෙ ඉන්නෙ. ( මිනිහගෙ සීය ගැන තමයි අර කතන්දරගෙ පොර සීය කතාවෙ තීන්නෙ ) අපි දවසක් එක බාප්ප කෙනෙක්ගෙ වාහනේක නැගල ගිහින් ඇඳුම් ටික ඒකෙම තියල සමූපකාරෙ ගාව මුහුදෙ නාල වැල්ල දිගෙ පයිංම ආව සුනිල් හෝටලේ ගාවින් පාර පෑනල තිරාණගමටම. එනකොට හන්දියෙ ඉඳල අර "පොදු ළිඳ" ගාවට එනකල්ම පාරෙ හිටපු උන් " මොකද මේ නාන ඇඳුම් පිටිං පයිංම" කියල අහනකොට "බලන්නකො අපි නාල එනකොට කවුද ඇඳුං උස්සලනෙ" කියල, මුලු පෑත්තෙම උන් අම්ම මෝඉ නැතුව බනිනව අර බෝට්ටු කාරයින්ටයි කුඩ්ඩන්ටයි. අපිටත් ඉතින් හෙන ආතල්..පොඩි කාලෙ බාල වැඩනෙ.

Post a Comment