මගේ යහලුවෙකුගෙ ප්‍රේම සම්බන්ධයකට මම යන්තමට ගෑවුණු හැටි කලින් පෝස්ට් එකේදි පැහැදිලි කරානෙ.
කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවල එන්න. නැත්නම් කතාවෙ අගක් මුලක් තේරෙන එකක් නෑ.
අද මම කියන්න යන්නෙ ඒ කතාවෙ වර්තමානය. ඒ වගේම හීනෙකින්වත් නොහිතපු විදිහට මම මේ කතාවට තවත් පැටලුනු හැටි.
මමත් දැන් ටෝකියෝ වල එක්තරා සමාගමක Engineer කෙනෙක් විදිහට රැකියාව කරනව. රැකියාව පටන්ගතෙ ගිය අප්‍රේල් වල. මම වැඩ කරන්නෙ Field Engineering Section එකේ. මීට මාසෙකට විතර කලින් මම වැඩ කරපු Project එකක තිබුණු Technical Problem එකක් මට අහුවුනා. මට අදාල කොටසක් නොවුනත් මම ඒ වැරැද්ද දැකපු එකෙන් සමාගමට වෙන්න තිබුණු යෙන් මිලියන 5ක විතර පාඩුවක් වැළකුනා. මේ සිද්ධිය නිසා Project Planning වල Section Manager මාත් එක්ක බොහොම හිතවත් උනා. මම අර වැරැද්ද දැක්කෙ නැත්නම් ඔහුගෙ කණ්ඩායමට තමයි වගකීම ගන්න වෙන්නෙ. ඔහු මට වඩා බොහොම ඉහල නිලයක් දරන කෙනෙක් උනත් මට යාලුවෙක්ට වගේ තමයි සැලකුවෙ. ටික දවසක් කතාබහ කරන කොට මට තේරුනා ඔහු බොහොම හොඳ පුද්ගලයෙක් බව.
මීට සති දෙකකට විතර කලින් ඔහු මට රෑ කෑමකට ආරාධනා කලා ඔහුගෙ ගෙදරට. ජපන් ජාතිකයො වැඩිය ගෙදරට අමුත්තන්ට ආරධනා කරන්නෙ නැහැ. පිටත රෙස්ටුරන්ට් එකකදි තමයි බොහෝ වෙලාවට අමුත්තන්ට සංග්‍රහ කරන්නෙ. කෑමට සහභාගී වෙන්න හිටියෙ ඔහුත් ඔහුගෙ බිරිඳත් බිඳගෙ නංගිත්.(ඇය මට වඩා අවුරුද්දකින් බාලයි. මොකටද මට කෑමකට කතා කරේ කියල තේරෙනව ඇතිනෙ. ඔව්!! ඔව්!! මගුලකට තමයි )මම ගෙදරට ගොඩවෙනකොටම මාව පිළිගත්තෙ මගේ කාර්යාල මිතුරා. ඊ ලඟට මාව ඔහුගෙ නෑනට (බිරිඳගෙ නංගිට ) හඳුන්වල දුන්න. බොහොම ලස්සන නිවිච්ච පෙනුම තියෙන ගෑණු ළමයෙක් (ඒත් ඉතින් මම අයිති වෙන කෙනෙකුටනේ ).
ඒ වෙලාවෙ තමයි ඔහුගෙ බිරිඳ ගේ ඇතුලෙ ඉඳල ඉස්සරහට ආවෙ. ඇවුරුද්දකින් විතර මුනගැහිල නොතිබුනත් අපි දෙන්නට එකිනෙකාව අඳුරගන්න නිමේෂයකට වඩා ගතවුනේ නෑ. මම ලේසියෙන් කලබල වෙන කෙනෙක් නොවුනත් ඒ වෙලාවෙ නම් මගේ ස්නායු උපරිම විදිහට කම්පනය වෙලයි තිබුනෙ. ඒත් මම පිටතින් කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව හිටිය. ඇය නම් බොහොම අමාරුවෙන් තමයි මුල්ම කම්පනය දරාගත්තෙ. ඒත් මම ඉක්මනටම සාමාන්‍ය ජපන් ක්‍රමයට " මුල්ම වතාවට මුණගැසීම සතුටක්" කියල ආචාර කරා ( අපි දෙන්න මුණගැහෙන මුල්ම වතාව ඒක නොවුනත් ). මට ඒ වෙලාවෙ හරිවැරැද්ද විශ්ලේෂණය කරකර ඉන්න වෙලාවක් තිබුණෙනෑ. මම පුලුවන් තරම් සාමාන්‍ය විදිහට රෑ කෑමට සහභාගී උනත් ඇය සාමාන්‍ය විදිහට ඉන්න බොහොම ලොකු උත්සාහයක් ගන්න බව මට තේරුණා. තමන්ගෙ ස්වාමිය ගෙදරට ආරධනා කරපු මිතුරා, තමන්ගෙ නැගණියව හඳුන්වල දෙන්න හදපු මිතුරා, තමන් බොහොම කාලයක් තිස්සෙ රැකගෙන ආපු, තමන්ගෙ ජීවිත වගේම පවුලෙ අයෙගෙත් ජීවිත වෙනස් කරන්න පුලුවන් රහසක් ගැන සේරම තොරතුරු දන්නව කියල හිතෙනකොට කලබල නොවී ඉඳියිද!!
මේ කෙළි අස්සෙ නංගිත් මැදට එන්න හැදුවොත් මලකෙළි දෙකක් වෙන නිසා මම ඉඩ ලැබුණු මුල්ම වතාවෙම ආදරේ ගැන මාතෘකාවක් ඇදල අරගෙන, කාගෙත් හිත නොරිදෙන විදිහට, මට කෙනෙක් ඉන්නව කියල කිව්ව.
එදා දවස තවත් අමතර සිද්ධියක් නැතුව ගෙවිලගියා. පහුවෙනිද මගේ කැම්පස් යාලුවගෙ පෙම්වතිය, එහෙමත් නැත්නම් වැඩකරන තැන යාලුවගෙ බිරිඳ, මට Call කලා. මම ඇගේ සැමියව අඳුරගත්තු විදිහ මම ඇයට විස්තර කරල දුන්න. ඒ වගේම අපි දෙන්නගෙ ඇඳුනුම් කම රහසක් විදිහට තියාගන්න කියලත් ඇය මගෙන් ඉල්ලීමක් කලා. මේ සිද්ධිය ගැන මගේ කාර්යාල සගයත් එක්ක කතාකරන්න මගේ හිතේ කිසිම අදහසක් නොතිබුණු නිසා ඒ පොරොන්දුව ගැටලුවක් උනේ නෑ. ඒ වගේම මේ තුන්කොණ් ආදර කතාවට මාව තව දුරටත් ගාවගන්නෙ නෑ කියලත් ඇය මට පොරොන්දු වුනා. මමත් ඒකටනම් බොහොම කැමැත්තෙන් එකඟ උනා.
මේ සිද්ධිය මේ දවස් වල මගේ හිතට ගොඩක් වධ දෙන නිසයි බ්ලොග් එකේ හරි ලියන්න හිතුනෙ. මට දැනෙන්නෙ නිකං, පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගිනිකන්දක් උඩ ඉඳගෙන ඒක පුපුරන බව දැන දැනත් මුකුත්ම කරකියාගන්න බැරුව ඉන්නව වගේ.
මේ සිද්ධිය අරගෙන මල් නවකතාවක් උනත් ලියන්න පුලුවන් ( සුජීව ප්‍රසන්නආරච්චි දැනටමත් මේ වගේ එකක් ලියල නැත්නම්.. ) ඒ උනත් මම කොහෙද ඕව ලියන්න්නෙ. ඒ නිසා ඔන්න රචනාවක් ලියල දැම්ම.
මේ සිද්ධියෙ කවුද වැරදි, කවුද හරි කියල කියන්න මට තේරෙන්නෙ නෑ. ඇයත් මගේ කැම්පස් සගයත් වැරදියි කියල මට අවංකවම කියන්න බෑ. ඒ උනත් උන් දෙන්න හරි කියල කියන්නත් මට බෑ. වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතය ගතකරන හැටි ගැන විනිශ්චය කරන්න මම කවුද. මගේ කාර්යාල සගයත් බොහොම හොඳ කෙනෙක්. ඒත් ආදරයක් නැති විවාහයක ඉඳල ඔහුට සතුටක් ලැබෙයිද? තුන්දෙනාම කතාබහ කරල විසඳ ගන්න ඕන ප්‍රෂ්ණයක් නේද මේක?
ගොඩක් දිග කතාවක් ලිව්ව එකට වගේම කතාව කුට්ටි කරපු එකටත් සමා වෙන්න. ඒත් මේක මීට වඩා කෙටිකරල ලියන්න ක්‍රමයක් හිතාගන්න බැරි උනා.
මම මේ ප්‍රෂ්ණයට තවදුරටත් සම්බන්ධ වෙන්න අදහසක් නැති උනත් බ්ලොග් මිතුරන් අතරේ මේ ගැන කතාබහ කරන්න තහනමක් නෑනෙ. ඒ නිසා මේ කතාව හැම දෙනාටම සංවාදයට විවෘතයි.
Labels: කැම්පස්, නිකං ඉන්න බැරුවට, හර බර
අවුරුද්දක විතර කාලයක් නිහඬව ඉඳල එකපාරටම කතා කරන්න ගත්තෙ බොහොම බැරෑරුම් ටොපික් එකක්. ඒත් මේ දවස් ටිකේ මගේ හිතට බොහොම තදින් වද දෙන ගැටළුවක් ගැන බ්ලොග් අවකාශය තුල පොඩි සංවාදයකට මුලපුරන්න තමයි මගේ අදහස. බොහොම කාලයක් පෝස්ට් එකක් නොදා හිටපු නිසා බොහෝ දෙනෙක්ට මේ ලිපිය මගඇරේවිද කියල්ත් පොඩි සැකයක් තියෙනව. කොහොම නමුත් ලියල බලමුකො.මේක කොච්චර දිග ලිපියක් වෙයිද කියල මට දැන්ම කියන්න බෑ. ඒත් කඩදහිය ලිපේ දාල ආපු අය ඉන්නවනම් කඩදහි පුච්චන්නෙ නැති වෙලාවක් බලල මේක කියවන්න පටන් ගත්තොත් හොඳයි කියලයි මගේ අදහස.
මේක මගේ හිතට වධ දෙන ගැටලුවක් කිව්වට මම තහනම් පෙමක පැටලිලා එහෙම නෙවෙයි. මේක මම දන්න අඳුනන කිහිප දෙනෙක්ගෙ කතාවක්. ඒත් පුදුමාකාර විදිහට මම මේ කතාව ඇතුලෙ හිර වෙලා. ඒ නිසා, කාටවත් කියාගන්න බැරුව හිත අතුලෙ හිරකරගෙන ඉන්න කතාවක් බ්ලොග් එකේවත් ලියල හිත ටිකක් සැහැල්ලු කරගන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්. ටිකක් දිග කතාවක් උනත් මුල ඉඳලම පටන් ගනිමුකො.
මේ කතාව පටන්ගන්නෙ අවුරුදු දෙකහමාරකට විතර කලින් Uni එකේ දෙවනි අවුරුද්දෙ අන්තිම කාලෙ. මගේ පන්තියෙ යාලුවෙක්- මම Uni එකට ඇතුල් වුනු මුල්මකාලෙ මට ඒ තරමටම ජපන් භාෂාව බැරි කාලෙ මට ගොඩක් උදවු කරපු යාලුවෙක් මගේ ලඟට ඇවිත් කියනව මාත් එක්ක්ක කතා කරන්න එයාට බැරෑරුම් ප්‍රෂ්ණයක් තියෙනව කියල. වෙනත් ජපන් යාලුවෙක්ට මේ කතාව කිව්වොත් ඒක සැහැල්ලුවට ගන්න ඉඩ තියෙන නිසා මාත් එක්ක ඒ ගැන කතා කරන්න හිතුවලු. විසඳුමක් දෙන්න බැරි වෙන්න පුලුවන් උනත් කතාව අහගෙන ඉන්න මම පොරොන්දු වුනා.
මාස හතරකට විතර කලින් ඔහු Part Time කරන සුපර්මර්කට් එකේ Flower Shop එකක් කරගෙන යන කාන්තාවක් එක්ක මොහු ඇස් වලින් කතා කරන්න පටන් ගන්නව. ඊට මාසෙකට විතර පස්සෙ දෙන්න කතාබහ කරල දැන අඳුන ගන්නව. එකට ඇවිදින්න එහෙම යනව. ආදරය කරන්න පටන් ගන්නව. බොහොම සුන්දර විදිහට පෙනෙන ආදර කතාවක් උනත් ඒ වෙන කොට ඔහුට වයස 21 උනා විතරයි. ඇයට 30යි. ඔහු තවත් අවුරුදු 2යි මාස 3ක් යනකන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඇය මල් වෙළඳ සැලක හිමි කාරියක්. බරපතලම දෙය ඔහු ආදරයට කෝඩුකාරයෙක් වුනත් ඇය අවුරුදු 4ක විවාහ ජීවිතයක් ගතකරන කාන්තාවක්. ඔහුම කියනව ඇයගෙ ස්වාමි පුරුෂයත් බොහොම හොඳ කෙනෙක් කියල. පැය දෙකකටත් වඩා දිග්ගැහුණු කතාවක සාරාංශය ඔහොමයි.
වචනයෙන් මොකවත් නොකිව්වට, මමත් ඒ වෙලාවෙ හිතුවෙ මේක ටික දවසකින් නැතිවෙලා යන හුදු ආකර්ෂණයක් විතරයි කියල. මම ඔහුට කිව්වෙ "පවුලක් කඩා කප්පල් කරල සතුට හොයන එක බොහොම අවදානම් වැඩක්, ඒ නිසා කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න" කියල විතරයි. ඉන් පසුව අපි අතර මේ ගැන වැඩිහමන් කතාබහක් නොවුනත් මේ සංවාදයෙන් මාස 8කට විතර පස්සෙ බාස්කට් බෝල් ගේම් එකක් ඉවරවෙලා ආපහු එන අතරෙ මගේ ජපන් මිතුරා මට කියන්ව ඔහු ඉගෙනීම අත් ඇරල රැකියාවක් හොයන්න කල්පනා කරනව කියල. ඔහු ඇයත් එක්ක එකට ජීවිතයක් පටන් ගන්න කල්පනා කරනව. මම සාමාන්‍යයෙන් ආදර සම්බන්ධ වලදි උපදෙස් දෙන්න යන්නෙ නැති උනත් මේ වෙලාවෙදි මට නිහඬව ඉන්න බැරි උනා. මම ඔහුට කිව්ව මට ඉක්මනටම ඔහුත් ඇයත් දෙන්නටම එකට කතා කරන්න අවෂ්‍ය බව.
සතියකට විතර පස්සෙ හවස් වරුවක අපි තුන්දෙනා Cafe එකකදි හමු වුනා. මට මුලින්ම වැටහුණු දෙයක් තමයි ,දෙන්නගෙ සම්බන්ධය ගැන මම මුලින් හිතාගෙන ඉඳපු විදිහ වැරදියි කියල. ඔවුන් දිහා බ්ලපු ගමන් කියන්න පුලුවන් දෙන්න ඇත්තටම එකිනෙකාට ආදරය කරනව කියල. ඒ කොහොමද කියල අහන්න එපා. ඒත් ඇත්තටම ආදරය කරන් දෙන්නෙක් ඒ ආදරය හංගන්න හදන්නෙ නැත්නම් දෙන්න දිහා බලල කියන්න පුලුවන් ඒ අය ඇත්තටම ආදරය කරනවද නැද්ද කියල. දෙන්නගෙ සම්බන්ධයට විරුද්ද වෙනව කියල නොපෙන්නන්න වගේම සම්බන්ධය අනුමත කරනව කියලත් නොපෙන්නන්න මම ඒ වෙලාවෙ බොහොම පරිස්සම් උනා. ටික වෙලාවක් කතාකරනකොට මට තේරුනා ඇය ඇගේ සැමියට බොහොම ගෞරව කරනව කියල. මගේ යාලුවත් ඒ ගැන අමනාපයක්වත් ඊර්ෂ්‍යාවක්වත් පෙන්නුවෙ නෑ. ඇයත් ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ මගේ මිතුරා ඉගෙනීම අත් අරින්න යන බව. අපි දෙන්නම එකතුවෙලා ඔහුට පැහදිලි කරල දුන්න මොනව කරන්නත් කලින් ඉගෙනීම ඉවර කරල ඉන්න කියල. ඇයත් කිව්ව ඇයට දැන්ම සැමියගෙන් වෙන් වෙන්න් බෑ කියල. ඒ වෙලාවෙ මගේ මුහුණෙ ඉරියවු පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ඇති. මොකද අයට දැනුන මගේ හිතේ තියෙන ප්‍රෂ්ණය. එතකොට තමයි ඇය ඇගේ කතාව පටන්ගත්තෙ.
ඇගේ විවාහය යෝජනා විවාහයක්. ඇගේ පවුලත් සැමියගෙ පවුලත් බොහොම කාලයක ඉඳන් දන්න අඳුනන පවුල් දෙකක්. ඔහු සමාගමක විධාක මට්ටමේ නිලයක් දරන බොහොම කරුණාවන්ත කෙනෙක්. ඔහු ඇයට වඩා අවුරුදු 2ක් වයසින් වැඩියි වගේම දෙන්න පොඩිකාලෙ ඉඳලම එකිනෙකාව හොඳට දන්නව. නමුත් දෙන්නටම විවාහයට කලින් වෙන ප්‍රේම සම්බන්ධතා තිබිල තියෙනව. ඒත් ඒ එකක්වත් සාර්ථක ඒව නොවුණු නිසා අන්තිමට පවුල් දෙක අතරෙ ඇතිවෙච්ච යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි දෙන්න විවාහ වෙන්නෙ. ඔහුත් බොහොම හොඳට ඇගේ දුක සැප හොයා බලල කිසිම අඩුවක් නොකර සලකනව වගේම ඇයත් ඇගේ යුතුකම් අඩුවක් නැතුව කරනව. ලිංගික ජීවිතයෙදිත් කිසිම අඩුපාඩුවක් නෑ කියල තමයි ඇය කිව්වෙ. මෙහේ ඒ දේවල් ගැන විවෘතව කතාකරන්න මිනිස්සු බය නෑ. නමුත් දෙන්නටම දරුවන් ලැබෙන්නෙ නෑ. වෛද්‍ය පරීක්ශණයකින් හෙලිවෙනව ඇයට දරුවන් බිහිකරන්න බෑ කියල. දෙන්නටම දරුවන් අවෂ්‍යයි. ඒ නිසා දෙන්නම එකඟ වෙනව දරුවෙක් අරන් හදාගන්න. ඒ අතරෙ තමයි ඇයට මගේ මිතුරව මුණගැහෙන්නෙ.
විවාහ වෙලා අවුරුදු 4කට පස්සෙ, ජීවිතය ඒකාකාරව ගලාගෙන යන වෙලාවක තමයි ඈයට ඔහු මුණගැහෙන්නෙ. ජීවිතේ මුල්ම වතාවට, මුළු ජීවිත කාලයම එකට ගතකරන්න ඕන කියල ඇයට හිතුනු මගේ මිතුර ගැන විතරලු. දෙන්නටම එකිනෙකා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒත් ඔහුට වගේම ඇයටත් හිතන්න දේවල් බොහොමයක් තියෙනව. ඇගේ පවුල, සැමියගෙ ගෞරවය, දෙමවුපියන්ගෙ ගෞරවය, පෙම්වතාගෙ අනාගතය වගේ ගොඩක් දේවල් ගැන ඇයට කල්පනා සිදුවෙනව. මේක මේ දෙන්නම පිස්සුවෙ වගේ ජොලියට කරන ආදරක් නොවන වග මට හොඳටම තහවුරු උනා. මේ සම්බන්ධය නිසාම් ඇය දරුවෙක් හදාගන්න ගන්න එකත් කල් දදා ඉන්නවලු. මම උපදෙස් දෙන්න නොගියත්, මගේ මුතුරා ඉගෙනීම ඉවර කරනකන් මුකුත් තීරණයක් නොගන්න දෙන්නම එකඟ වුනා.
ඉන් පසුවත් මට දෙන්නව කිහිප සැරයක් මුණගැහුනත් වැඩි දෙයක් නතුව දෙන්නගෙ සම්බන්ධය තව දුරටත් ගලාගෙන ගියා. චේඡනා අක්කගෙ ලිපියකට (මෙතන) කමෙන්ට් එකක් විදිහට මම මේ සිද්ධිය එකපාරක් බොහොම කෙටියෙන් ලියල තියෙනව. ඒ වෙලාවෙ කතාව පොඩ්ඩක් එහෙමෙහෙ කරත් අද ලියන්නෙ ඇත්තම සිද්ධිය.
තවත් අවුරුදු දෙකකට පස්සෙ දැන් තමයි කතාව වර්තමානයට එන්නෙ.
කතාව කුට්ටි කරන්න පොඩ්ඩක්වත් කැමති නැති උනත්, හිතුවටත් වඩා දිග කතාවක් ලියැවීගෙන යන නිසා කතාවෙ මුල්ම අඩ කොටස මෙතනින් ඉවර කරනව.
ඉතිරි කොටස තව දවස් දෙක තුනකින් පල කරන බවට පොරොන්දුවකුත් එක්ක. ඉතිරි කොටස රවම පළ නොවුනත්, ඔයාලගෙ අදහස් තියෙනවනම් පහලින් කොටල යන්න. ඉතිරි කොටසටත් කියවලම අදහස් පල කරන්න හිතාගෙන ඉන්නවනම් අදහස් වල බාගයක් විතරක් පළ කරල යන්නකො.
Labels: කැම්පස්, නිකං ඉන්න බැරුවට, මට කොයිල්, හර බර