Tuesday, April 27, 2010

පොත් සමග මම

අද ඉන්ටර්විව් එකකට ගියා. ඒක ඉවර වෙන්නත් කලිංම ඒකට කෙළ වෙච්ච බව තේරුණු නිසා කෝච්චියෙ එනකොටත් හිත අවුල් වෙලා හිටියෙ. උන්න හැටියට මළා මදැයි කියල,අවුල් වෙච්ච ඉන්ටර්විව් එක අමතක කරන්නත් එක්ක පටන්ගත්ත මගේ විනෝදාංශෙ. ඒ කියන්නෙ අතීතාවර්ජනය. ඒකත් හරියට ට්‍රැක් පැනපු කැසට් ටේප් එකක් වගේ එකම දේවල් රිපීට් වෙන,සමහර තැන් ප්ලේ කරනම බැරි මහා අවුල් ජාලයක්. ඒ නිසා අද මොන්ව ලියවෙනවද කියල බලාගන්න වෙන්නෙ ලියල ඉවර වෙලා තමයි. මේ සටහනට ගැලපෙන මාතෘකාවක් දාන්න වෙන්නෙත් සටහන ලියල ඉවර වෙලා නැවත වතාවක් කියවල බැලුවහම තමයි.

ඒත් ස්ටේශන් එකේ ඉඳල Room එකට එනකන් බයිසිකලේ පදිනකොටත් නැවත නැවත මතක් වුනේ මම කියවපු පොත් ගැන. ඒ නිසා මේ සටහනත් බොහෝ විට පොත් ගැන වෙන්න ඉඩ තියෙනව.

පොත් ගැන කියනවනම් හෝඩි පොතත් කියවන්න ඇති(ඒත් මතක නෑනෙ ),ඔය 2,3,4 පන්ති ව්ල ඉන්න කොට ඉස්කෝලෙ තෑගි ප්දානෝත්සවයෙදි පොත් හම්බවෙලා තිබුනත් ඒ මොනවද කියල හරි හැටි මතකයක් නෑ. මට ලැබුනු පොත් වලින් මතක තියෙන මුල්ම පොත් තමයි "මුතුබෙලි අක්කයි නගෝ හත්දෙනයි" කියන පොතයි අර යකඩ පොල්ල කණේ ගහගෙන වැඩ දාන වානරයගෙ කතාව තියෙන පොතයි. ඔය පොත් දෙකම රූප වැඩියෙන් තියෙන, වචන අඩුවෙන් තියෙන පොත්. ශ්ෂ්‍යත්ව පන්තියෙ 4 වසරෙ ඉඳල 5 වසරට ඇතුල් වුනු මුල්ම මාසෙ විභාගෙ 1,2,3 වෙනියට තෑගි දුන්න. ඔය පොත් දෙක තමයි පළවෙනියට ලැබුනු තෑග්ග.

හැබැයි මම පළවෙනිය වෙන බව දන්නවනම් සර් පළවෙනි තෑග්ගට දෙන්නෙ "සිරිත් මල්දම" යි "හොඳ ළමයෙක් වෙයන් පුතේ" කියන පොත් දෙක...හික්ස්!!!!
මගේ 5 වසෙ ඉන්න කාලෙ වැඩ ගැන ඉතින් ඔයගොල්ලොත් දන්නවනෙ.දන්නෙ නැත්තං මේ ලිපි තුන බලල ඉන්නකො.
පුංචි පහේ මං
කජු කෑමත් ලේසි නෑ
මිසොං ඉම්පොසිබොල් කජු කෑම


කොහොමින් කොහොමින් හරි ශිෂ්‍යත්වෙත් ඉවර උනා කියමුකො. ශිෂ්‍යත්ව පන්තියෙ ළමයින්ගෙන් වැඩිම ලකුණු, ඉස්කෝලෙන් දෙක(ඉස්කෝලෙන් වඩිම ලකුණු ගත්තු හාදයත් ඕං කාලෙක ඉඳල සිංහලෙන් බ්ලොග් ලියන බ්ලොග් ලොක්කෙක් ) , දිස්ත්‍රික්කෙන් 16. සෙල්ලංද කොල්ලෝ කිව්වලු.
මමත් දැං 6 වසරෙ බොහොම තැනක් තියෙන කොල්ලෙක්. ගෙදර ගියපු ගමන් අම්මට දැම්ම ඉල්ලීමක්
"මටත් දැන් ලොකු පොත් කියවන්න ඕන. ඒ නිසා පොත් දෙක තුනක් ගෙනැල්ල දෙන්න."
අම්ම කිව්ව"හරි.ඒත් අලුත් පොත් ගන්න කලින් මේ පොත කියවන්න."

මොකද දන්නවද ඒ පොත. "පියාසර අංක 401"
ලෝක ගුවන් මගී පවාහනයේ ඉතිහාසය වෙනස් කරන්න හේතු වුනු 1972 දි සිද්ධ වුනු ගුවන් අනතුරක් ගැන ඇත්ත වාර්තා ඇසුරෙන් ලියවෙච්ච පොතක සිංහල පරිවර්තනය. මහා ලොකු පොතක් නෙවෙයි පිටු 150,200 විතර පොතක්.ඒත් ඒ කතාව කොච්චර හිතට අල්ලල ගියාද කිව්වොත් එක දිගට දෙපාරක්ම කියෙව්ව මතකයි.
ඒ ගුවන් අනතුර ගැන විස්තර දැනගන්න ආසයි කියල හිතෙන්වනම් මෙතනට කොටන්න.
"පියාසර අංක 401" නමින් සිංහලට පරිවර්තනය වුනු පොත කඩ්ඩෙන් කියවන්න ආසනම් මෙතනට කොටන්න.

අම්මගෙ ඊලඟ පඩි දවසෙ ලැබුන රුපියල් 300ක්.තාත්ත එක්ක ගියා ගාල්ලෙ ළහිරු පොත් හලට. තාත්ත කතා පොත් කියවල තිබුණු කෙනෙක් නොවන නිසා( තාත්ත කියවල තිබුනෙ රොබින්සන් කෲසෝ විතරයි.එදා කඩේ ඒ පොත තිබුනනම් මට ඒක ගන්න වෙනව සුවර්..හික්ස්!!!) මට කැමති පොතක් ගන්න අවසර තිබුන.
ඒ කාලෙ TV එකෙත් ගියානෙ ටාසන් කතාව. මම පැනපු ගමන් ගත්ත කිරි ටොයිය වගේ දිලිසි දිලිසි තිබුණු "ටාසන්ගේ වනසිව්පාවෝ"කියන පොත. තව පොතක් ගන්න සල්ලි ඉතුරුයි. ටාසන්ට එහා පැත්තෙ තිබුනු පොත ගන්න ඕන කියල හිතුන. මම කොච්චර වාසනාවන්තද කියන්ව නම් ඒ අහම්බෙන් ගත්ත පොත තමයි එදා මෙදා තුර මගේ ප්‍රියතම පොත් වලිනුත් මුල් තැන ගන්න පොත.
මොකක්ද දන්නවද "සුදු ගෝනා"!!!!!!!
මේ පොත් දෙක බොහොම ආසවෙන් කියෙව්ව.
ඊට පස්සෙ මාසෙ සල්ලි වලින් ඉතින් නොවැරදීම "සුදු වැද්දා"!!!!!.ඒකත් එක්ක "නොදැමුණු ටාසන්"
ඊට පස්සෙ මාසෙ"විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව" සමග "ඩ්‍රැක්‍යුලා"!!!!!!!!!!!!
කොහොමද පොඩි එකාගෙ චොයිස්.සේරම ලොමු ඩැහැගන්වන වීර කතා...හික්ස්!!!

මට මගේ පොත්, ගත්තු පිළිවෙලට මතක ඔය ටික විතරයි.
අන්තිමට ලිපිය පොත්, ගැනම වුනා නේද. මගේ පොත් කියවිල්ල ගැන තව මහා ගොඩක් ලියන්න දේවල් ගලාගෙන ආවත් ඒ ටික පස්සෙ දවසක ලියන්නම්. හැබැයි ඊට කලින් කියන්න ඕන මම මහාලොකු සම්භාව්‍ය ගණයෙ පොත් ගොඩක් කියවල නෑ.කියවපු තරමක් කියෙව්වෙ වීර කතා වල පරිවර්තන. සම්භාව්‍ය ගණයට වැටෙන පොත් බොහොම ටිකයි කියෙව්වෙ. ඒ නිසා බර පතල විචාර ලිපියක්නම් බලාපොරොත්තු වෙන්න එපා ඕං.
ඒත් එතනින් පටන් ගත්තු පොත් කියවීම මගේ ජීවිතයට මහා දැනුම් සම්භාරයක් එකතු කරා.
ඒත් එකම එක පරිවර්තකයෙකුට නම් ටිකක් විතර බනින්න දහසක් තියෙනව.ඒක ඊලඟ ලිපියෙ ලියන්නම්කො. ලියන්ව කිව්වොත් ලියනව සුවර් මයි.
දැනට ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.

11 comments:

චතුරංග රූපසිංහ said...

ඉන්ටවිව් අනේ කියන්න වෙන දෙයක් ඇකකෙම නැද්ද

peter bernard dolahamunage said...

ඔයාගෙ ලිපියෙත් ගන්න දේවල් ගොඩක් තියනව.

ඊට කලින් මට සමාවෙන්න ඕන. මගෙ ලිපියෙ අඩුපාඩුවක් තිබිල මම ඒක හැදුව. සොරි.

මතක මංපෙත said...

@ චතුරංග රූපසිංහ
මොනව කරන්නද සහෝ.මුළු අනාගතයටම බලපාන දෙයක්නෙ.ඒ නිසා ඒකම තමයි ඔලුවෙ කැරකෙන්නෙ. හිතපු විදිහටම ඒකට කෙළ උනා කියල Mail එකක් දැන් ආව.

@ peter bernard dolahamunage
බොහොම ස්තුතියි.අපි තාමත් බ්ලොග් වලට අලුත්නෙ.ඉදිරියටත් පුලුවන් විදිහට ලියන්නම්.

nadeesthoughts said...

දැන් ඔය ඉන්ටවිව් පාස් උනොත් කතන්දරත් ඉවර වෙනවද?

මතක මංපෙත said...

@ nadeesthoughts
මොන පිස්සුද.එතකොට නිදහසේ තව හොඳ හොඳ කතා ටිකක් ලියන්නම්කො.හික්ස්!!!

දිල් said...

මොනා උනත් ඔයාගෙ අතීතයනම් හරිම සුන්දරයි කියලා හිතුනා මේවා ටික කියවං යද්දී. දිලට නම් එතරම්ම සුන්දර අතීතයක් තිබ්බෙ නෑ. මාත් මතකය අහුලනවනෙ. සමහර තැන් නම් තිත්තම තිත්ත කසායටත් වඩා තිත්තයි.....

ඒත් ඉතින් අපිව මොහොතකට හරි ජීවිත කරන්නෙ මේ මතකයන්නෙ....මම ආසයි ...කාගෙ හරි මතකයන් අකුරු කලාම කියවන්න....ඉතින් දිගටම ලියන්න...

kumaraya said...

මාත් ඔය ගැන ටිකක් උනන්දුයි...ඒ කිව්වෙ පොත් ගැන...
පොත් කියවන්නෝ දිනන්නෝය කියල මට බය නැතුව කියන්න පුලුවන්...

මතක මංපෙත said...

@ දිල්
වර්තමානය විසින් අනාගතය තීරණය කලාට අපි දැන් මේ ඉන්න තැන තීරණය කරල තියෙන්නෙ අතීතය විසින්නෙ. ඒ නිසා ඒ මතකයන් ගැන ලියන්න. හිතත බොහොම සැහල්ලුවක් දැනේවි. කියවන්න අපිත් ඉන්නවනෙ.

@ kumaraya
මම නම් ඔය බරපතල පොත් වැඩිය කියවල නෑ. ඒත් පොත් නම් ගොඩක් කියෙව්ව. තාමත් කියවනව.

Naya said...

niyamayi..!! poth kiawanna kamathi thawath yaaluwek danaganna labima sathutak..!!

අනුරාධ said...

සුදු ගෝනා, සුදු වැද්දා පොත් දෙක ගැනනම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ. පටේ පට්ට. හැබැයි මන් ඔය පොත් දෙක කියෙව්වනම් ඔච්චර පොඩි කාලෙ නෙවෙයි. O/L කරන කාලෙදි. ඉස්කෝලෙ ලයිබ්‍රි එකෙන් අරගෙන කියෙව්වෙ.

මතක මංපෙත said...

@ අනුරාධ
ඔය පොත් දෙක ගැන තව ටිකක් ලියන්නයි හිතාගෙන ඉන්නෙ ඉන්නෙ. තව ටික දවසකින් බලාපොරොත්තු වෙන්නකො.

Post a Comment