Tuesday, April 27, 2010

පොත් සමග ජීවිතේ


මම පොත් කියවන්න පටන්ගත්තු හැටි ගැන කලින් ලිපියෙ කිව්වනෙ. ඉතුරු ටික ලියන්න කියල අද හවස් වරුවෙම හිතාගෙන හිටියට චේතනා අක්ක බ්ලොග් එකේ දාල තිබුණු සිංදුවක් නිසා මේ ලිපිය ලියන්න හිත හදා ගන්න බැරි වුනා. සිංදුවෙ පද මාලාව කොච්චර හිතට කා වැදුනද කියවනම් පැය 6ක් විතර එක දිගට ඒක් ඇහුව. මම හිතන්නෙ පනස් සැරේකට වඩා අහන්න ඇති. මේ ලිපිය ලියන්න කියල කොම්පුටරේ ලඟ ඉඳ ගත්තට පහුගිය පැය 6 පුරාවටම වෙනත් ලිපි වෙනුවෙන් Comment පහ හය කට වඩා ලියාගන්න බැරි වුනා.
කොහොම හරි Focus කරල මේ ලිපියත් ලියන්න ඕන.

අම්මගෙ තල්ලුවත් එක්ක පටන් ගත්තු පොත් කියවීම අල්ලපු ගමේ පුස්ථකාලෙ (අපේ ගමට එකක් තිබුනෙ නෑ), හික්කඩුවෙ මහජන පුස්ථකාලෙ හැම පොතක්ම වගේ කියවල ඉවර කරත් නවත්තගන්න බැරි වුනා. නවකතා, පරිවර්තන, චරිතාපදාන වගේ අතට අහුවෙන් ඕනම ජාතියෙ පොතක් කියෙව්ව. ඔය අතරෙ ගෙදර පොත් එකතුවත් පොත් 200 විතර වෙනකන් වැඩි වුනා.
මට රස විඳින්න ටිකක් අමාරු වුනේ රුසියානු පොත් විතරයි. මම දන්නව රුසියානු සාහිත්‍ය කියන්නෙ ලෝකෙ තියෙන හොඳම පොත් එකතුවක් තියෙන සාහිත්‍යයක් කියල. ඒත් මොකක්ම හරි හේතුවක් නිසා රුසියානු පොත් වලට මගේ එච්චර කැමැත්තක් තුබුනෙ නෑ.කොටින්ම කිව්වොත් මම "මක්සිම් ගෝර්කි" ගෙ "අම්මා" කියන පොත තාමත් කියවල නෑ.හැබැයි මගේ කැමතිම පොත් ලිස්ට් එකේ මුල්ම හරියෙත් එක රුසියානු පොතක් තියෙනව."සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියන පොත.

කොහොමින් කොහොමින් හරි ඉගෙනීමත් කඩාකප්පල් වෙනකං පොත් කියෙව්ව. මං හැමදාම පන්තියෙ 10 වෙනිය ඉඳල 15 වෙනිය අතර තමයිහිටියෙ.ඒ කාලෙ මට ඕන වෙලා තිබුනෙ ලොකු උනහම පොත් කඩේක වැඩකරන්න. එතකොට කඩේට එන පොත් සේරම නොමිලේ කියවන්න පුලුවන්නෙ. හික්ස්!!!!
ඒ කාලෙ මට ගෙදර ඉඳන් බත් කනකොට කියවන්න මුකුත් නැත්තං බත් ටික බඩට යවාගන්න බෑ. සමහරුන්ට අර හොදි නැතුව බත් කන්න බෑ වගේ තමයි. හික්ස්!!!!
හැබයි ඔය කියවන තරමක් කියෙව්වෙ සිංහල පොත්. ඒ දවස් වල මගේ කඩුව මොට්ට වෙලා කියල කියනවටත් වඩා හොඳටම මලකඩ කාල මිට විතරක් ඉතුරු වෙලා තිබුන කියල කිව්වොත් තමයි හරි. වාර විභාගෙකට ඉංග්‍රීසි වලට ලකුණු 40කට වඩා ගත්තනම්, ඒ මිස්ට එකතුව වැරදිච්ච වෙලාවට විතරයි.හික්ස්!!!!

පොත් සල්ලි වලට ගන්නව කියන්නෙ ඉතින් තනියම කියවන්න බෑනෙ. යාළුවොන්ටත් දෙන්න ඕනනෙ. එහෙම දීල ගොඩක් කල් යනකොට මට පොතදුන්නු කෙනා මතක නෑ.‍යාළුවටත් පොතේ අයිතිකාරය මතක නෑ. ඔහොම සිද්ධි නිසා 10 වසර වෙද්දි මගේ පොත් එකතුව 100 විතර වෙනකන් අඩු වුනා. ඒ එක්කම Film බලන Game ගහන පිස්සුවකුත් හැදුනු නිසා පොත් එකතුව ගැන තිබුණු සැලකිල්ලත් ටිකක් අඩු වුනා කියල කියන්න පුලුවන්.

එක දවසක් පොත් කබඩ් එක ඇරල බලන කොට පොත් ටිකට වෙලා තියෙන දේ ගැන මහා දුකක් ඇති වුනා. මං කැමතිම පොත් ටිකට වෙච්චි දෙයක් නෑ. ඉතුරු පොත් ටික දාගත්ත පෙට්ටියකට. අරගෙන ගිහිල්ල දුන්න දහම් පාසලට. මම ගියේ බොහොම පොඩි දහම් පාසලකට. දහම් පාසලෙත් පුස්ථකාලයක් පටන්ගත්තෙ මම දුන්න ඒ පොත් ටිකෙන් තමයි. මගේ ලඟ ඉතුරු වුනේ දහම් පාසලකට දෙන්න බැරි විදෙහෙ කතා තිබුණු පොත් කීපයකුයි අර මුලින් කිව්ව "පියාසර අංක 401"කියන පොතයි විතරයි. පොත් ගන්න එකත් සම්පූර්ණයෙන්ම නැවැත්තුව. යාළුවොන්ගෙන් ඉල්ලගත්තු පොතුයි ඉස්කෝලෙ පුස්ථකාලෙ පොතුයි විතරයි කියෙව්වෙ.

පොත් මිලදී ගැනීමයි පොත් කියවිල්ලයි ආයෙත් පරණ ට්‍රැක් එකටම ආවෙ ඊටත් අවුරුදු දෙකහමාරකට විතර පස්සෙ. ඒ කියන්නෙ O/L ඉවර වෙලා A/L පටන්ගෙනත් කාලයක් ගියාට පස්සෙ. ඒ කතාව ඊලඟ ලිපියෙන් ලියන්නම්. ලියනව කිව්වොත් ලියනව සුවර්. ඒක ලියනකං ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.
මේ පොත් ගැන ලියන ලිපියෙ එච්චර රසවත් බවක් නෑ කියල හිතෙන්ව.ඒත් පටන් ගත්තු දේ ලියල ඉවර කරන්නත් ඕනනෙ.
දැන් ආයෙත් අර සිංදුව අහන්න ඕන.

11 comments:

දිල් said...

මට පොත් තරම් වටින දෙයක් තවත් නෑ...මට මතකයි ඉස්සර කීය කීය හරි එකතු කරලා මම අරගත්තේ පොත්.ඔයාට වගේ ඉතින් අම්ම අප්පච්චි ලග උන්නේ නෑනෙ ඕව මව ගෙනත් දෙන්න..උසස් පෙළ ලියලා ඉවර උනාට පස්සෙ නුවර තියෙන දුප්පත් ඉස්කෝලෙකට මම පොත් ටික ඔක්කොම දුන්නා. ඔක්කොම කිව්වට පොත් 70ක් විතර...ඒත් හුගාක් සතුටින්.....

තව දෙයක්.ඔයා ඉගෙන ගත්තු පාසැල, හික්කඩුව ප්‍රදේශය...මට හුගාක් සමීප තැන්.මම එහෙම කිව්වෙ ඇයි කියලා ඉදිරියෙදි මම අහුලන මතක කියෙව්වොත් ඔයාට තේරේවි.......

දුකා said...

හඃ හා මෙන්න මගේ ජාතියේ . . . අපේ ජාතියේ තවත් එකෙක් . . .එල එල කොල්ලෝ . ..

මතක මංපෙත said...

@ දිල්
පොත් ටිකට වෙලා තිබුනු දේ ගැන දුක හිතුනට දහම් පාසලේ ළමයි ඒව ආසාවෙන් කියවන හැටි දැක්කහම ගොඩක් සතුටු හිතුන. මම ගියපු දහම් පාසලට වැඩිහරියක්ම ආවෙත් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන පවුල් වල ළමයි.
ඔයා අහුලපු මතක ටික සේරම මම අද එක හුස්මට කියෙව්ව. ඊලඟ ලිපියටම ...... කරනව කියල හිතාගෙන හිටියෙ.
මගේ ඉස්කෝලෙ, හික්කඩුව ගැන ලියනකම් බලාගෙන ඉන්නව. මම හැදුනු වැඩුනු පරිසරය ගැන වෙන කෙනෙක්ගෙ ඇසකින් බලන්න ආසයි.

මතක මංපෙත said...

@ දුකා
ඒ කිව්වෙ පොත් කියවිල්ල ගැනද එහෙම නැත්තං කිසිම දෙයක් ශෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න බැරි එක ගැනද දන්නෙ නෑ නෙ. හික්ස්!!!!!

රවා said...

බරිස් ප්ලෙවොයි " සැබැ මිනිසෙකුගෙ කතාවක් " ෆිල්ම් එකත් තියන්වා හැබැයි පනස් ගනන් වල ගහපු.. මම නම් රුසියන් සාහිත්‍යට ගොඩාක් කැමතියි, බිම්ගෙයි සිරකරුවා. රුපියල් 352 කට ගත්තෙ 2002... හොර බල්ලෙක් මගෙන් ඉල්ලන් ගියා. මම උගෙ ගෙදරට ගිහිල්ලා ඉල්ලපුවාහම මු ගෙනාවෙ නැහැ කියනවා. මගෙ අත් දෙකෙන්ම තමයි දුන්නෙ.. ඔහොම තමයි.. මිනිස්සු.. තුම් මං හන්දිය, බැද්දෙගම, සුදො සුදු, අම්මා, ඔවුන් යුද වැදුනෙ මවුබිම වෙනුවෙනි, ගුරුගීතය, මනො මන්දිර ගොඩක් තියනවා ලිස්ට් එකෙ.. ඔයාගෙ ලිස්ට් එකෙ තියන එවාත් ඇති.. පොත් කියවන්න ගත්තට පස්සෙ පන්තියෙ 35 හිටපු මම 2,3 ට ආවා..

චේජනා said...

මල්ලි, සින්දුව මම ත් දවසක් තිස්සෙම ඇහුව..
පොත් කියවීම සම්බන්දයෙන් නම් මමත් ඔයාමයි,
පොත් ගොඩක් ගන්න පුළුවන්කම නොතිබුන නිසා කොහෙන් හරි හොයාගෙන කියෙව්ව
සමහර වෙලාවට library එකේ පොත් රාක්කෙ ළඟ හිටගෙන..එකක් පොතක් කියවල තමයි ගෙදර ගේන්න ගන්න පුළුවන් පොත් දෙක අරන් එන්නෙ, එක දවසක් මාව ඇතුලෙ දාල library එක වහනවත් එක්ක තව පොඩ්ඩෙන්..
අනික ඔයා වගෙම තමයි... කියවීම ඉතින් සිංහලෙන්.. අද වුනත් ඉංග්‍රීසි කිය්වන්න පුළුවන් උනාට හිතට යන්නෙ වැඩිපුරම සිංහලෙන් විතරක් නිසා ආස සිංහලෙන් කියවන්න..

Naya said...

ඒ කාලෙ මට ඕන වෙලා තිබුනෙ ලොකු උනහම පොත් කඩේක වැඩකරන්න. එතකොට කඩේට එන පොත් සේරම නොමිලේ කියවන්න පුලුවන්නෙ.." හප්පොච්චියේ මලේ..මමත් පොඩිකාළේ ඕක ඔහොමමයි කියකිය හිටියේ..පොත්ගැන ලිවිල්ල රසවත් නැත්තෙ මොකද. අපි ඉන්නවනේ කියවන්න.දිගටම ලියන්න.(තවත් පොත් පිස්සෙක් හඳුනාගන්න ලැබීම ගැන හරිම සතුටුයි )

මතක මංපෙත said...

පොත් සම්බන්ධ වියාපාරයක් කරන්න ඕන කියන අදහස තාමත් හිතෙන් ඈත් වෙලා නෑ. මෙහේ එන්නෙ නැතුව ලංකාවෙ හිටියනම් මම මෙලහකටත් පොත් කඩකාරයෙක් වෙලා ඉන්න තිබුන. දැනටත් ඒ අදහස සම්පූර්ණයෙනම් මකල දාල නෑ.

Raven said...

සැබෑ මිනිසෙක්ගේ කතාවක් මමත් කැමතිම පොතක්. ඒකයි වානේ පන්නරය ලැබූ හැටි පොතයි මම කියෙවුවෙ හුගක්ම පොඩි කාලෙ.

පිස්සුවෙන් වගේ පොත් කියවපු සහ එකතු කරපු කාලයක් තිබ්බා. ඒත් දැන්නම් කියවන්න වෙලා නැහැ. ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනේදි ගත්ත පොත් වලින් බාගයක්ම තාම කියවලා නැහැ.

තමීර | Thameera said...

මගේ ජාතියේම කෙනෙක් වගේ. හැබැයි මම නම් පොත් කියවිල්ල පටන් ගත්තෙම රුසියන් පොත්වලින්. ඒ නිසා ඒවට පොඩි කාලෙ ඉඳල ලොකු ඇල්මක් තිබුණා. ඒ කාලෙ මගේ ලොකුම වීරයො වුණේ රුසියන් නවකතාවල චරිත.
"අම්මා" පොත කියවන කොට ඒක තේරුම් ගන්න තරම් පැහිල මදි. වෙලාවක ආයෙ කියවන්න ඕන.
අවුරුද්දට නෑ ගමන් යන කොට පවා කතා පොතක් අතේ ගෙනියන එක ගොඩක් කල් යනකං අත ඇර ගන්න බැරිවුණා.

මතක මංපෙත said...

@ Raven
වානේ පන්නරය ලැබූ හැටි මමත් කියෙව්ව. තවත් රුසියන් පොත් කීපයක්ම කියවල තිබුනත් නම් ටික මතකෙට එන්නෙ නෑ.

@ තමීර | Thameera
මොන නෑගම්ද, ඉස්කෝලෙ ඉන්න වෙලාවටත් පොතක් ඩෙස් එක ඇතුලෙ දාගෙන හොරාට කියවනව. හික්ස්!!!!

Post a Comment