Saturday, August 21, 2010

මම....ඇය...???....


අහ පහල...
කොච්චර කඩවල් තිබුනත්.....
හමදාමත්....
ඒ කඩේටම ගියේ....
ඇයව දකින්න තිබුණු ආසාවට....

කිසිදා....
කතාකර නොතිබුනත්....
හැමදාමත්....
කැෂියර් කූඩුව පිටුපස සිට....
මා සමග සිනාසුන ඇය....

"අද නම්...
වචනයක් කතා කරලමයි එන්නෙ...."
හිතට දිරිගෙන...
ගියා ඇය හමුවෙන්න...

ඒත්......
ඇය පෙනෙන්නට නැත....

මදක් විමසා බැලුවෙමි....
ඇය රැකියාව හැර ගිහින්....

පියවි සිහි ලැබ.....
මදක් සිතා බැලුවෙමි.....

"කඩ කාරය මගේ පොකට් එක නං සුද්ද කරල....."

Wednesday, August 18, 2010

හත් වාසි!!!!!!



දෙන්න දෙන්න....
පිල් දෙකකට බෙදිල.....
ගහන්න නම් සෙට් උනේ ඕමියක්!!!!!

"මචං, මට කෝල් එකක්....."
අරූ මට කියාපි.....
"ඔයාල වෙන සෙල්ලමක් පටන් ගන්න...."
ඌම එකියකට කියාපි.......

"එහෙනං ඉතිං හත් වාසියක් වත් ගහමු....."
තුන් වැන්නිය කියාපි!!!!!!

"මුල් අත මටයි වාසි...."
හාරතේ තුරුම්පු කො ටික.....
මා සමග සිනාසෙයි!!!

තුරුම්පු හරියට ගැහුවොත්.....
මම පරදින්නෙ නෑ!!!

ඒත්....
සිතයට හීන් චකිතයක්!!!

ඊලඟ අත බාල්දු අතක් උනොත්????

කා සමග එක්ව...
කා හට එරෙහිව...
බාල්දු කොල ගහන්නට සිදුවෙයිද????

අනේ මටත් කෝල් එකක් එනවනං!!!!!!!!

Sunday, August 15, 2010

කන්න පුලුවන් තරමක් කාපල්ලා!!!!!!


මම ඉන්න රටේ, ඒ කියන්නෙ ජපන් රටේ මේ දවස් වල බොහොම ජනප්‍රිය වේගෙන යන රෙස්ටුරන්ට් ක්‍රමයක් තමයි "All you can Eat" කියන එක.
ඒ කියන්නෙ රෙස්ටුරන්ට් එකට සල්ලි ගෙවන්නෙ පැය ගානට. ඒ කාලය ඇතුලත කන්න පුලුවන් තරමක් ඉල්ලගෙන කන්න පුලුවන්.
ඒ වගේමයි "All you can Eat and Drink" එකත්. එතකොට ඕන තරම් කන්නයි බොන්නයි පුලුවන්.
මේවගෙ ගානත් එක එක විදිහයි.
රෙස්ටුරන්ට් එකේ ලෙවල් එක සහ තියෙන කෑම වර්ග අනුව ගාන වෙනස් වෙනව.
ඒ වගේමයි, රෙස්ටුරන්ට් එකේ පිහිටීමත් මිල ගනන් වලට බලපානව.
මේ රෙස්ටුරන්ට් වල ගාන වැඩි වෙන්නෙ රෑට තමයි. මොකද මෙහේ මිනිස්සු පැය ගනන් කකා බිබී පාටි දාන්නෙ රෑට. දවල්ට ඔව්ව කරන්න තරම් වෙලාවක් මෙහි මිනිස්සුන්ට නෑ. ඒ නිසාම දවල් වෙලාවට මේවගෙ මිල බාගෙට බාග‍යක් විතරම අඩු වෙන්ව.
අනික, දවස අනුවත් මිල ගනන් වෙනස්. මිල වැඩිම සිකුරාද රෑ සහ සෙනසුරාද රෑ. ඒ වගේම රජයේ නිවාඩු දින වලට කලින් දවසෙ රෑටත් මිල ටිකක් වැඩි වෙනව.
සමහර තැන් වල නම් ගැහැණු පිරිමි අයටත් වෙන වෙනම මිල වෙනස් වෙනව.

පැයකට ගාන යෙන් 1000 ඉඳල 2500 විතර,
පැය එකහමාරට යෙන් 1500 ඉඳල 3000 වෙන්කන්,
පැ‍ය දෙකට යෙන් 2500 ඉඳල 3500,
පැය හතරට යෙන් 3500 ඉඳල 5500 පරාසය තමයි සාමාන්‍යයෙන් එක වේලක මිල.
යෙන් එකක් රුපියලයි සත විස්සක් විතර වෙන නිසා රුපියල් වලින් බැලුවත් වැඩි වෙනසක් නෑ.
මෙහේ කෑම වල මිල බැලුවහම පාටි වලට එහෙම ගොඩක් මේ ක්‍රමය පාවිච්චි කරන අය වැඩි වේගෙන එනව.

ජපන් ජාතිකයො මේ වගේ තැනකට ගියත් යන්නෙ යාලුවොත් එක්ක විනෝදෙන් කෑම ටිකක් කන්න මිසක් අර වෙලාව ඇතුල කන්න පුලුවන් තරමක් කාල එන්න නෙවෙයි.
ඒ නිසා මේ රෙස්ටුරන්ට් වලටත් පාඩුවක් නෑ. මොකද හිනා වෙවී කතා කර කර කන නිසා වෙලාව යනව තේරෙන්නෙත් නෑනෙ.

ඒත් පුතෝ ලංකාවෙ මේ වගේ රෙස්ටුරන්ට් එකක් දැම්මොත් නම් බංකොලොත් තමයි.
අපේ වැඩි දෙනෙක් කන්න ගත්තහම කිසිම සද්ද්යක් නැතුව කාගෙන කාගෙන යන්වනෙ. කෑම මේසෙදි කතා කර කර කන පුරුද්දක් අපිට නෑනෙ.
අනික අපේ අයට "All you can Drink" පැකේජ් එක දුන්නොත් ඉතින් ගෙදර යන්නෙ හතර ගාතෙන්නෙ. සම්හරු නම් එතනම වැටිල ඉඳීවි.
ලෝකෙ, ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් මත්පැන් බොන ජපානෙ පවා මම මේ ඉඳපු අවුරුදු 4ටම මිනිස්සු බීල වැටිල ඉන්නව දැකල තියෙන්නෙ දෙතුන් පාරයි. බීල ගහගන්නව කවදාවත්ම දැකල නෑ.

හරි!!! මෙච්චර වෙලා වටේ කැරකි ඉඳල දැන් තමයි රියල් කතාවට එන්ටර් වෙන්නෙ.
මාස 4කට විතර කලින් අපේ කැම්පස් එක් ආසන්නයෙත් දැම්ම මේ වගේ "All you can eat" රෙස්ටුරන්ට් එකක්. කැම්පස් එක "ලඟ" කියල නොකිය "ආසන්නයෙ" කියල කිව්වෙ කැම්පස් එකේ ඉඳල බයිසිකලෙන් විනාඩි 15ක් විතර දුර නිසා.
කලින් එඳලම මේවගේ රෙස්ටුරන්ට් කීපයක්ම ආල පහල තිබුනත් මේ අලුත් එකේ පැකේජ් එක අනිත් ඒවට වඩා ලාබයි.
පැයට යෙන් 1500යි පැය එකහමාරට 2000යි.
අනික මේකෙ ප්‍රධාන කෑම තමයි පුළුස්සපු මස්. කවුද කන්න අකමැති.
මේසෙ මැද දැලක් දාල ඒක යටින් ගෑස් උඳුනක් තියෙනව. මේසෙට ගේන්නෙ අමු මස්. ඒක තමන්ම පුච්චගෙන කැමති විදිහට සෝස් ජාති ඩ්‍රෙසින් ජාති දාගෙන කන්න පුලුවන්. බතුත් තියෙනව. මේ වර්ගයෙ රෙස්ටුරන්ට් ජපානෙ බොහොම ජනප්‍රියයි.

කැම්පස් එකේ ළමයි එහෙම නිතරම මේ අලුත් රෙස්ටුරන්ට් එකෙන් කන්න පටන්ගත්තු නිසා අනිත් ළමයින්ගෙ අතරෙත් මේක ඉක්මනට පැතිරිලා ගියා.
කොහොමින් කොහොමින් හරි කැම්පස් එකේ ඉන්න පිටරට ළමයිත් ටිකෙන් ටික මේකට යන්න පටන් ගත්ත.
ඒ අතරෙ තමයි දැනගත්තෙ මේ රෙස්ටුරන්ට් එකේ හැම මාසෙම පළවෙනිදටයි විසි වෙනිදටයි "Half price Discount" එකක් තියෙනව කියල.

ඒ කියන්නෙ පැයේ කෝස් එක යෙන් 750යි.
මෙහේ කඩේක සාමාන්‍ය කෑම එකකුත් යෙන් 500ට වැඩියි. ඒකත් ලංකාවෙ අපිට ගෑවෙන්නවත් මදි.
ඉබ්බ දියට දානකොට ඇන්නෑවෙ කිව්ව වගේ අපිත් හැම මාසෙම පළවෙනිදටයි විසිවෙනිදටයි ඕකෙන් කන්න පටන් ගත්ත.
අපේ කැම්පස් එකේ පිටරට ළමයි 70ක් විතර ඉන්නව. ඒ සෙරම අය ආසියාවෙ අය. ඉතින් කන්න බැරිද. ලංකාවෙ අයන්ම් ඉන්නෙ පහයි.

ජප්පො ගිහිල්ල කදේ දාගෙන හිමීට කන අතරෙ අපි ගිහිල්ල හුස්මක් කටක් ගන්නෙ නැතුව කනව.
අලුතින් කෑම ඕඩර් කරහම ඒක ලැබෙන්න විනාඩි 5ක් විතර යනව. ජප්පොන්ට නම් ඒක ගානක් නෑ. ඒත් අපි මේසෙ තියෙන කෑම ටික ඉවර වෙන වෙලාව ගනන් හදල ඒ වෙලාවට අලුතින් කෑම මෙසෙට එන්න තමයි ඕඩර් කරන්නෙ.
අනික Half price දවසට ජප්පො එන්න කලින් පිටරට ළමයි ගිහිල්ල මේස අල්ලගෙන.
එදාට 70 දෙනාගෙන් අඩුම ගානෙ 50ක් වත් කන්නෙ එතනින් තමයි.
එතකොට නම් ඉතින් කුකුලද ඌරද හරකද කියල බලන්නෙ නෑ. කන එක ඇරෙන්න වෙන දේවල් ගැන හිතන්න සිහියක් නෑනෙ.
එතනින් නොකන්නෙ හලාල් කෑම විතරක් කන මුස්ලිම් ළමයි විතරයි.
කොහොම හරි Half price දවසට යෙන් 750 ගෙවල යෙන් 4000 ක 5000ක විතර කෑම කාල එනව.
වැඩේ කියන්නෙ වැඩිය කන්න බැරි ගෑණු ළමයි උනත් Half price දවසට බෑ නොකිය කන එකනෙ
වැඩිය ඕන නෑ, සූර පප්ප බලපු අය දන්නවනෙ ජිම් පප්ප සීසර්ගෙ රෙස්ටුරන්ට් එකකට දීපු ගේම.
අපි මේ රෙස්ටුරන්ට් එකට කරෙත් ඒ වැඩේම තමයි.

අද Half price නොවුනත් අපි ලංකාවෙ 5 දෙනා අද ගියා මේකෙන් රෑට කන්න කියල.
අනේ!!! කඩේ වහල, එතන අලුතින් නූඩ්ල්ස් කඩයක් දාන්න ලේස්ති වෙන්ව.
කලින් රෙස්ටුරන්ට් එක බංකොලොත් වෙලාද කොහෙද.
එහෙම නොවී තියෙයිද 50 දෙනෙක් විතර ගිහිල්ල කඩේ පාළු කරනකොට.
නූඩ්ල්ස් කඩේ නම් All you can eat දාන එකක් නෑ. එහෙම දැම්මොත් තිතින් එකටත් මාස තුන හතරකින් අකුලගෙන යන්න වෙනවනෙ. හික්ස්!!

අර රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයට මොනව උනාද මන්ද. මිනිහ ආයෙත්නම් පිටරට ළමයි ඉන්න කැම්පස් එකක් ලඟ කඩයක් දාන එකක් නෑ.
ඒ ඉතින් රසට ලාබෙට කාපු කඩේ නැතිවෙච්චි එක ගැන නම් හිතට අමාරුයි. මොනව කොරන්නද ඉතින්.
දැන් ඉතින් පාළු කරන්න අලුතින් රෙස්ටුරන්ට් එකක් හොයාගන්නකන්, මාස හතරක් තිස්සෙ ඉස්මුරුත්තාවට එනකන් කාල එකතු කරගත්තු මේද තට්ටුවෙ පිහිට තමයි.

එහෙමනම් අදට ඉවරයි.
ඇපිට පාළු කරන්න අලුතින් රෙස්ටුරන්ට් එකක් ලැබේවා කියල ඔය පහලින් තියෙන කොටුවෙ එක හිතින් ප්‍රාර්ථනා කරල යන්නකො.

Wednesday, August 04, 2010

නෑ.. මේ... පොඩි ගැම්මක් ගන්නෙයි කියල!!!!!!!



ගිය මාසෙ මම දාල තියෙන්නෙ එකම එක පෝස්ට් එකයි. මේ යන විදිහට ගියොත් මගේ බ්ලොග් එකත් මාස 4කින් 5කින් මැරිල යන හතු බ්ලොග් එකක් වෙයිද දන්නෙ නෑ. මොකද මේක පටන් ගෙන තාම මාස 4යිනෙ.
මොන පිස්සුද!!!!!
කොහොමටවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මට ලියන්න දේවල් තව කොච්චර තියෙනවද. මගේ මතක මංපෙතේ මම තාම බොහොම ටික දුරයි ඇවිද්දෙ. ඉතුරු ටිකත් යන්න ගැම්මක් ගන්න කියල හිතාගෙන තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.

පහුගිය කාලෙනම් වැඩ කන්දරාවක් තිබුන.
එක පැත්තකින් මගේ රිසර්ච් එක. මේ අවුරුද්දෙ ඔක්තෝබර් වෙනකොට රිසර්ච් එක ඉවර කරල රිපෝට් එකත් ඉවර කරන්න කියල ප්ලෑන් කරගෙන හිටියට තාම රිසර්ච් එක ඉවරවෙන මානයක් වත් පේන්න නෑ. ඒත් ඉතින් ඒකත් කොහොම හරි ඉවර කරන්නත් ඕනනෙ.
තව පැත්තකින් ට්‍රේනින්. අන්තිම පෝස්ට් එක දාන්න කලින් සති 4ක ට්‍රේනින් එකකට දුර ගිහිල්ල ආව විතරයි. මේ ලියන්නෙත් ගිය 19 වෙනිද ඉඳල සති දෙකක් ට්‍රේනින් වලට දුර ගිහිල්ල ඇවිල්ල.
සති දෙකේ ට්‍රේනින් එක ඉවර වෙලා ආපු ගමන්ම මම කියවන බ්ලොග් සේරම ටික එක හුස්මට කියෙව්ව.
දැන් තමයි කියවල ඉවර වෙලා හුස්මක් කටක් ගත්තෙ. හැබැයි එක දිගට කියවගෙන ගියපු නිසා කමෙන්ට් නම් දැම්මෙ නෑ ඕං.
ඒ සති දෙකේ ට්‍රේනින් එක නම් එපා උනා. වැඩකට ඇති දෙයක් කෙරුනෙත් නෑ. ඒ උනාට ජොලියෙ නිකං ඉන්න ලැබුනෙත් නෑ. හරියට "නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ වගේ" (මගේ නම් පලුවක් නැති උනේ නෑ හොඳේ )
ඒ මදිවට රස්නෙ!!! මම ගියේ වැඩිය ලොකු නගරක් නොවන ෆුකුශිම කියන නගරයට. මම් එහේ ඉඳපු දවස් වල පරිසර උෂ්ණත්වය සෙල්සියස් 37යි. එලියට බහිනකොට නිකං ස්පා එකකට ගියා වගේ. මැදපෙරදිග පැත්තෙනම් මීට වඩා ගොඩක් රස්නෙ ඇති. ඒත් ආර්ද්‍රතාවය වැඩි නිසා මෙහේ රස්නෙ හොඳට ඇඟට දැනෙනව.

දැන් ඉඳල 23 වෙනිද වෙනකන් නම් සමර් වැකේශන් එක. ඒත් රිසර්ච් එක තියෙන නිසා නිවාඩු පඩුවෙ ඉන්න වෙලාවක් නෑ.
අනික මට නිකං ඉන්න බැරි නිසා ඊලඟ සතියෙ ෆුජි කන්ද නගින්න කියලත් හිතාගෙන ඉන්නව. ජපානෙට ඇවිල්ල අවුරුදු 4ක් උනත් තාම ෆුජි කන්ද නගින්න බැරි උනු නිසා මේ පාරවත් නගින්න කියලයි හිතාගෙන ඉන්නෙ.
ඒකෙ විස්තර ඉතින් ගිහිල්ල ඇවිල්ලම ලියන්නම්කො.

ඒ අතරෙ පහිගිය කාලෙ අලුත් පොත් 3කුත් කියෙව්ව.
ඒකෙ නම් ස්තුතිය චේඡනා අක්කට. එයාගෙ බ්ලොග් පෝස්ට් එකකින් තමයි මම Indu Sundaresan කියන කතුවරියගෙ The Twentieth Wife කියන පොත ගැන දැනගත්තෙ.
ඒ පොත ගැන Amazon එකේ සර්ච් කරල බලනකොට එයාගෙම තවත් පොත් 2 ගැන විස්තර තියෙනව දැක්ක.
The Twentieth Wife එකේ දෙවනි කොටස විදිහට ලියපු The Feast of Roses කියන පොතයි ලස්සන් ආදර කතාවක් ගැන කියවෙන The Splendor of Silence කියන පොතයි.
පොත් දැක්කහම මටත් නිකං ඉන්න බෑනෙ. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඕඩර් කරා පොත් තුනම.
පොත් තික අරගෙන නික්න් ඉන්න බෑනෙ. කියෙව්ව පොත් තුනම එක හුස්මට.
මම නම් පොත් තුනෙන් කැමතිම පොත තමයි The Splendor of Silence.
ඒකෙ තියෙන්නෙ මෙතෙක් මම කියවල නැති විදිහෙ අමුතුම ආදර කතාවක්. මම ඒක ගැන මෙතන විචාරයක් ලියන්න යන්නෙ නෑ. ඒත් ඇයගෙ පොත් මේ කෙටි කාලය තුල භාෂාවන් 17කට පරිවර්තනය වෙලා තියෙනව කියන එකෙන්ම ඒ පොත් වල තියෙන සාර්ථක බව හිතාගන්න පුලුවන්නෙ.
මේ කතුවරිය ලියපු තවත් පොත් දෙකක් මුද්‍රණය වෙලා තියෙන්ව. ඉක්මනටම ඒ දෙකත් අරගෙන කියවන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.

ඔන්න එහෙනම් මම මේ පෝස්ට් එක මෙතනින් නවත්තනව. ඒ උනාට මේ බ්ලොග් එකට මැරෙන්න දෙන්නෙත් නෑ, දියාරු වෙලා යන්න දෙන්නෙත් නෑ. හා පැටික්කි නම් කියල තිබුන ගණිතයට අනුව එයාගෙ බ්ලොග් එකත් සැප්තැම්බර් වලින් ඉවර වෙනව කියල. ඒ උනාටැ බ්ලොග් එකකට එහෙම ලේසියෙන් සමු දෙන්න බෑනෙ.
හා පැටික්කිත් එහෙනම් මේ ගැම්මෙන්ම ආයෙත් ලියන්න පටන්ගමුකෝ....

ඉක්මනටම මගේ ඊලඟ පෝස්ට් එකත් දානව කියන පොරොන්දුව පිට අදට නවතිනව.
සයොනරා!!!

Friday, July 02, 2010

මට හෝම් සික්ද මන්ද!!!!!!


අද නම් මහ අමුතුම අමුතු දවසක් අප්පා!!!!!!
ජපානෙට ඇවිත් අවුරුදු 4ක් වෙන්න ඔන්න මෙන්න තියල මට හෝම් සික් හැදීගෙන එනවද මන්ද. ඉන්න තැනකට වෙලා කන්න තියෙන දෙයක් කාල බලන්න තියෙන දෙයක් බලාගෙන කොරන්න තියෙන දෙයක් කොරගෙන සොමියෙ ඉන්න මට මොන හෝම් සික්ද!!!හෙදර මතක් කර කර හූල්ල හූල්ල ඉන්නෙ නැතුව ඉන්න තැනක සතුටින් ඉන්න කියලයි අම්ම මට උගන්නල තියෙන්නෙ. එහෙව් එකේ මතක මංපෙතට මඤ්ඤං කැවිලද මන්ද මේ ඇම්ඩට (දුකා අයිය මාව බෞතිස්ම කරේ ඔය නමින්නෙ ) හෝම් සික් කියල කියන්න.
ඒ උනත් දැන් දවස් දෙක තුනක ඉඳල ගෙදර උදවියමයි මතක් වෙන්නෙ. තවත් කෙනෙකුත් මතක් නොවෙනවම නෙවෙයි. ඒත් ඉතින් එයා මගේ හොඳ බාගෙනෙ. ඉන්නෙ හිත ඇතුලෙමයි. එයා මතක් වෙන එක නැවතුනොත් ඉතිං ලංකාවට පය ගහලත් හමාරයි.
ඔන ටොපික් එකෙන් පිට යනව.කොහොමින් කොහොමින් හරි මට මේ දවස් ටිකේම මතක් වෙන්නෙ ගෙදර හැමෝම එක්ක සොමියෙ හිටපු කාලෙ ගැන තමයි.අපි කොළඹ පදිංචියට එන්න කලින් මට අවුරුදු 4 ඉඳල 18 වෙනකන් පදිංචි වෙලා හිටියෙ හික්කඩුවෙ. ඒ කාලෙ තමයි ජොලිම කාලෙ. මම තාම මතක මංපෙතට නොලියපු, ඒත් ඉස්සරහට ලියන්න කියල හිතාගෙන ඉන්න රසවත් මතකයන්ගෙන් 99%ක්ම ඔය කාල සීමාව ඇතුලත සිද්ධ වෙච්ච දේවල් තමයි.
ඔය කාලෙ මුහුද අපේ ජීවිතයට ගොඩක් සමීපයි. ගිදර ඉඳන් විනාඩි පහක් ඇවිද්දොත් මුහුදට යන්න පුලුවන්. මුහුදෙ රැල ගහන සද්දෙත් යාන්තමට ගෙදරට ඇහෙනව.
අම්බලන්ගොඩ සහ ගාල්ලට අතරෙ පළල්ම වෙරළ තියෙන්නෙ හික්කඩුවෙ වෑවල ඉඳල දොඩන්දුවෙ කුමාරකන්ද වෙනකන්. ඔය හරියට කවදාවත් ගල්වැටි ඕන උනේ නෑ. වාරකන් කාලෙටත් වෙරළ ටිකක් පළලට ඉතුරු වෙලා තියෙනව. අපි හිටියෙ ඔය පුලුල් වෙරළෙ හරි මැද හරියෙ, ඒ කියන්නෙ හික්කඩුවෙ තිරාණගම කියන ගමේ.
ඒ කාලෙ හැම සති අන්තෙම වගේ තාත්ත මාව මුහුදෙ නාන්න එක්කගෙන යනව. එක්කගෙන නොයන පාටක් තිබුනොත් වදකරල හරි මම තාත්තව එක්කගෙන යනව. මොකද මම A/L කරන කාලෙ වෙනකන්ම තාත්ත ඇරෙන්න වෙන කාත් එක්ක වත් මාව මුහුදෙ නාන්න් යැව්වෙ නෑ. තනියෙන් යන්න දුන්නෙත් නෑ කියල ඉතින් කියන්නම ඕන නෑනෙ. පොඩි කාලෙදිම තාත්ත මටයි අක්කටයි පීනන්න ඉගැනුව උනත් දැනටත් ලංකාවට ගියපු වෙලාවක හික්කඩුවෙ යාලුවොත් එක්ක මුහුදෙ නාන්න යනව කිව්වොත් ටිකක් කනුකුනු ගාල තමයි යන්න දෙන්නෙ. මම හිතන්නෙ තාත්ත තරුණ කාලෙ යාලුවො දෙතුන්දෙනෙක්ම මුහුදට බිලි වුනු නිසා මට හිතේ හැටියට මුහුදෙ නාන්න ඉඩ දෙන්න බය හිතෙන්න ඇති. ඒ කාලෙ ඒ ගැන හිතේ පොඩි තරහක් තිබුනත්, දැන් කල්පනා කරල බලනකොට තාත්ත එහෙම කරේ මගේම හොඳට නේද කියල හිතෙනව.
ඒ වගේමයි කවුරු හරි දැලක් වටලල කියල ආරංචියක් ආවොත් තාත්ත මාවත් එක්කරගෙන තමයි මාලු ගන්න දැල අදින තැනට යන්නෙ. මාලු ගන්න අතරෙම එක එක මාලු වලට කියන නම්, ගනන් වැඩි මාලු ජාති වලින් ගනන් අඩු මාලු ජාති වෙන්කරල අඳුරගන්න හැටි, දැල් වට කරන හැටි වගේ එක එක දේවල් මට කියල දෙනව. මම වැඩියෙන්ම කන්න කැමති දැල්ලො, පැන්නො වගේ දෙයක් දැලට අහුවෙලා තිබුනොත් ඒවයින් ටිකකුත් ගන්න අමතක කරන්නෙ නෑ.

ඒ වගේමයි ඒකාලෙ අපි හැමෝගෙම ප්‍රියතම අංගයක් තමයි නිවාඩු පාඩු දවසක හවසට පවුලෙ හැමෝම වැල්ලට ගිහිල්ල ටිකක් නිවී හැනහිල්ලෙ වාඩි වෙලා ඉඳල එන එක.
හවස ඉර බහින්න පැයකට විතර කලින් හැමෝම වැල්ලට යනව. ගියපු ගමන්ම මමයි අක්කයි පුංචියි මොකක් හරි සෙල්ලමක් පටන් ගන්නව.අපි සෙල්ලං කරන අතරෙ අම්මයි තාත්තයි වාඩි වෙලා මොකොක් හරි කයියක් දාගෙන ඉන්නව. හැබැයි කතාකරන්නෙ මොනව ගැනද කියලනම් අපි දන්නෙ නෑ.
වැල්ලට ගියහමද අපිට කරන්න වැඩ නැත්තෙ. මගෙයි අක්කගෙයි ප්‍රියතම සෙල්ලම තමයි වැල්ලෙ තියෙන ඔරු වල බඩ පිලුන් ගහන එක. අර කොල්ලෑව ඔරුවට සම්බන්ධ කරන හරස් ලී දෙක තියෙන්නෙ, ( බෝඹු ලීයද මන්ද? දෙපාරක් කල්පනා කරල බලනකොට බෝඹු ලීය තියෙන්නෙ කරත්තෙටද මන්ද?!!!???!!! ) අන්න ඒකෙ බඩ පිලුන් ගහනව කියන්නෙ ෆුල්ම ජොලි වැඩක්. බඩ හම යනකන් කරත් එපා වෙන්නෙ නෑ. ඒත් ඉතින් කරකැවිල්ල හැදුනහම නම් එපා වෙනව.
කොහොමින් කොහොමින් හරි ඒක එපා උනා කියමුකො.
ඒත් වැල්ලෙ කරන්න තව කොච්චර ජොලි වැඩ තියෙනවද. ඒව කාලෙන් කලෙට මුහුදෙ තත්වෙ අනුව වෙනස් වෙනව.
ගොඩ මුහුද ගලල තියෙන කාලෙට ඒව එකට එක ඈඳල අගල් හාරනව. හාරන්නෙ නම් ඉතින් අතින් තමයි. ඒත් ඉතින් වාරි කර්මාන්තයනම් යෝධ ඇල පරාදයි.
සිප්පි කටු ගොඩගහන කාලෙට නම් සිප්පි කටු, හඳපලු, ගොංගො(කවඩි ), කිරිගොටු වගේ එක එක ජාති මල්ලක් පිරෙන්නම අහුලනව. ගෙදර ගිහිල්ල එක එක අත්වැඩ කරන්න පුලුවන්නෙ.
එහෙමත් නැත්තං වැරෑටි බෙල්ලො අහුලනව. උන් මැරිල උන්ගෙ පියන් තමයි සිප්පි කටු විදිහට ගොඩ ගහන්නෙ. ඒත් උන්ව නම් ගෙදර ගෙනියන්න තහනම්. කොච්චර ඇහින්දත් ටික වෙලාවකින් ආපහු වතුරට දාන්න වෙනව. පවු සිද්ධ වෙනවලු. ඒ උනාට බෙල්ලො ගලේ බෙල්ලො ඉන්න කාලෙට නම් තාත්තමයි මට කතා කරන්නෙ බෙල්ලො එකතු කරන්න යමු කියල. තාත්තත් ඉතින් මං වගේම බෙල්ලො කන්න රුසියනෙ. හැබැයි වැරෑටි බෙල්ලට එක ධර්මෙකුයි ගලේ හැදෙන බෙල්ලට වෙනත් ධර්මෙකුයි අනුමත වෙන්නෙ කොහොමද කියල නම් මට තාමත් හිතාගන්න බෑ. !!! ??? !!!
ඔය මුකුත්ම නැත්තං වැල්ලෙ වලවල් හාරල ඒව උමං වලින් සම්බන්ධ කරල බිංගෙවල් සංකීර්ණ හදනව. ඕව කරේ පොඩිම පොඩි කාලෙ විතරක් නෙවෙයි, අක්ක කැම්පස් යන කාලෙ උනත් නිවාඩු දවසක් වැල්ලෙ ගියොත් බඩ පිලුන් ගහල, බිංගෙවල් හාරල තලා දුවල තමයි නවතින්නෙ.

කොහොම හරි ඉර බහින්න ඔන්න මෙන්න තියල තුන්දෙනාම අම්මයි තාත්තයි වාඩි වෙලා ඉන්න තැනට එනව. අක්කයි පුංචියි අම්මගෙ පැත්තකින් වාඩි උනාට මගේ ආසනේ නම් වෙන් කරලමයි තියෙන්නෙ. තාත්තගෙ සරම බොකුටු කරල ඒකෙ වාඩිවෙලා තාත්තගෙ කකුල් දෙකට අත්දෙක ගහගෙන රජා වගේ තමයි මම වාඩි වෙන්නෙ. මම A/L කරන කාලෙවත් ඔය පුරුද්ද නැති උනේ නෑ.
වැල්ලට එන අතරෙ කඩෙන් අරගෙන ආපු බයිට් ටිකක් එහෙම කකා පස්දෙනාම එකතු වෙලා ඉර බහින හැටි බලාගෙන ටික වෙලාවක් සද්ද නැතුව ඉන්නව. ඉර හිමීට හිමීට ඈත ක්ෂිතිජයෙ නොපෙනීයන හැටි පස්දෙනාම නිහඬව බලාගෙන ඉන්න හැටි මට දැනටත් මතක් වෙනව.
ඊට පස්සෙත් තවත් පැය දෙකක් විතර කරුවලේ අපි කොච්චර දේවල් නම් කතා කර කර ඉන්න ඇත්ද. අක්ක අපිට අහසෙ තියෙන එක එක තරු රටා ගැන කියල දෙනව. 8 වසරෙ විද්‍යාවට තියෙන තරු රටා ටික අනිත් කොල්ලො දමාගෙන පාඩම් කරන කොට මට ෆුල් ජොලි. මොකද මම ඒ තරු රටා ඉගෙනගත්තෙ 3 වසරෙදි. ඒ කියන්නෙ අක්ක 8 වසරෙ ඉන්නකොට.
මම ඉස්කෝලෙ වෙච්ච කේස් කවදාවත් ගෙදරදි කියන්නෙ නැති උනත් මොනව හරි ජොලි සීන් එකක් එහෙම උනානම් ගෙද අයට ඒක රස කර කර කියන්නෙ මේ වෙලාවට තමයි. ඒත් චාටර් කේස් නම් කියන්නෙ නෑ. එහෙමත් නැත්තං ඉස්කෝලෙ ක්‍රිකට් මැච් අවලදි වෙන සීන් (මම ඉස්කෝලෙ 13න් පහල ක්‍රිකට් ටීම් එකෙත් අවුරුදු 3ක් සෙල්ලම් කරානෙ ), ප්‍රැක්ටිස් වලදි වෙන සීන් එහෙමත් දිග අරින්නෙ මේ වෙලාවට තමයි.
අම්මයි තාත්තයි වැඩ කරන තැන් වල මොකක් හරි සිද්ධියක් එහෙමත් අපිට කියන්න ඕන කියල හිතුනොතින් ඒක කියන්නෙත් මේ වෙලාවට තම්යි. ඊලඟට තාත්ත රට වටේ ඉස්කෝල වල් උගන්නන කාලෙ සිද්ධ වෙච්ච රසවත් සිදුවීම්, අම්ම රස්සාවට ගියපු මුල් කාලෙ වෙච්ච කේස් වගේ රසවත් සිද්ධි විතරක් නෙවෙයි 89 කලබල කාලෙ එක එක සිද්ධිත් අපිට කියල දුන්නෙ මේ වෙලාවෙදි තමයි.
මමයි අක්කයි කිය්වපු පොත් ගැන අපි හිතන විදිහ, ප්‍රබන්ධ කොට සහ සත්‍ය කොටස අතර කොච්චර ගැලපීමක් තියෙනවද වගේ හරබර සංවාදත් නොතිබුනාමෙ නෙවෙයි.
කතා විදිහට කියල දුන්නත් මේ කතාබහ අපේ ජීවිත වලට කොච්චර දැනුම එකතු කරාද කියල හිතෙන්නෙ දැන් ඒ ගැන කල්පනා කරල බලනකොට තමයි.

TV, ටෙලිෆෝන් වගේ දේවල් වලින් ඈත් වෙලා සති කීපයකට සැරයක් නිදහසේ එකට ගත කරන මේ පැය කීප‍ය අපේ ජීවිතේ හැඩැගස්ස ගන්න කොච්චර රුකුලක් උනාද කියල දැන් තමයි තේරෙන්නෙ.
අද මේ අප්සෙට් ගහල ඉන්න වෙලාවෙත් වැඩියෙන්ම මතක් වෙන්නෙ පවුලෙ හැමෝම එක්ක වැල්ලෙ ගතකරපු ඒ පැ‍ය කීපය ගැන තමයි.
ආයෙත් පවුලෙ අයත් එක්ක පරණ විදිහටම වැල්ලෙ ගිහිල්ල වාඩි වෙලා ඉන්න කොච්චර ආස උනත් ඒක කරන්න පුලුවන් වෙයිද කියල සැකයි. පුංචිත් දැන් වෙනම පවුලක්. ඉස්කෝලෙ යන දුවෙකුත් ඉන්නව. අක්කත් වෙනමම පවුලක්. මට දැන් අවුරුද්දක් වයස බෑන පොඩ්ඩකුත් ඉන්නව.
ඒත් කවද හරි මේ හැමෝම එකතු කරගෙන තිරාණගම වැල්ලෙ පැය කීපයක් ගතකරන්න තියෙන්වනම් කොච්චර දෙයක්ද. බලමුකො ඊලඟ වතාවෙ ලංකාවට ගියහම වත් පුලුවන් වෙයිද කියල.
අද මම ලිව්වෙ මගේ මතක මංපෙතේ බොහොම තදින් කාවැදිල තියෙන සුන්දර මතකයක් ගැන. කතාව ලියාගෙන අන අතරෙ මගේ හැඟීම් වෙන්ස් වෙන විදිහට ලිවීමේ ශෛලියත් තැනින් තැනට වෙන්ස් කියල මේක කියවපු ඔයාලටත් දැනෙන්න්න ඇතිනෙ. ඒත් අද ලිපිය නම් මේ විදිහටම එඩිට් නොකර පෝස්ට් කරනව.
හැඟීම්බර විදිහට ලිවීමේ හැකියාව ගොඩක් දුර්වල උනත් මට හිතෙන දේ පටලවල හරි ලියල දැම්ම. මේ ගැන ඔයාලට හිතෙන දේත් පුලුවන් නම් ලියල යන්නකො.
ලිපිය නම් ටිකක් දිග උනා. ඒත් ලොකුම ප්‍රශ්ණෙ තමයි මේකට ටොපික් එකක් දාන එක. බලමුකො ඒකතත් හොඳ එකක් කල්පනා කරල !!!!!!!!!!!!!!!!!

ඔය ඉහලින් තියෙන්නෙ තිරාණගම වෙරළෙ පින්තූර දෙකක්.

Thursday, June 17, 2010

දොස්තර, මම සහ කොකා කෝලා......

අද පරණ කතාවක් ලියනව ලියනවමයි කියල ඊයෙ පොරොන්දු උනානෙ. ඒ පොරොන්දුව රකින්නත් ඕන නිසා ඔන්න අද ලියනව මම පොඩිකාලෙ වෙච්ච තවත් කේස් එකක් ගැන.
මේක උනේ මම 2,3,4 වසරෙ ඉන්න කාලෙක. ඉස්කෝලෙ යන,ඒත් පොඩි පන්ති වල ඉන්න කාලෙ කියල විතරයි මතක. හරියටම වුරුද්ද මතක නෑ. කොහොම හරි කතාවට එන්ටර් වෙන්න කලින් සුපුරුදු විදිහට පසුබිම හදල ඉන්නම්කො.

පොඩි කාලෙ මම කූල් බීම ජාති, ගණිතය සර් කියන විදිහට කියනව නම් පැණි බීම ජාති බොන්න හරිම කෑදරයි. මොන පොඩි එකාද ඒව බොන්න අකමැති. තාමත් ඒ කෑදර කම සම්පූර්ණයෙන්ම නැති වෙලා නෑ. මේ දැන් ලියන ගමනුත් ෆැන්ටා එකකට වග කියමින් තමයි ඉන්නෙ. හික්ස්!!!
ඒ කාලෙ මගේ ප්‍රියතම බීම වර්ග ටික තමයි අලියා ලෙමනේඩ්, කොකා කෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට්, පෝටෙලෝ. තව ලා කොල පාට අලිය බීම ජාතියක් තිබුන, ඒත් නම මතක නෑ. මේ කියන්න අවුරුදු 15කට විතර කලින්.ඕනම වලියක් සමගියෙන් සමාදානෙන් බේරගන්න ඕන නම් මට පගාව විදිහට බීම එකක් අරගෙන දෙන්න නිතරම තාත්තට සිද්ධ වෙනව. ඇඟට කොච්චර අගුණ උනත් ඉතින් මොනව කරන්නද. මාව අවුස්ස ගත්තොත් අහල පහල අයත් ඉඳල ඉවරයිනෙ.

ඒ වගේම තමයි පොඩි කාලෙ ඉඳලම මට නිතරම සෙම් රෝග හැදෙනව. ඉපදිච්ච ගමනුත් දවස් ගානක් වීදුරු පෙට්ටියෙ හිටි‍යැයි කියල කියන්නෙ. ඔන්න මට ඒක නම් මතක නෑ....
ඉතින් මේ විදිහට සෙම තියෙන එකා නිතරම කූල් බොන්න ගන්නව කියන්නෙ ඉතින් ආයෙත් අහන්න දෙයක්ද. මාසෙකට දෙකකට සැරයක් ලොකුවට ලෙඩක් හැදෙනව මයි. ඒත් වැඩේ කියන්නෙ ඉස්කෝලෙ නොගිහින් ඉන්න තරම් සිරාවට ලෙඩේ වැඩි වෙන්නෙ නැති එකනෙ. එහෙම උනා නම් කොච්චර ආතල්ද.

ඉතින් මෙහෙම ලෙඩ වෙනකොට මාව එක්කරගෙන යන්නෙ ඒ කාලෙ ගාල්ලෙ හිටපු ප්‍රසිද්ධ ළමා රෝග විශේෂඥයෙක් වුනු දොස්තර හරේන්ද්‍ර සිලව ලඟට. ඒ කාලෙ එයා ගාල්ලෙ නම් ප්‍රසිද්ධයි. පස්සෙ කාලෙක ගාල්ලෙන් කොළඹට ඇවිත් TV එකෙත් එක එක වැඩසටහන් වලට පෙනී හිටින්න පටන් ගත්තට පස්සෙ තමයි ගොඩක් ජනප්‍රිය උනේ. නිකමට ගූගල් කරල බලනකොට තමයි දැක්කෙ දැන් එයා මහාචාර්ය කෙනෙක් කියල.
ඉතින් මට අසනීප වෙච්ච ගමන් තාත්ත ගිහිල්ල එයාව චැනල් කරන්ව. කොටින්ම කිව්වොත් මම එයාගෙ හොඳම කස්ටමර් කෙනක්. එයාට මගේ නම හිටන් හොඳට කට පාඩම්. හමදාම බෙහෙත් දුන්නෙත් කටපාඩමෙන්ද දන්නෙ නෑ. හික්ස්!!!

ඒ වගේම තමයි දොස්තර හරේන්ද්‍ර මහත්තයට තිබුන අතඇරගන්න බැරි එක පුරුද්දක්. ඒක තමයි හමදාම ලෙඩ්ඩු බලන වෙලාවට කොකා කෝල එකක් මෙසෙ උඩ තියාගෙන ස්ට්‍රෝ එකෙන් ටිකෙන් ටික බොන එක. මම බෙහෙත් ගන්න යනකොට හැමදාම ඔය කොකා කෝල එකනම් වරදින්නෙ නෑ.
අනිත් පොඩි එවුන් බෙහෙත් ගන්න ගියහම දොස්තරගෙ වෙද නලාවයි( ස්තෙතස්කෝප් ද මොකක්ද කියන්නෙ ) ,ටෝච් එකයි අරකයි මේකයි හැම එකම මැජික් බලන්ව වගේ බලනවනෙ. මට නම් ඔය මොකක්වත් වැඩක් නෑ, මම ගියපු ගමන් බලන්නෙ කොකා කෝල එක දිහා.
මුල් හරියෙ නොම්මරයක් ලැබුනොත් මම යන වෙලාවට බෝතලේ ෆුල්. අන්තිම හරියෙ නොම්මරයක් නම් ඉතින් ඉවර වෙන්න ඔන්න මෙන්න. පැය දෙකක් තුනක් තිස්සෙ ඕක කොහොම බොනවද මන්ද.
වැඩේ කියන්නෙ මේ මනුස්සය කොකා කෝල එකෙන් උගුරක් බොන ගමන් තමයි තාත්තට කියනෙ මට කූල් ජාති එහෙම බොන්න් දෙන්න එපා, අයිස් ක්‍රීම් කන්න දෙන්න එපා කියල. මට ඒ කාලෙ ඕකට මාර ජුවල් (මාරයියගෙ ජුවෙල් එහෙම නෙවෙයි ඔන්න )
වෙන වැරැද්දක් නම් නෑ. හැමදාම බොහොම කරුණාවෙන් කතා කරල ඉස්කෝලෙ විස්තර එහෙමත් අහන ගමන් තමයි බෙහෙත් දෙන්නෙ. අනික මමත් ඉතින් රෙගියුලර් කස්ටමර් කෙනෙක්නෙ. හැමදාම පොඩි පෙප් ටෝක් එකක් දානවමයි.

ඉතින් ඔහොම යනකොට එක දවසක් මෙයා මගෙන් ඇහුව ලොකු උනහම කවුරු වෙන්නද කැමති කියල. ඕනම වැඩි හිටියෙක් පොඩි එකෙක්ගෙන් අහන බොහොම සරළ ප්‍රශ්ණයක්නෙ.
ඒත් ඉතින් කොට්ටෝරුවට වරදින්නෙ කෙහෙල් ගහට කොටපු දවසට කියන්න වගේ දොස්තරටත් වැරදුනෙ මට ඔය ප්‍රශ්ණෙ දාපු දවසෙ තමයි.හික්ස්!!!
මම පට ගාල කිව්ව "දොස්තර කෙනෙක් වෙන්න" කියල.
විශේෂඥ මහත්තයටත් ෆුල් හැපී. පිටිපස්සට වෙලා හිටගෙන හිටපු අපේ තාත්තටත් හැපීද මන්ද.
"ඒ මොකද පුතා ඒ? ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඔච්චරම ආසද?" මෙයා තවත් හුරතල් වෙන්න හදනව.
"නෑ..නෑ... එතකොට මට ඕන වෙලාවක කොකා කෝල බොන්න පුලුවන්න්නෙ....." මමත් බොහොම ලාමක විදිහට උත්තර දුන්න.
දොස්තරට කොහොමද දන්නෙ නෑ. ඒත් පැත්තක හිටපු අපේ තාත්තටයි නර්ස්ටයි නම් බකස් ගාල හැපී සාගරයයි.හික්ස්!!!

සාමාන්‍යයෙන් මගේ දඟ වැඩ වලට හිනා වෙන්නෙයි තරහ වෙන්නෙයි අපේ අම්ම තමයි. තාත්ත නිතරම නියුට්‍රල් එකේ හිටියෙ. ඒත් එදා නම් ගෙදර එනකොට බස් එකේදිත් තාත්ත කීප සැරයක්ම තනියම හිනා වුනා කියල මතකයි.
එදා ඉඳල මම බෙහෙත් ගන්න යනකොට දොස්තරගෙ මේසෙ උඩ අර සුපුරුදු කොකා කෝල බෝතලේ පේන්න තිබුනෙ නෑ. ඒ පුරුද්ද අතඇරියද, එහෙමත් නැත්තං චැනලින් ලිස්ට් එකේ මගේ නම දැකපු ගමන් බෝතලේ මේසෙ යට හැංගුවද කියන එකනම් මට තාමත් අභිරහසක්.
ඔය කොළඹදි මහාචාර්ය තුමාගෙන් බෙහෙත් ගන්න ගියපු කෙනෙක් ඉන්නවනම් අපිට දැන්ගන්නත් එක්ක කියන්නකො තාමත් ලෙඩ්ඩු බලනකොට ඒ කොකා කෝල බෝතලේ මේසෙ උඩ තියෙනවද කියල.
එහෙම නම් ආයෙත් මොකක් හරි පරණ කුණුගොඩක් ඇදල මතක මංපෙතේ අතුරනතුරු සයොනරා!!!!!!

පිංතූර තික අහුල ගත්තෙ මෙතනින්.
http://farm3.static.flickr.com/2581/3819406710_2dc1bf1057.jpg
http://www.colastuffusa.com/images/products/8241695_1463088.jpg

Wednesday, June 16, 2010

ඔන්න මම ආයෙමත් අවෝ!!!!!!

ඔන්න අද කාලෙකට පස්සෙ ආයෙමත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න ලබුන. අන්තිම පෝස්ට් එක දාල මාසෙකටත් ලඟයි. හැබයි නොලිය හිටියෙ කම්මැලි කමට කියල නම් හිතන්න එපා.
පහුගිය සති තුනේ මම පුහුණුවීමකට, සිංහලෙන්ම කියනව නම් Training එකකට පිට ගිහිල්ලයි හිටියෙ. ඉන්ටර්නෙට් පහසුකම් එහෙම නැති බොහොම දුශ්කර පලාතකට නම් නෙවෙයි (මෙහේ එහෙම තැන් තියෙනවද දන්නෙත් නෑ). ඒත් ටෝකියෝ වල ඉඳල ටිකක් දුර පලාතකට තමයි ගියේ.
මගේ උපාධිය ගන්න නම් ඉගෙනගැනීම විතරක් මදි, තමන් ඉගෙන ගත්තු දේ තවත් කෙනෙකුට උගන්නන්නත් පුලුවන් වෙන්න ඕන.ඉතින් මටත් සති තුනක් තිස්සෙ වෙනත් කැම්පස් එකකපළවෙනි වසරෙ සිසුන්ට නෙට්වර්කින් ගැන පාඩමක් කරන්න සිද්ධ උනා. මම පිටරට කෙනෙක් නිසා ළමයිනුත් මගේ හැම හැසිරීම දිහාමක් හොඳින් බලාගෙන ඉන්නව. වරදුනොත්නෝන්ඩියනෙ. ඒත් සම්හර වෙලාවට වචන වැරදිච්ච තැන් වලදි කවුරුවත් හිනා උනේ නම් නෑ.( ජප්පොන්ට ජපන් වලින් උගන්නනව කියන්නෙත් සෙල්ලං කෙළියක්ද )


ඔය තියෙන්නෙ මම උගන්නපු පන්තිය. ඉස්සරහින් හිටගෙන ලොක්ක වගේ ඉන්නෙ කවුද කියල කියන්න ඕන නෑනෙ.මාව පොඩියට පේන එකක් තමයි ඔය තෝරල බේරල දැම්මෙ.

කොහොමින් කොහොමින් හරි ජාමෙ බේරගෙන ඉගැන්නුවයි ඉයමුකො. ඔය වගේ පිට තැනකට ගියහම සමහරු නම් දවස තිස්සෙම මූණු පොතෙයි ට්විටර් එකෙයි ලොග් වෙච්ච ගමන්නෙ.මමනම් ඉතින් ලැබුනු චාන්ස් එකෙන් සම්පූර්ණ ප්‍රයෝජනේ අරගෙන නිවාඩු පාඩු වෙලාවට හතර වටේම ඇවිදින්න ගියා. අතින් ගෙවාගෙන ට්‍රිප් යනව වගේද මෙහෙම නිකන් ඇවිදින්නලැබෙනකොට. ඉන්ටර්නෙට් පාවිච්චි කරේ මේල් චෙක් කරන්න විතරයි. ඉතින් ඒ නිසා බ්ලොග් ලිව්වෙත් නෑ. කමෙන්ට් වලට රිප්ලයි කලෙත් නෑ. රිප්ල්යි නොකරපු කමෙන්ට් ටිකක් තියෙනව.
මේ පොස්ට් එක දාපු ගමන් ඒවටත් රිප්ලයි කරන්න කියලයි හිතාගෙන ඉන්නෙ.මට ඊලඟ මාසෙත් මේ වගේ සති දෙකක ට්‍රේනින් එකක් තියෙන්ව වෙනත් තැනක. ඒකටත් ගිහිල්ල ඇවිල්ලම ඒලබපු අත්දැකීම් ගැන වෙනම ලිපියක් ලියන්නම්කො.

අද මොනවම හරි ලියනව කියල හිතාගෙන ආවට මොකද, දැන් මහා කම්මැලි කමක් දැනෙනව. කාලෙකට පස්සෙ ලියන්න ගත්තු නිසාද මන්ද. ටික කාලයක් සද්ද නැතුව හිටියෙ මොකද කියල අද පැහැදිලි කරානෙ. ඒ නිසා මගේ කම්මැලිකමටත් ඉඩ දීල මේ ලිපිය මෙතනින් නවත්තනව. ඒත් හෙටනම් ශුවර් එකටම පරණ කතාවක් අරගෙන එනව එනවමයි.
පොඩි කාලෙ බෙහෙත්ගන්න ගිහිල්ල දොස්තරටත් ඇඩ්‍රස් නැති කරපු කතාවක් තමයි හෙට ලියන්න කියල ඉන්නෙ.
අද කම්මැලි කමට කතාවක් නොකිව්ව එකට තරහ ගියපු අය ඉන්නවනම් ඔය පහලින් තියෙන කොටුවෙ මට බැනල මොනව හරි ලියල යන්නකො.
ඒත් හෙටනම් කතාවක් කියනවමයි. ශුවර්.

Saturday, May 22, 2010

පුංචි පහේ චූ කතාව


මේ දවස් වල මුලු සිංහල බ්ලොග් අවකාශයම චූ ගඳ ගහනවනෙ. කතන්දර කාරයගෙන් පටන් ගත්තු චූ කතා ටික මම කියවන බ්ලොග් අඩවි කීපයකටම ව්‍යාප්ත වෙලා. පෙරේද බලනකොට මාතලන් සහෝදරයත් දාලනෙ චූ කතාවක්.මටත් ඉතින් මෙහෙම වෙලාවට නිකන් ඉන්න බෑනෙ. ඒ නිසා මමත් අද කියන්න යන්නෙ චූ කතාවක්.
හැබ‍යි මේකත් මම කියන්න හිතාගෙන හිටපු කතා ලිස්ට් එකේ තිබුන. හැමෝම චූ ගැන කතා කතා කරන වෙලාවෙ මේ ගැන ලිව්වොත් අනිත් අයගෙ චූ ගඳ නිසා මේකෙ ගඳ වැඩිය දැනෙන එකක් නෑ කියල හිතල තමයි මෙක ලියන්න මේ වෙලාවම තෝරගත්තෙ.
මගේ මතක මංපෙතම චූ ගඳින් පිරිල කියල නම හිතන්න එපා. මේක තමයි මගේ මතක මංපෙතේ තියෙන මට මතක් වෙන එකම, ඒ කියන්නෙ වන් ඇන්ඩ් ඔන්ලි චූ කතාව.
මේකත් සිද්ධ උනේ මම 5 වසරෙ ඉන්න කාලෙ. ඒකත් එසේ මෙසේ තැනකදි නෙවෙයි, මගේ ශිෂ්‍යත්ව පන්තියෙදි. මගේ දෙවනි බ්ලොග් පෝස්ට් එක, ඒ කියන්නෙ පුංචි පහේ මං කියවපු අය දන්නවනෙ මගේ ශිෂ්‍යත්ව පංතිය ගැන. නොදන්න අය දැන්ම ගිල්ල ඒ කතාවත් කියවල එන්න.
මුලින්ම කියන්න ඕන, මේක මම කරපු දඟ වැඩක් නම් නෙවෙයි. මම බලාගෙන ඉන්දෙද්දි වෙච්ච දෙයක්.

මුලින්ම පොතේ ගුරා එවල කතාවෙ පසුබිම හදමුකො.

හැම පන්තියකටම වගේ මගේ ශිෂ්‍යත්ව පන්තියටත් තිබුන ටොයිලට් එකක්. ඕකට යන්න පුලුවන් පන්තිය පටන් ගන්න කලින්, පන්තිය ඉවර උනාට පස්සෙ සහ පන්තියෙ අතරමැද දෙන විවේක කාලයෙදි, සිංහලෙන්ම කියනවනම් ඉන්ටවල් එකේදි විතරයි. පන්තිය අතරතුර යන්න ඕන නම් සර්ට විශේෂ හේතු දැක්වීමක් කරල තමයි යන්න ඕන.
සර්ගෙ තිබුනු කරුණාවන්ත කම නිසාම ළමයි කවුරුවත් පන්තිය අතරමැද ටොයිලට් යන්න අහන්නෙ නෑ. මොකද,එහෙම ඇහුවහම සර් දාන කරුණාවන්ත බැලමට එතනම සුලුදිය පහවෙන්න ඉන්ඩ තියෙන නිසා. ඇහුවත් අහන්නෙ ඉවසගන්න බැරුව රතු කට්ට පැනපු කෙනෙක් තමයි.
ඒ නිසා ඉන්ටවල් එක කියන්නෙ ඔය ටොයිලට් එක බොහොම කාර්ය බහුල වෙන වෙලාවක්.
ගැහැණු ළමයින්ගෙ ටොයිලට් එකයි පිරිමි ළමයින්ගෙ ටොයිලට් එකයි එකට අල්ලල තමයි හදල තියෙන්නෙ. වටේට අඩි 6ක විතර බිත්තියක් තියෙනව. ටොයිලට් දෙක වෙන් කරන බිත්තියත් අඩි 6ක් විතර තම්යි. (පොඩි කාලෙ ඔය බිත්ති අපිට වඩා ගොඩක් උසයි. අඩි 5 ද, 6ද කියන්න හරියටම දන්නෙ නෑ. )
ඒවගේම මුලු ටොයිලට් එකම වහල රහිත එකක්. පහලින් තියෙන රූපෙ බලන්නකො ඒ ටොයිලට් එක මොන වගේද කියල දැනගන්න. පිරිමි ළමයින්ගෙ පැත්තනම් ඔය තියෙන විදිහම තමයි. බිත්තිය වටේට පොඩි කාණුවක් තිබුන. එච්චරයි!!!!! ඊට වඩා ඉතින් ඕනෙත් නෑනෙ.හික්ස්!!!
ගැහැණු ළමයින්ගෙ පැත්ත නම් මොන වගේද කියල දන්නෙ නෑ. මොකෝ ඇතුලට ගිහිල්ල තියෙන එකක්යැ.
ඔය කාලෙ අපේ ළමයින්ගෙ අතරෙ ටොයිලට් එකේදි කරන අමුතු සෙල්ලමක් තිබුන. ඔය ඉතිං!!!!! එක එක අය දැන එක එක ඒව හිතනවනෙ. බය වෙන්න එපා, ඔය එකක්වත් නෙවෙයි. බොහොම සරල අහිංසක සෙල්ලමක්. ඒක තමයි පුලුවන් තරම උත්සාහ කරල තටමල තටමල ඔය උස බිත්තියෙන් එහාපැත්තට මුත්‍ර පාරක් විදින එක. අපි ඕකට කිව්වෙ ගිනි නිවන්න පුරුදු වෙනව කියල. හිතාගන්න බැරි අය ඔය යූ ටියිබ් එකෙන් ගිනි නිවන වීඩියෝ එකක් හොයාගෙන බලන්නකො.
හෝව් හෝව්!!!!! මේ ලිපිය කියවන කාන්තා පාර්ශවය කලබල වෙන්න එපා. මම ලංකාවට එනකොට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන්න ලේස්ති වෙන්නත් එපා.
අපි මේ ගිනි නිවීම පුරුදු වුනේ බොහොම අහිංසක විදිහට, කාටවත් කරදරයක් නොවෙන්න. ඔය ගැහැණු ළමයින්ගෙ පැත්තෙ බිත්තියට උඩින් වතුර පාරවල් විදින්න තුන් හිතකවත් තිබුනෙ නෑ. අපි ගිනි නිවීම පුරුදු වුනේ අනිත් බිත්තියෙ, ඒ කියන්නෙ ඔය පිංතූරෙ "X" කියල ලියල තියෙන බිත්තියෙ. ඔය "Y" පැත්තෙ සිද්ධ වුනේ සාමාන්‍ය ක්‍රියාකාරකම් විතරයි.
ඔය ඕනම සෙල්ලමක් කොච්චර සංතෝසෙන් සාමයෙන් කරගෙන ගියත් ඕක ලෙල්ලම වෙන වෙලාවකුත් තියෙනවනෙ. එදා කරුමෙට මාත් එතන හිටිය. ඒ වුනාට ජොලියකුත් නොතිබුනාම නෙවෙයි.

මෙන්න මේකයි සිද්ධිය.

එක දවසක් මමත් සුලුදිය පහ කරන්න ඔය ටොයිලට් එකට ගියපු වෙලාවක එකෙක් "X" පැත්තෙ බිත්තියෙ ගිනි නිවීම පුරුදු වෙනව. අනිත් කොල්ලො ටික පිටිපස්සට වෙලා චියර් එක දෙනව. බිත්තිය අපිට වඩා ගොඩක් උස නිසා බොහොම කලාතුරකින් තමයි බිත්තිය උඩින් සුලුදිය පහරක් විදින්න පුලුවන් උනේ.
මූත් මුලු ඇඟේම තියෙන වෙර දාල තටමල ගේම දෙනව. පිටිපස්සෙනුත් හොඳ චියර් පාරක් එනවනෙ. කොහොම හරි තටමල වැඩි වෙලාද කොහේද මූට ගියා පොඩි වාතයක්. වාතෙ පොඩි උනාට ටිකක් සද්දෙට ගියා. ඕකට කොල්ලො ටික බඩ අල්ලගෙන හිනා වෙන්න පටන් ගත්ත. චියර් කරපු කොල්ලො විරක් නෙවෙයි ඒ වෙනකොට සුලුදිය පහකිරීමෙ අතරමැද ලෙවල් එකේ හිටපු අයටත් මාර විදිහට හිනා. ඔය අතරෙ "Y" පැත්තෙ තමන්ගෙ පාඩුවෙ කාරිය කොර කොර හිටපු එකෙක්ටත් හෙන කික් හිනාවක් ගියා. හිනාව කොච්චර කික්ද කියන්වනම් ඒ කික් එක උගේ මුත්‍රාශයටම දැනෙන්න වැදිල තියෙනව.
හිනාවෙ පවර් එකේ සැර කමටද කොහෙද උගේ සුලුදිය පාරක් බිත්තිය උඩින් අනිත් පැත්තට විද්ද. හිතාගන්න බැරිනං පොඩ්ඩක් තදින් හිනා වෙලා බලන්නකො ඔය මුත්‍රාශය තියෙන පැත්තට කික් එකක් දැනෙන්නෙ නැද්ද කියල.
කෙල්ලොන්ගෙ පැත්තෙන් " ඊයා....... ඉකේ........යියා........." කියල සද්ද්යක් ඇහෙනව. වැඩේ දෙල් . වැදිල තියෙන්නෙ හෙන ගිනි ගොඩකට. ඒ මදිවට අරූගෙ ටැංකියෙ තිබිල තියෙන්නෙ පෙට්‍රල් ද කොහෙද. ඒ සුලුදිය පාර වැදිච්ච ගමන් එහා පැත්තෙන් හෝ ගාල ඇවිලෙන සද්දෙ ඇහෙනව.
අර චියර් දිදී ඉඳපු කොල්ලො සෙට් එක කොහෙන් ගියාද නෑ. ටොයිලට් ඒකේ ඉතුරු උනේ මමත් ඇතුලුව 5 දෙනෙක් විතරයි. ඇයි ඉතින් කාරිය කර කර ඉඳපු අය කාරිය අතරමැද නවත්තල දුවන්නයැ. සර්ගෙ කරුණාවන්ත කම දන්න නිසා අර එහා පැත්තට සුලුදිය විදපු එකාට ආයෙමත් මුත්‍ර බර හැදිල වගේ. හැමෝම මගේ දිහා බලනව. මොකද මම හැමදාඅම පන්තියෙ පළවෙනි 5 දෙනා අතර ඉන්නව. කොච්චර දඟ වැඩ කරත් සර් මට ටිකක් ආදරෙයි.
දැන් අහුවෙන්නෙ අපි 5 දෙනානෙ. 5 දෙනාම එකට එලියට ආව. එතකොට කෙල්ලො ටික සර්ටත් කතා කරල ඉවරයි. මුත්‍ර පාර වැදිච්ච ගෑණු ළමයත් බලාගෙන ඉන්නව. අම්මෝ!!!!! ඒක මහ ගිනි බෝම්බයක්!!!!
"කවුද මේ වැඩේ කරේ" සර්ගෙන් මුල්ම ප්‍රහාරය.
අපි කට්ටිය සයිලන්ට්.
සුලුදිය පාර විදපු එකා හරි අහිංසක කොල්ලෙක්. ඌ මගේ මූණ බලනව.ඒක දැකල අනිත් උන් 3දෙනත් මගේ මූන බලනව. හරියට මම වැරැද්ද කරා වගේ.
"මතක මංපෙත...... මේක තමුසෙගෙ වැඩක්ද?? මට ඇත්ත කියන්වා...." සර්ගෙන් දෙවනි ප්‍රහාරය.
" නෑ සර් මම නෙවෙයි...." මගේ උත්තරය.
"එහෙනං කවුද මේක කරේ? "
කවුරුත් සද්ද නෑ.
"කට්ටියම පන්තිය ඉවර වෙනකන් ස්ටෙජ් එක ලඟ දන ගහගෙන ඉතුරු පාඩම් ටික අහගෙන ඉන්නව. වැදිකාරය තමන්ගෙ වැරැද්ද පිලිගන්නකන් හැදාම දන ගහගෙන තමයි පන්තියෙ ඉගෙන ගන්න වෙන්නෙ." සර් බර අවි වලින් ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්ත.
එහෙම කියල සර් අනිත් පැත්ත හැරුන විතරයි එකෙක් ඉස්සරහට යන්නයි හදන්නෙ. මම උගේ බඩට ඇනල නවත්තගත්ත.පාවාදීම් වලට ඉඩ දෙන්න බෑනෙ.

එදා පන්තිය ඉවර වෙනකන්ම අපි දන ගහගෙන. පන්තිය ඉවර වෙලා සේරම ළමයි ටික යනකන් අපිව තියාගත්ත.
සෙරම ළමයි ටික ගිහිල්ල ඉවර වෙලා සර් අපි ලඟට එනකොටම අර අහිංසක වැරදිකාරය නැගිටල කිව්ව
" මම තමයි සර් බිත්තියෙන් එහාපැත්තට චූ කරේ" කියල.
ඌ බයේ ගැහෙනව.
"එහෙනම් තමුසෙගෙ වැරැද්දට මෝම දඬුවම් විඳිනකන් බලාගෙන හිටිය නෙ...."සර් නිකං යකා වගේ.
" අපි කට්ටිය කතා උනා කවුරුවත් අල්ලල නොදෙන්න. අනික මේක හිතල කරපු දෙයක් නෙවෙයි සර්" මම පට ගාල නැගිටල උතර දුන්න.
ඊට පස්සෙ වෙච්ච සිද්ධියත් කෙටියෙන් විස්තර කරල දුන්න. සර්ටත් පුංචි හිනාවක් ගියා. මම දැනගත්ත වැඩේ ශේප් කියල.
ඕක මට පොඩි කාලෙ ඉඳල තියෙන දක්ෂකමක්. කාටහරි තරහ ගිහිල්ල හිටියත් ඒක පට ගාල නිවල දාන්න මගේ වචන දෙක තුනකට පුලුවන්. ටික ටික ලොකු වෙනකොට තමයි ඒකෙ පල ප්‍රයෝජන බොහොම තියෙන විත්තිය තේරුම් ගත්තෙ.හික්ස්!!!!

අපිට ගෙදර යන්න අවසර වගේම ඊලඟ දවසෙ ඉඳල නැවතත් සුපුරුදු ඩෙස් එකේම වාඩි වෙන්නත් අවසර ලැබුන.
මම පන්තියෙ ගේට්ටුවෙන් එලියට එනකොට තාත්ත බලාගෙන ඉන්නව. හැමදාම අපිත් එක්ක එකට පන්ති ඇරිල යන මගේ ඥාති සහෝදරිය, ඒ කියන්නෙ මට වඩා දවස් 11ක් බාල මගේ නෑන තාත්තට සේරම නිවුස් එක දීල.
ඉතින් ගෙදර ගිහිල්ල ඔය සිද්ධිය ගෙදර අයටත් විස්තර කරල දුන්නට පස්සෙ තමයි මගේ නම බේරගන්න පුලුවන් උනේ. හික්ස්!!!
ඔන්න මගේ චූ කතාවත් කියල ඉවර කරා. බ්ලොග් අවකාශය චූ කතා වලින් පිරී ඉතිරී යත්වා..!!! කියල හමෝම සාදුකාරයක් දෙන්න.............
දැන් මේ චූ කතාවට කැමති අය ඉන්නවනම් ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.
අකමැති අයත් දත් මිටි කකා නිකං ඉන්න එපා. ඔය පහලින් තියෙන කොටුවෙ මට බැනල මොනව හරි ලියල යන්න.

Wednesday, May 19, 2010

කිරිබත් ගහේ පොල්!!!!!!!


මම පහුගිය ලිපියෙ කිව්වනෙ මේ පෝස්ට් එකට ලියන්නෙ මට අවුරුදු 5 දි වෙච්ච සිද්ධියක් කියල. ඉතින් කිව්වත් වගේ ඒක තමයි මේ ලියන්න යන්නෙ.
ගොඩක් අය මොන්ටිසෝරි යන්නෙ අවුරුදු 5 දිනෙ. ඒත් මම නම් අවුරුදු 3 ඉඳල මොන්ටිසෝරි යනව.අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරපු නිසා මාව ගෙදර තියාගන්න අමාරු වෙන්න ඇති.අනික ඒ කාලෙ අපි හිටියෙ ගමෙන් බොහොම ඈත, හම්බන්තොට. මට අවුරුදු 3 උනාට මම මොන්ටිසෝරියෙ හිටපු අනිත් අයියල අක්කලට වඩා පැහිල කියලයි අම්මල තාමත් කියන්නෙ.

එහෙම කියනකොට තව පොඩි කතාවක් මතක් උනා. ළමයි මොන්ටිසෝරි යන මුල් දවසෙ අම්මල එයාලව තියල ගියහම අඬන වෙලාවල් වැඩියිනෙ. අපේ අම්මත් මාව මොන්ටිසෝරි දාන්න ගිය මුල්ම දවසෙ මාව ඉස්සරහින් වාඩි කරවල පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවලු. ඉක්මනට වැඩට යන්න ඕන උනත් මේ අවුරුදු 3නේ පොඩි එකාගෙ මුල්ම මොන්ටිසෝරි දවස, අඬන්න ගනියිද දන්නෙ නෑ කියල බයේ තමයි අම්ම එහෙම ටික වෙලාවක් නැවතිල ඉඳල තියෙන්නෙ.
එතකොට මම පිටිපස්ස හැරිල අම්මට කිව්වලු " අම්ම වැඩට යන්න. පරක්කුත් වෙනවනෙ. මොන්ටිසෝරි ඉවරවෙන වෙලාවට එක්කරගෙන යන්න එන්න" කියල.
තාමත් අම්ම සැරින් සැරේ ඔය කතාව මතක් කරනව "මුගේ ඇට්ටර කං පටන් ගත්තෙ මූ දණ ගාන්නත් කලින් ඉඳල" කියල කියන ගමන්.

හරි දැන් එමුකො අවුරුදු 5හේ කතාවට.මුලින්ම සුපුරුදු විදිහට පොතේ ගුරා එවල පසුබිම හදන්නම්.
මම අවුරුදු 5හේ දි, ඒ කියන්නෙ නිල වශයෙන් මොන්ටිසෝරි ගියේ ගාල්ල කොන්වන්ට් එකේ මොන්ටිසෝරියට. ඔය කාලෙ අපි හික්කඩුවෙ අලුතින් ගෙයක් හදන කාලෙ. ඒ නිසා පදිංචි වෙලා හිටියෙ ඒ හදන ගෙට අල්ලපු වත්තෙ තිබුනු තාත්තගෙ මහගෙදර. ඒ ගෙදර එක කාමරයක අම්මයි තාත්තයි අක්කයි හිටිය. හතර දෙනෙක්ට ඉඩ මදි හින්ද, මම ඒ කාලෙ නැවතිලා හිටියෙ ඊට කිලෝමීටර් දෙකක් විතර ඈතින් තිබුනු අම්මලගෙ මහගෙදර. දොඩන්දුවෙ මහපාර අයිනෙම තිබුනු ගෙයක්. ඉස්සරහ දොරෙන් එලියට බැස්සොත් ගාලු පාර. පිටිපස්සෙ දොරෙන් එලියට බැස්සොත් මුහුදු වෙරළ. මාව බලාගන්න බාර වෙලා තිබුනෙ අම්මගෙ අම්මට. මුනුපුරු මිනිපිරියො හැමෝම එයාට කිව්වෙ "අම්මම්ම" කියල. ඔය නම දාල තියෙන්නෙ අපේ අක්ක. අක්ක තමයි අම්මම්මගෙ මුලම මිනිපිරී.

මම පොඩි කාලෙ ඉඳල තාමත් කිරිබත් කන්න මාර විදිහට ආසයි. ලංකාවෙ කවුද කිරිබත් කන්න අකමැති. හික්ස්!!!
ඒත් මට පොඩි කාලෙ ඉඳලම සෙම් රෝග ටිකක් විතර වැඩියි. ඒ නිසා කිරිබත් දෙන එක ටිකක් විතර පාලනය කරලයි තිබුනෙ. අනික මම ගෙදර ඉන්නවනම් හැමදාම උදේට ඉල්ලන්නෙ කිරිබත්නෙ. ඉතින් කාටද පුලුවන් මට හැමදාම කිරිබත් හදල දෙන්න.
ඕකට අම්මම්ම හොයාගෙන තිබුන හොඳ පිළියමක්. මම කිරිබත් ඉල්ලනකොට කියනව " අද කිරිබත් ගහේ පොල් ඉවරයි. ආයෙත් කඩනකන් ඉන්න වෙනව" කියල.

දැන් කස්ටිය බලනව ඇති මොකක්ද මේ කිරිබත් ගහ කියල.

ඒහේ වත්තෙ හොඳ සරු පොල් ගස් 10 ක් විතර තිබුන. ඒ නිසා කවදාවත් කඩෙන් පොල් ගෙනාවෙ නෑ. ඔය අතරිනුත් උසම ගහ තමයි කිරිබත් ගහ. මට කියල දීල තිබුනු විදිහට ඒකෙ පොල් වලින් විතරයි කිරිබත් හදන්න පුලුව. අනිත් ගස් වල පොල් වලින් කෑම උයන්න පුලුවන් උනාට කිරිබත් හදන්න බෑ. ඉතින් මට කිරිබත් කන්න නම් කිරිබත් ගහේ පොල් කඩනකං ඉන්න ඕන. පිටිපස්සෙ මඩුවෙ පොල් ගොඩ ගහල තිබුනට කිරිබත් ගහේ පොල් වෙන්කරල අඳුරගන්න පුලුවන් අම්මම්මට විතරයි. ඒ නිසා මගේ කිරිබත් කෑමේ අයිතිවාසිකම අම්මම්මයි මේ කිරිබත් ගහයි විසින් අම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තමයි තිබුනෙ.
මමත් ඉතින් අවුරුදු 5 පොඩි එකා උනාට වෙන දෙයක් වෙන්න කියල ඔහේ බලාගෙන ඉඳීමෙ සිරිතක් තිබුනෙ නෑනෙ. කිරිබත් කෑමේ ආශාවත් ඉතින් සුලුපටු දෙයක්ද. මම ගැහුව බොහොම සිම්පල් ප්ලෑන් එකක්.
මම බලාගෙන හිටියෙ ඊලඟට පොල් කඩන දවස එනකන්. එදා කිරිබත් ගහෙන් කඩන පොල් ටික මම වෙනමම අහුලල මඩුවෙ වෙනම මුල්ලක්ට ගොඩ ගහගත්ත. ඊට පස්සෙ ප්ලැටිග්නම් එකකකින් ඒ හැම පොල් ගෙඩියෙම රවුමක් ඇන්ද. කිරිබත් ගහෙන් කොහොමත් එක පාරකට පොල් ගෙඩි 15~20 ක් කඩන නිසා සති පහලවක් විස්සක් විතර වීක් එන්ඩ් එකට ඇතිවෙන්න කිරිබත් කන්න පුලුවන්.
කිරිබත් ගහේ පොල් ඉවරයි කියපු ගමන් මම මගේ පොල් ගොඩෙන් පොල් ගෙඩියක් දෙනැල්ල දෙනව. ඉතින් අම්මම්මත් කරන්න දෙයක් නැති නිසා කිරිබත් හදල දෙන්ව.

මම ඔය විදිහට කෝටා ක්‍රමයට පොල් රිලීස් කරපු නිසා අම්මම්මට කට උත්තර නෑ. මගේ පොල් ගොඩේ තිබුනු පොල් ගෙඩි ගාන ගනන් කරල තියාගෙන තිබුණු නිසා (අවුරුදු 3ක්ම මොන්ටිසෝරියෙ මාර ඇට, ඔලිඳ ඇට ගනන් කරපු මට පොල් ගෙඩි විස්සක් ගනන් කරනව කියන්නෙ ඒ හැටි කජ්ජක්යැ ) මට හොරෙන් පොල් ඔයන්නත් (ලෙලි ගහන්න ) බෑ. එහෙම කරල තිබුනොත් එදාට ගාලු පාරෙ වාහන ගිහිල්ලත් හමාරයි කියල ගෙදර අය දන්නව. ඒ කාලෙ මම ඒ තරම්ම අහිංසක කොලු පැටියෙක්නෙ. ඒකයි.හික්ස්!!!!

ඔය ගේම කොච්චර කල් ගෙනිච්චද කියලනම් මට හරියටම මතක නෑ. ඒත් තවත් අවුරුදු 2ක් විතර යනකන් ඔය කිරිබත් ගහේ පොල් නැතුව කිරිබත් හදන්න බෑ කියන එකනං විස්වාස කරා.

පොඩි කාලෙ ඉඳන්ම මාව හොඳට රැක බලාගත්තු අම්ම්මම්ම නම් තාමත් මම ලංකාවට එන්නෙ කවදද කියල නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්නව කියන එකත් අන්තිමටම කියන්න ඕන.

Sunday, May 16, 2010

මම 1 වසරට ඇතුල් වුනු හැටි. හික්ස්!!!!!!


මේ දවස් වල කස්ටිය මාර විදිහට බිසී වගේ. හිටු කියල කවිමඩුවෙ හිටිවන කවි කියන්න ගිහිල්ලද මන්ද, මම කියවන බ්ලොග් වලට අලුත් කමෙන්ට් වැටෙන්නෙත් අඩුවෙන්.
කොහොමින් කොහොමින් හරි ඕං අදත් මං මෙතෙක් ආපු, මතකයන් පිරුනු මං පෙතේ තවත් මතකයක් හොයාගෙන පිය නගන්නයි ලෑස්තිය.

ඒ උනත් මාර කේස් එකනෙ. මම මේ බ්ලොග් එක පටන් ගන්නකොට හිතාගෙන හිටියෙ පොඩි කාලෙ මතකයන් මුලින්ම ලියල ටිකෙන් ටික ලොකුවෙනකොට ඒ කාලෙ මතකයන් පිළිවෙලට ලියාගෙන යනව කියල. ඒත් මගේ කලින් පෝස්ට් කියෙව්වනම් ඔයාලට තේරෙයි පොත් ගැන ලියපු ලිපි ටික ඇරුනහම අනිත් ලිපි, ඒ කියන්නෙ ශිෂ්‍යත්ව පන්තියෙ කේස් එක 5 වසරෙදි, මිසොං ඉම්පොසිබොල් කජු කෑම 4 වසරෙදි, පොඩි එකාගෙ අත්කම් 2 වසරෙදි වෙච්ච දේවල් කියල. මම ගිහිල්ල තියෙන්නෙ අනිත් පැත්තටනෙ. ඒ කියන්නෙ අවරෝහණද කොහෙද.
දැනුත් මට ලියන්න මතක් වෙන්නෙ මම 1 වසරෙ සිද්ධියකුයි, මට අවුරුදු 5 කාලෙ වෙච්ච සිද්ධියකුයි. මොකක් ලියනවද කියල තමයි මේ කල්පනා කරන්නෙ. මම ඉක්මනටම ලොකු වෙලා බස් කතා වෑන් කතා කියනකන් බලාගෙන ඉන්න "මම දන්නෙ නැහැ...." ලියන නංගට මාව අහු උනොත් එහෙම මාව මස් කරයි. අනේ නංගො සොරි වෙන්න ඕන. මට මේ කතා ටිකත් ලියන්නමයි හිත.

ඔන්න එහෙනම් මම තෝරගත 1 වසරෙ කතාව ලියන්න. 1 වසරෙ කිව්වට තාම 1 වසරෙම නෙවෙයි. 1 වසට ඇතුලත් කරගැනීමේ ඉන්ටර්විව් එක දවසෙ වෙච්ච කේස් එකක්. මට මේක මතක් උනේ "මාතලන්" සහෝදරය ලියපු පොස්ට් එකක් කියෙව්වහම. ඒ පොස්ට් එක කියවන්න මෙතනට කොටන්න.

මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නව ඇතිනෙ මම ගියේ ගාල්ලෙ මහින්දෙට කියල. ඒ වගේම මගේ ගම හික්කඩුව කියල. ඉතින් හික්කඩුවෙ ඉඳල ගාල්ලට අඩු නැතුව කිලෝමිටර් 17ක් තියෙන එකේ මම ඉස්කෝලෙට ඇතුල් වුනු හැටි ගැන කියන්න ඕන නෑනෙ. බොරු ඇඩ්රස් දීල.
ඔන්න ඉතින් අම්ම්යි තාත්තයි මම ඉපදෙනකොටම මාව ගාල්ලෙ ඉස්කෝලෙකට දාන කියල හිතාගෙන ඉඳපු නිසාද කොහේද මගේ ගම හික්කඩුව ප්‍රදේශය උනාට මගේ පියාගෙ ලිපිනය විදිහට තියෙන්නෙ ගාල්ලෙ ගෙදරක්.
ඔන්න ඉතින් අම්මයි තාත්තයි ගාලෙ මහින්දෙට මාව දාන්න ඇප්ලිකේශන් එහෙම දාල මාව ඉන්ටවිව් කරන දවසත් ආවලු.
මාව දාන්න බලපු තවත් ඉස්කෝලෙකුත් තුබුනත් ඒකට අපහාසයක් වෙන්න ඉඩ තියෙන නිසා මම ඒ ගැන කියන්නෙ නෑ. මේ කතාවෙදි "ස්ටික් ටු ද ස්ටෝරි" කියන මෙතඩ් එක පුලුවන් තරම් රැකගන්න බලන්නම්කො.
ඉතින් අපිට කාර් බාර් නොතිබුනු ඒ කාලෙ අම්මයි තාත්තයි දෙන්නම නිවාඩු දාල මාවත් එක්කගෙන බස් එකේ ඉස්කෝලෙට ගියාලු.( මම මේ කතාව "ලු" ටයිප් එකෙන් කියන්නෙ, මේක මට මතක තියෙන කතාවක් නොවෙන හින්ද. අම්ම තාමත් රස කර කර කියන, කියල හොඳටම හිනා වෙන, මට අමතක, ඒත් අම්මට මතක තියෙන මතකයක් නිසා)
මහින්දෙට ගියපු ඕනම කෙනෙක් දන්නව ඉස්කොලෙට ඇතුල්වෙන ගේට්ටුවට කලින් පහුකරන්න වෙන ලොකු බාධකයක් තියෙනවනෙ. ඒ තමයි අලපලාව කන්ද.බස් එකෙන් ඇවිල්ල සංඝමිත්ත ලඟ බැහැල අලපලාව කන්ද නැගල තමයි ඉස්කෝලෙට යන්න ඕන. මහා ලොකු කන්දක් නොවුනත් කන්ද උඩට එනකොට හොඳටම මහන්සි දැනෙන තරමට ලොකුයි. ඉතින් මමයි අම්ම්යි තාත්තයි හති දමාගෙන කන්ද නැගගෙන ඉන්ටවීව් එකට ගියාලු. මගේ උප්පැන්නෙ ඇඩ්රස් එක තියෙන ගෙදරත් තියෙන්නෙ ඔය කන්දෙ තමයි. අපි යනකොට ඒ ගෙදරත් පහු කරගෙනයි ගිහිල්ල තියෙන්නෙ. ඒ බව මම දැන ගත්තෙ තවත් අවුරුදු ගානකට පස්සෙ. ඒත් මෙතුවක් කාලෙකට මම ඒ ගෙදරට එකපාරක්වත් ගිහිල්ල නෑ.
ඔන්න අපි හති දමාගෙන ඉස්කෝලෙට ඇවිල්ල ඕල්කට් හෝල් එකේ (මහින්දෙ ප්‍රධාන ශාලාව.ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ මේ ඕල්කට් හෝල් එක තමයි. ) වාඩි වෙලා බලාගෙන ඉන්නවලු මගේ අවස්ථාව එනකන්.
කොහොමින් කොහොමින් හරි මගේ ටර්න් එකත් ආවැයි කියමුකො. අම්ම මාත් එක්ක ගිහිල්ල ඉස්සරහින් වාඩි වෙලා හිටපු ප්‍රින්සිපල්, වයිස් ප්‍රින්සිපල්, ප්‍රාථමික අංශ භාර මැඩම් ලඟට ගිහිල්ල, අදාල ලියකියවිලි බාර දුන්නලු (මේ ටික නම් තාමත් මගේ හිතේ ස්ලයිඩ් ශෝ එකක් වගේ රැඳිල තියෙනව. යන්තං මතකයි )
ඊලඟට එන්නෙ මගෙන් ප්‍රශ්ණ අහන් වෙලාව.
අම්මල මාව මේ ඉස්කෝලෙට දාන්න කොච්චර උත්සාහ කරත් මට බොරු කියන්නනම් ඉගැන්නුවෙ නෑ. මටත් ඉතින් ඔය සබකෝලය කියන එක ඇච්ච කාලෙ ඉඳලම පොඩ්ඩක්වත් තිබුනෙ නෑනෙ. ප්‍රින්සිපල්ගෙන් ප්‍රශ්ණ වලට මමත් පට පට ගාල උත්තර දෙනවලු.
ඔන්න දැන් තමයි ක්‍රිටිකල්ම ප්‍රශ්ණෙ.
"පුතා අද කොහොමද ඉස්කෝලෙට ආවෙ?"
අම්මත් බලාගෙන ඉන්න්වලු මම මොකද කියන්නෙ කියල.
"උස....... කන්දක් නැගල ආවෙ. අම්ම මාව ඇදගෙන නැග්ග. මම අම්මව තල්ලු කරගෙන නැග්ග" ඔන්න ඕකලු මගේ උත්තරේ.
කන්ද නැගපු මහන්සියට මට බස්වල ආපු මහන්සිය අමතක වෙලා තියෙන්න ඇති.
මගේ උත්තරේ තිබුනු නැචුරල් ගතිය නිසාද මන්ද, මගෙන් තවත් ප්‍රශ්ණ අහල නෑ.
ප්‍රාථමික අංශ භාර මැඩම් කිව්වලු "හරි..... හුරතල් පොඩි එකා" කියල.
අම්ම තාමත් කියන්ව " මමත් ඉතින් කට කොනින් හිනාවක් දාල ඔලුව වැනුව. මමනෙ දන්නෙ මුගේ තිබුනු හුරතලේ තරම" කියල.
ඔන්න ඔහොමයි මම කරදරයක් නැතුව බොරු ඇඩ්රස් දීල ඉස්කෝලෙට ගියෙ.
තව දෙයක් කියන්න ඕන. ඉස්කෝලෙට මාව ගන්න සතයක්වත් ඉල්ල නෑ. හැම අවුරුද්දෙම ආරක්ෂක අරමුදලයි පහසුකම් ගාස්තුයි ගෙව්වහම ඇති කිව්වලු.
මහින්දෙට ගියපු අවුරුදු 13ටම මමත් ඒ ගාස්තු ඇරෙන්න වෙන කිසිම අනිවාර්ය ගාස්තුවක් ගෙවල නෑ කියන එකනම් ආයෙත් මතක් කරන්න ඕන.
ඊලඟ දවසෙ මම මොන්ටිසෝරි යන කාලෙ කරපු ඇට්ටර වැඩක් අරගෙන එන්නම්කො. ඒකන්ම් මට තාමත් මතක මගේම මතකයක්. එතකන් ඔය පහලින් තියෙන කොටුවෙත් මොනව හරි ලියල යන්නකො.

Wednesday, May 12, 2010

පොඩි එකාගෙ අත්කම්


පොත් ගැන ලියල මට මහන්සියි වගේම පොත් ගැන කියවල ඔයාලටත් හොඳටම මහන්සි ඇතිනෙ.වෙන මොනව හරි පරණ කතාවක් ලියන්න ඕන කියල හිතනකොට තමයි මේ කතාව මතක් උනේ.
ඒ නිසා අද කියන්න යන්නෙ මම 2 වසරෙ ඉන්නකොට වෙච්ච සිද්ධියක්. ඔය කාලෙ අපේ වටපිටාවෙ අපිට නොතේරෙන කොච්චරනං දේවල් තියෙනවද. ගොඩක් අය එතකොට අරන්නෙ දෙමවුපියන්ගෙන්, වැඩිමල් සහෝදරයෙක්ගෙන් එහෙමත් නැත්නම් වැඩිහිටියෙක්ගෙන් අහල ඒ ප්‍රශ්ණ නිරාකරණය කරගන්න එකනෙ.
ඒත් මමනම් එහෙම ඇහුවෙ නොකරම බැරි වෙලාවක විතරයි. ඒක තමයි මගේ ෆයිනල් ඔප්ශන් එක. පුලුවන් තරම් හැම දේටම තනියම උත්තර හොයාගන්න තමයි බැලුවෙ. ඉතින් අද කියන්න යන්නෙ එහෙම තනියම උත්තර හොයන්න ගිහිල්ල මට වෙච්ච ඇබැද්දියක් ගැන.

මුලින්ම සුපුරුදු විදිහට පොතේ ගුරා එවල කතාවෙ පසුබිම හදල ගමුකො.

මම ඒ කාලෙ අත්කම් නිර්මාණ කරන්නත් මාර ආසයි. ඒකට වැඩියක්ම බලපෑවෙ අක්ක මට වඩා අවුරුදු 5ක්ම වැඩිමල් වුනු එක වෙන්න ඇති. එතකොට 7 වසරෙ හිටපු අක්ක ඉස්කෝලෙ ජීවන කුසලතා වලදි ඉගෙනගත්තු හැමදෙයක්ම වගේ ගෙදරදි මට උගන්නනව. මිදුලෙ පිපෙන මල් ප්‍රෙස් කරල සුභපැතුම් කාඩ් හදන්න. වත්ත පහලින් හුඹස් මැටි ගෙනැල්ල මැටි පුවරු, බිත්ති සැරසිලි හදන්න. ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් මල්වාස් හදන්න. වැල්ලෙන් අහුලගෙන එන සිප්පිකටු, හඳපලු, ගොංගො (කවඩි ) වලින් එක එක සත්තු හදන්න. මල් පැල බද්ධ කරන්න. කුකුල් සායම් වලින් දෙදි බතික් කරන්න.රැලි බකට්, අවාන්, බට පොතු වට්ටි, ......... කියන්වනම් තව කොච්චර තියෙන්වද!!!!!
නිවාඩු කාලෙ කියන්නෙ මටයි අක්කටයි නම් කිසිම නිවාඩුවක් නැති කාලයක්. අපරාදෙ කියන්න බෑ දෙක වසර වෙනකොට මම ඔය ඔක්කොම ශිලප හොඳට ප්‍රගුණ කරල තිබුනෙ. වැඩි හරියක් ගෑනු ළමයි ඉගෙන ගන්න අත්කම් තමයි. කොටින්ම කිව්වොත් මට ඔය කාලෙ වෙනකොට ලේන්සු වල මල් මහන්නත් පුලුවන්. හික්ස්!!!!!

ඒ වගේම තමයි ඔය කාලෙ ඒ වයසෙ ළමයි අතරෙ (දෙමවුපියන් අතරෙ???) බොහොම ජනප්‍රිය ළමා පත්තර දෙකක් තමයි "පුංචි" සහ "බිංදු" කියන්නෙ. තව එක එක ළමා පත්තර තිබුනත් අපේ තාත්ත හැම ඉරිදම පොළේ ගිහින් එනකොට මට ගේන්නෙ ඔය පත්තර දෙක තමයි. ඔය පත්තර දෙකේ තියෙන අමතර අභ්‍යාස එහෙම මගේ ඉගෙනීමට ගොඩක් වැදගත් කියල තාත්තගෙ ලොකු විස්වාසයක් තිබුන. ඒත් මමනම් කියෙව්වෙ ඒ පත්තර වල තියෙන කතා විතරයි.
ඉතින් ඔය පතර වල තියෙනවනෙ එක එක අත්කම් නිර්මාණ කරන හැටි ගැනත්. මටත් මාර ආසයි ඒව කරල බලන්න. ඒවට අවශ්‍ය අඩුම කුඩුම නම් මගේ පොත් කබඩ් එක ඇතුලෙ ඕන තරම් තියෙනව. ඩිමයි කොල ද, වාර්නිශ් කොල ද,බ්‍රවුන් පේපර් ද, හිස් ගිනි පෙට්ටි ද, බ්‍රිස්ල් බෝඩ් ද,පාට කූරු, කතුරු, ස්ටේප්ලර්, ගම්, ..... මේ එකී නොකී ඕනම දෙයක් පොත් කබඩ් එක ඇතුලෙ ඇතුලෙ අඩු වැඩි වශයෙන් තිබුන.

ඒ වුනත් ඔය අත්කම් නිර්මාණ හැම එකකටම වගේ ඕන වුනු එක දෙයක් මගේ ලඟ තිබුනෙ නෑ. ඒ නිසා මට පත්තර බලල නිර්මාණ කරන්න පුලුවන් උනේ බොහොම ටිකයි.
හිතාගන්න පුලුවන්ද මොනවද අඩු වෙලා හිටියෙ කියල.
"මැලියම්"
උදේ හවස සිග්නල් වලින් දත් මැදපු මගේ ලඟ කොහෙද මැලියම්. අර TV එකෙත් කියන්නෙ "මැලියම් නොමැති දත් දෙපෙළක් සඳහා සිග්නල් වලින් දත් මදින්න" කියල.
අනික, උදේ පාන්දර දත් මදින්න කලින් මැලියම් පොඩ්ඩක් එකතු කරගත්තත්, මොන හිතකින්ද ඒ ටික ඇඟිල්ලෙන් අරගෙන කොල කෑලි වල ගාන්නෙ. නියපොත්තෙන් දත් හීරුවත් කැත වැඩ කරන්ව කියල සද්දෙ දාන අම්මට එහෙම අහු උනොත් තවත් දේසනාවක් අහගන්න පුලුවන්.මොලේ කුරෝලු වෙනකන් කල්පන්න කරත් විසඳුමක් හිතාගන්න බෑ.
ඔන්න ඔය අතරෙ තමයි "පුංචි" පත්තරේ අත්වැඩ පිටුවෙ ලස්සන කරත්ත හැඩේ පැන්සල් රඳවනයක් හදන හැටි කියල තිබුනෙ. හැදුවට පස්සෙ මොන විදිහද කියල පින්තූරෙකුත් දාල තිබුන. ඒත් අවශ්‍ය බඩු ලැයිස්තුවෙ "මැලියම් ස්වල්පයක්" කියල ලියල තියෙන්ව. ස්වල්පයක් කිව්වට කොච්චර ඕන වෙද කියල කවුද දනෙ. හදන්න අරගෙන මදි වුනොත් ඊලඟ උදේ වෙනකන් බලාගෙන ඉන්නත් වෙනවනෙ. ඒත් කරත්තෙ පින්ත්තුරෙ දකින කොට හදන්නමයි ආසාව.

ඔන්න ඔය වෙලාවට තම්යි අර මගේ අන්තිම ඔප්ශන් එක, ඒ කියන්නෙ අක්කගෙන් අහන්න සිද්ධ වෙන්නෙ. ඒත් අප්ප මැලියම් එකතු කරගන්න හැටි අක්කගෙන් අහන්නෙ මොන හිතකින්ද? අනික අත්කම් වලට මොකට මැලියම්? ඕක ඇතුලෙ මට නොතේරෙන මොකක් හරි ට්‍රික් එකක් එහෙම තිබුනොත් වස නෝන්ඩිය. අක්කනම් ගානක් නෑ. එයා කවදාවත් මට නෝන්ඩි දාන්නෙ නෑ. ඇල්වතුරත් නිවලනෙ බොන්නෙ. ඒත් බැරි වෙලාවත් පුංචි දැනගත්තොත් ඉඳල හමාරයි. වධකාර අක්ක කෙනෙක් වෙනුවට මට හිටියෙ මේ පුංචි තමයි. එයා අපේ අක්කට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල්. අපි දෙන්න තමයි නිතරම වලි දාගෙන ගෙදර දෙවනත් කරන්නෙ. අක්ක තමයි සාධාරණ කොටා.හික්ස්!!!!

ඒ නිසා මගේ නොදන්න කමත් වහගෙන අක්කගෙන් මැලියම් ගැන අහගන්න ක්‍රමයක් කල්පනා කරා. ඉරිද උදේම නැගිටල ගිහිල්ල අක්කගෙන් ඇහුව "හෙට ඉස්කෝලෙ අත්කම් වලට මැලියම් ටිකක් ගේන්න කියල තියෙනව. මොකද කරන්නෙ?" කියල.කොහොමද ටිකිරි මොලේ.හික්ස්!!!. අක්ක පටස් ගාල එයාගෙ ක්බඩ් එක ඇරල නිකං ගම් බෝතලේකුයි බයින්ඩින් ගම් බෝතලේකුයි දෙකක්ම දුන්න ඉස්කෝලෙ ගිල්ල ආවට පස්සෙ ආපහු දෙන්න කියල. එතකොටයි මම දන්නෙ මේ "මැලියම්" කියන්නෙ "ගම්" වලට කියල.
පත්තර වල ඕක පොඩි එකෙක්ට තේරෙන බාසාවෙන් "ගම්" කියල ලියල තිබුනනම් ඉවරනෙ.ඒ කාලෙ ගෙයි කෑල්ලක් හදන නිසා හාකබොන්ඩ්, මල්ටිබොන්ඩ්, කෙම්ෆෙක්ස්, ... ඔය ඕන ගම් ජාතියක් ගෙදර තිබුන. තව පොඩ්ඩෙන් මමත් නිස්කාරනේ මගේ දත් ටික හූරල තමයි අත්කම් වලට ඕන මැලියම් ටික හොයාගන්නෙ.

අර හදපු කරත්ත හැඩේ පැන්සල් රඳවනෙත් තවත් අවුරුදු කීපයක්ම මගේ මේසෙ උඩ යහතින් තිබුන කියලනං අන්තිමටම කියන්න කැමතියි.

Monday, May 10, 2010

පොත් නිසා මට වෙච්චි දේ


මම A/L කරන කාලෙ තමයි අපි හික්කඩුවෙ අපේ ගෙදර විකුණල මාලඹේ ගෙයක් හදන්න පටන් ගත්තෙ. ඉතින් පරණ ගෙදරින් පිටවෙලා අලුත් ගෙදර පදිංචි වෙන්න පුලුවන් මට්ටමට හදල ඉවර වෙනකන් අවුරුද්දක විතර කාලයක් අපි පදිංචි වෙලා හිටියෙ තාත්ත උගන්වපු ගාල්ල කාර්මික විද්‍යාලයෙ නිලනිවාස වල. සිංහලෙන්ම කියනවනම් ක්වාටස් වල.
එතෙක් කල් හැමදාම උදේ ඉස්කෝලෙට යනකන් පැයක් විතර බස් වල කට්ට කාපු මට දැන් බයිසිකලෙන් ඉස්කෝලෙට යන්න ගතවෙන්නෙ විනාඩි 15යි. ගාල්ලෙ ටවුමට විනාඩි 5යි.ගාල්ලෙ පංති වලට පට ගාල යන්න පුලුවන්. එක්ස්ප්‍රස් බස් එකකට ගොඩ උනහම අම්බලන්ගොඩ පන්තිත් නිකන්ම කවර්. මම ඒ කාලෙ හිටියෙ මිටින් අත ඇරපු කුරුල්ල වගේ. හැබැයි බස් එකේ ඉස්කෝලෙ නොගිය එකෙන් එක ලොකු ලොකු පාඩුවක් නම් උනා. ඒ ගැන වෙනමම ලියන්නම්කො.හික්ස්!!!!!!!!

ඔය කාලෙ ගාල්ලෙ ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එකට නිතරම පොත් ප්‍රදර්ශණ එනව. හැම මාසෙකටම සතියක් විතර මොකක් හරි පොත් ප්‍රදර්ශණයක් තියෙනව. අලුතෙන් පොත් ගන්න එක නවත්තල තිබුනත් ඉතින් පොත් ප්‍රදර්ශණේට ගිහිල්ල පැයක් දෙකක් විතර පොත් අතපත ගාල හරි එන සිරිතක් තිබුන. A/L කරන කාලෙ හින්ද කතා පොත් ගන්න නම් ගෙදරින් සල්ලි ඉල්ලනව බොරු.
ඔහොම වේලි වේලි ඉන්න අතරෙ තමයි නිකමට ගන්න හිතිල ගත්තු මහජන සම්පතකට රුපියල් 5000 ක් ඇදුනෙ. සෙල්ලංද කොල්ලෝ කිව්වලු. පොත් දිහා බල බල හූල්ල හූල්ල හිටපු මට කොහෙන්ද කඩාගෙන පාත් වුනු පිනා චාන්ස් එකක් තමයි ඒක.ඒ 5000 න් ගත්ත අලුත්ම පොත් 25ක් විතර. ආයෙත් පටන් ගත්ත මගේ සුපුරුදු පොත් එකතු කිරීම. පොත් ගන්න සල්ලි නොලැබුනත් A/L කරන කාලෙ නිසා පොකට් මනී යහමින් ලැබෙනවනෙ.
ඒ වගේම මුල් ලොතරැයිය ඇදුනු දවසෙ ඉඳල සතියට සැරයක් මහජන සම්පත දෙකක් ගන්න පුරුද්දක් තිබුන. අපරාදෙ කියන්න බෑ ඒ දෙකෙන් එකකට හරි රුපියල් 20ක් වත් ඇදෙනව. 100,500,1000 ඒවත් නැතුවම නෙවෙයි. අනේ කවුරුවත් චෝදනා කරන්න එපා මම සූදුවට අනුබල දෙනව කියල. ඒත් මොනම හරි හේතුවකට මට ලොතරැයිය වලින් නම් පාඩුවක් උනේ නෑ. මහ ගොඩක් ගත්තෙත් නෑ. සතියට දෙකයිනෙ. ඔය පුරුද්ද මම ජපානෙට එන දවස වෙනකන්ම තිබුන. ඒ වෙනකොට පොත් එකතුවත් ආයෙමත් 200 විතර වෙනකන් වැඩි කරගන්න පුල්ලුවන් වුනා. කොහොම හරි මම ලංකාවෙන් එනකොට කබඩ් එකේ ගොඩගහල ආපු පොත් වලින් 60% ක් විතරම ලොතරැයිය පොත්. ඉතුරු ටික ගන්න අක්ක ජොබ් එකක් කරන්න පටන්ගත්තට පස්සෙ එයාගෙනුත් පොඩි සප් එකක් ලැබුන.
මම දැන් ලංකාවෙ නැති නිසා එයා තමයි මගේ පොත් ටික රන් කරන්නෙ. එයත් ඉඳල හිටල පොත් ටිකක් ගෙනැත් එකතු කරනව. BMICH පොත් ප්‍රදර්ශණේ කාලෙට මස්සිනා මහත්තයත් එක්ක ගිහින් පොත් 20 ක් වත් අරගන්නව.
අක්කත් මම වගේම පොත් ගුල්ලෙක් තමයි. ඒත් හොඳ වෙලාවට එයාගෙ ඉගෙනීම පාඩු කරගන්න තරමට පොත් වලට ඇබ්බැහි වුනේ නෑ. මමනෙ ඉතිං එහෙම ගොං වැඩ කරන්නෙ.හික්ස්!!!!
අපරාදෙ කියන්න බෑ මස්සිනා මහත්තයත් පොත් වලට බොහෝම කැමතියි. ඔන්න දෙන්නත් එක්ක එකතු වෙලා ගෙදර දැන් 350ක් විතර එක්තු වෙලා තියෙන පොත් ටික Lybrary System එකකට දාලලු. කාටහරි දුන්නත් ඒ දුන්නු කෙනා අමතක නොවෙන්න.
තාම අවුරුද්දක්වත් නැති පොඩි එකෙක් එක්ක කොහොම මේව කරන්වද මංද.
දැන් ඒ දෙන්න ලංකාවට වෙලා මගේ සිංහල පොත් එකතුව වැඩි කරමින් ඉන්නව.

මමත් මෙහේට වෙලා නිකං ඉන්නව කියලද හිතන්නෙ. පහුගිය කාලෙ බිගල්ස් පොත් වලට ඇබ්බැහි වුනු නිසා බිගල්ස් පොත් සෙට් එකේ තියෙන පොත් 98 න් 67ක්ම සල්ලි දීල අරගත්ත. බිගල්ස් පොත් කීපයක් පී.බී.සේනානායක මහත්මය විසින් සිංහලට පරිවර්තනය කරල තියෙනව. "වැලි කතරේ සංග්‍රාමය" "සතුරු කඳවුර"වගේ. සම්භාව්‍ය පොත් නම් නෙවෙයි. ඒත් සිංහල පරිවර්තන වලටවඩා ඉංග්‍රීසි පොත් ටික බොහොම රසවත්. ඒ පොත් ගැනිල්ලත් ගිය සැප්තැම්බර් වලින් නැවත්තුව. මම දන්නෙම නැතුව අගෝස්තු මාසෙ මගේ ක්‍රෙඩිට් කාඩ් බිල 50,000 පැනල. බිල එනකොට තරු පෙනුනෙ දාස් ගනන් වලින්.හික්ස්!!!. E-Bay එකෙන් ලංසු තියල පරණ පොත් ගන්නකොට ගනං යනව තේරෙන්නෙ නෑ.මගේ මේ ගොන් වැඩේට බනින්නනම් එපා ඔන්න. මටත් නොදැනිමයි පොත් එකින් එක රගෙන තියෙන්නෙ.
ඒත් දැන් හිතෙනව ඒ සල්ලි ටික තිබුනනම් තව සිංහල පොත් 300 ක් වත් ගන්න තිබුන නේද කියල. ආයෙනම් එහෙම ගොන් වැඩ කරන්නෙ නෑ කියල හිතාගත්ත. මාස ගානකට පස්සෙ අලුතෙන් පොතක් ඕඩර් කරේ මීට දවස් හතරකට කලින්. ඒ තමයි Indu Sundaresan ගේ The Twentieth Wife කියන පොත. ඒකත් චේඡනා අක්ක ලියපු මෙන්න මේ ලිපිය දැකල තමයි ගන්න හිතුනෙ. ඒකත් ආවට පස්සෙ කියවල බලමුකො.

ඒත් මේ දවස් වල නම් ආසාවට කියවන්න සිංහල පොතක් නැතුව නිකං සාංකාව වගේ. මෙතෙක් කල් අවුරුද්දකට සැරයක් වත් ලංකාවට ගිහින් අවුරුද්දකට ඇතිවෙන්න පොත් කියවල ආව. මේ අවුරුද්දෙ ලංකාවට ගියෙත් නෑනෙ. ආයෙත් යන්න වෙන්නෙ ඊලඟ මාර්තු වල තමයි. කියවන්න ඇබ්බැහි වුනු කෙනෙක්ට කියවන්න පොතක් නැති වෙනව කියන්නෙ කොච්චර අමාරු දෙයක්ද කියල දැනගන්න නම් ඒක අත්විඳින්නම ඕන. ඉවසන්නම බැරි වුනොත් අක්කට කියල පොත් කීපයක් තැපෑලෙන් හරි ගෙන්නගන්නව. හික්ස්!!!!

Friday, May 07, 2010

පොත් ගැන මතකයන්



අනේ සමා වෙන්න ඕන පහුගිය දවස් ටිකේ මුකුත්ම ලියන්න බැරි උනාට. අන්තිම පෝස්ට් එක දානකොට තිබුණු ලා උණ ගතිය පහුගිය සතිය තුල බොහොම බරපතල විදිහට වැඩි වෙලා ජීවිතේ මුල්ම වතාවට ඉස්පිරිතාලෙ නවතින්න ඔන්න මෙන්න කියන තරමට අසනීප උනා. ඇත්තටම කියනවනම් දොස්තරලනම් කිව්වෙ ඇඩ්මිට් වෙන්න කියල. ඒත් ඉතින් ජීවිතේ කවදාවත් ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා නොතිබුණු නිසා මම කිව්ව තව ටිකක් වැඩි උනොත් නවතින්න එන්නම් කියල. හොඳ වෙලාවට ඉස්පිරිතාලෙ නවතින්න වෙනවට බයේද කොහෙද මගේ අසනීපගතිය තවත් වැඩි නොවී ටිකෙන් ටික හොඳ වෙන්න ගත්ත.

ඒ නිසා පහුගිය සතියෙම බ්ලොග් එක ලියන්න බැරි උනා. ඒත් මම පුරුද්දක් වශයෙන් කියවන බ්ලොග් නම් හැම එකක්ම කියෙව්ව. ඒ වගේම කීපයකට කමෙන්ට් දාලත් ඇති හොඳේ.
පහුගිය සතියෙම කරේ කම්පියුටරේ ඇඳ ලඟට අරගෙන, බලන්න ඉතුරුවෙලා තිබුණු ෆිල්ම්ස් සෙට් එක බලපු එක විතරයි. හොඳ වෙලාවට ගිය සතියම ජපානෙ නිවාඩු සතියක්. ඒ නිසා ලෙක්චර්ස් නම් කට් උනේ නෑ.

මම අන්තිමට ලියපු "බැරි මරගාතෙ ලියන ලිපිය" ට නම් එච්චර හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනෙ නෑ. ඒ ෆිල්ම් එක අල්ලල ගියේ මට විතරක් නිසාද, එහෙම නැත්තං ෆිම් එක බලන්න හිතෙන තරම් ලස්සනට මට ලියන්න බැරි කමද දන්නෙ නෑ. ඒත් ඉතින් අවුලක් නෑ. මමත් ඒ පෝස්ට් එක දැම්මෙ බැරි මරගාතෙනෙ.හික්ස්!!!!
ඉතින් ඔන්න කොහොමින් කොහොමින් හරි පොත් එක්ක ගතවුනු මගේ ජීවිතේ ගැන ඉතුරු කොටසත් කියවලම් බලන්න්කො. මම ලියන්න හිතාගෙන ඉන්න ටික මේ ලිපියෙන් ලියල ඉවර කරන්න පුළුවන් වෙයිද මන්ද. මටත් අර දුකාට වගේ ශෝට් අන්ඩ් ස්වීට් ලියන්න බැරි ලෙඩක් තියෙනවනෙ. හික්ස්!!!

බලන්නකො ඒකෙත් හැටි. පොත් ගැන ඊලඟ පෝස්ට් එක ලියන්න හදනකොටම මේ දැන් හෙනහුරෙක් කඩන් පාත් උනා. උගේ කොම්පුටරේ කැඩිල. මට හොඳ වෙනකන් හිටියලු කොම්පුටරේ ලෙඩේ හොයා ගන්න. මමත් ඉතින් මගේ ලෙඩේ පැත්තකින් තියල ගියානෙ උගෙ කම්පීතරගෙ ලෙඩ හොයන්න. උගේ CPU ෆෑන් එක නියම වේගෙට වැඩ කරන්නෙ නෑ.ඉතින් CPU එක රත් වෙනකොට Auto Shutdown වෙනව.ඌට අලුත් ෆෑන් එකක් දාගන්න කියල මම ආව. ඔය වගේ ගැරිජ් වැඩක් ආවොත් මම තමයි හැමදාම අහුවෙන්නෙ. ඒත් ඉතිං සෙල්ලංද කොල්ලො. ලංකාවෙන් ඇවිත් ජප්පොන්ටත් කොම්පුටර් හදල දෙනව කිව්වහම.ඒ වැඩේටත් පැයක් විතර ගියපු නිසා මේ පෝස්ට් එකෙත් වැඩි දෙයක් ලියන්න වෙන්නෙ නෑ වගේ.

දහම් පාසලේ පුස්ථකාලෙට පොත් ටික දුන්නට පස්සෙ කාලයක් යනකන්ම කියෙව්වෙ ඉස්කෝලෙ පුස්ථකාලෙ පොතුයි ඉල්ලගත්තු පොතුයි විතරයි. මම හැමදාම ඉස්කෝලෙ පුස්ථකාලෙන් කතා පොත් විතරක් ගෙනියනව දැකපු පුස්ථකාලෙ බාර මිස් මට නීතියකුත් දැම්ම එකපිට කතා පොත් දෙකක් ගන්න බෑ, පාඩම් වලට අදාල පොතුත් ගන්න ඕන කියල. අපි සැලෙයි ඕවට. අල්ල ගත්ත පන්තියෙ ඉන්න කතාපොත් කියවන්නෙ නැති සගයෙක්ව. මම මට ඕන කතා පොත ඌට දෙනව උගේ කාඩ් එකෙන් ගන්න කියල. මම ඌට ඕන පාඩම් පොත මගේ කාඩ් එකෙන් ගන්නව. සතියක් ඇර සතියක් ඔය විදිහට තමයි මම කතා පොත් ගත්තෙ.

කොහොම හරි A/L කරපු අවුරුදු දෙකටම මම ඉස්කෝලෙන් ගත්තෙ කතා පොත් විතරමයි. ඔය අතරෙ මතක තියෙන පොත් අතරිනුත් මම බොහොම ආසාවෙන් කියවපු පොත් දෙකක් තමයි "ඇට මැස්සා" පොතයි "වෘකයන් අතර නග්නව" කියන පොතයි. ඇට මැස්සා පොතනම් කියවල ඉවරවෙලත් දවස් දෙක තුනක්ම මාව කම්පනයට පත්කරල තියන්න සමත් වුනා. ඒ විදිහට දවස් දෙක තුනක්ම මාව කම්පන‍යට පත් කරන්න පුළුවන් වුනු, නිතරම දොඩමළු වෙලා හිනාවෙන් කාලය ගතකරපු මාව දස් දෙක තුනකට හරි නිහඬ බැරෑරුම් චරිතයක් බවට පත් කරන්න පුළුවන් වුනු පොත් 8ක් විතරයි මගේ මතකයට එන්නෙ. ඒකෙනුත් 5ක්ම පරිවර්තන පොත්.

උඩින් ලියල තියෙනව විදිහටම එකක් තමයි "ඇට මැස්සා".
ඊලඟ පරිවර්තන දෙකම එකම එකම කතුවරයගෙ සහ එකම පරිවර්තිකාවගෙ පොත්. ඒ තමයි "අපූගේ ලෝකය" සහ "අරණකට පෙම් බැඳ" කියන පොත් දෙක. පොත් වලට කැමති ගොඩ දෙනෙක්ම ඔය පොත් කියවල තියෙන නිසා වැඩි විස්තර කියන්නෙ නෑ.
ඊලඟ පරිවර්තන දෙකත් එකම කතුවරයගෙ. ජැක් ලන්ඩන් ගෙ "වයිට් ෆෑන්ග්" සහ "මුහුදු වෘකයා" කියන පොත් දෙක. පරිවර්තනය කරේ කවුද කියලනම් මතක නෑ.
සිංහල කතුවරයො ලියපු පොත් තුනෙන් මුල්ම දෙක නම් ඕනම කෙනෙක් දන්නව. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලිය්පු "සුදු සෙවනැලි" කියන පොතයි භද්‍රජි මහින්ද ජයතිලක මහත්මය ලියපු "ශ්‍රී රවණ්ණා පුවත" කියන පොතයි.
ඊලඟ පොත නම් ගොඩක් දෙනෙක් කියවල තියා අහලවත් නැති වෙන්න පුලුවන්. ඒක තමයි "සඳුගෙ දියණිය" කියන පොත.
කියන්න දුක වුනත් මේකෙ කතුවරයගෙ නම නම් මතක නෑ. සමහර කෙනෙක්ට මේක බොළඳ ආදර කතාවක් වගේම බොළඳ වීර කතාවක් වගේ දැනෙන්න පුළුවන් වුනත් මටනම් ඒක බොහොම සාර්ථක ප්‍රබන්ධයක් විදිහට තමයි හැඟෙන්නෙ. ලංකාවෙ බොහෝ කතුවරයන්ට මූලාශ්‍ර වෙලා තිබුනු ගමේ නගරයේ එක එක චරිත වටා ගොඩනැග්නු නවකතා රාමුවෙන් ඈතට තමන්ගෙ නිර්මාණශීලී මණස විහිදුවල බිහිකරපු වෙනස් විදිහක කතාවක් විදිහට තමයි මම නම් මේ "සඳුගෙ දියණිය" දකින්නෙ. කියවල තියෙන කෙනෙක් ඉන්නවනම් පහලින් තියෙන කොටුවෙ තමන්ගෙ අදහස් ලියල යන්නකො. කියවල නැති වුනත් තමන්ට හිතෙන දේ ලියල යන්න.මේ මම කිව්වෙ මගේ හොඳම පොත් 8 නෙවෙයි. මාව කම්පනය කරපු පොත් 8.

අදත් මම ලියන්න හිතාගෙන හිටපු දේ නෙවෙයි අන්තිමට ලියල තියෙන්නෙ. මොනව කරන්නද. ලියාගෙන යනකොට එක එක අතුරු කතා හිතට එනවනෙ. ඒ ටික නොලිව්වොත් නිකන් හරි නෑ හරි නෑ වගේ නිසා ඒ ටිකත් ඔන්න ඔහෙ මේ ගමන් ම ලියල දැම්ම. මගේ පොත් ගැන ලිවීමත් නිකන් බාල ගිරි දෝසෙ වගේ නේද. ඒ ගැන චෝදනා වුනත් කම්ක් නෑ ඔය පහලින් තියෙන කොතුවෙ ලියල යන්නකො.
ඊලඟ ලිපියත් ඉක්මනටම ලියන්ව. එතකන් සයොනරා!!!

Thursday, April 29, 2010

බැරි මරගාතෙ ලියන ලිපිය

ලාවට උණ ගතියක් එක්ක කටහඬත් නිකන් "අබර තබර නාබර" වෙලා. අද ඉඳල සතියක් එක දිගට නිවාඩු තිබුනත් ඒ නිවාඩුවටත් කෙල වෙන්න වගේ යන්නෙ. මටමමයි වෙන්නෙ!! හික්ස්!!!
ඒ නිසා ටිකක් කලින් නිදාගන්න ඕන කියල හිතුව. ඒත් අප්ප නින්ද යන්නෙ නෑනෙ!!! බ්ලොග් එක මතක් වෙනව!!! ඉතින් ඒ නිසා මොනවම හරි ලියල යන්න ඕන කියල හිතුව. අනේ මන්ද මමත් මේ බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වීගෙන යන්වද කියල.
මේක කෙටි සටහනක් වෙන්න බොහෝ විට ඉඩ තියෙන නිසා පොත් ගැන ඊලඟ එපිසෝඩ් එක වෙන දවසක ලියන්නම්.
ලියන්න දේවල් මහා ගොඩක් හිතට ආවත් ඒ හැම එකක්ම මහා පතරංග ජාතකේ වගේ දිගට ලියන්න පුලුවං දිග කතා. මටත් ඉතිං ශෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න බෑනෙ. මමත් ඔය ජාතකේ කියවලනම් නෑ. කියවල බලන්න ආසයි. දන්න කෙනෙක් ඉන්නවනම් විසතර ටිකක් කියන්නකො.හික්ස්!!!

ලියන්න කියල කෙටි මාතෘකාවක් කල්පනා කරනකොට තමයි අවුරුදු දෙකකට විතර කලින් බලපු Film එකක් ගැන මතක් උනේ. මගේ යාලුවොත් මේ Film එක ගැන අහල නොතිබුණු නිසා ලංකාවෙ එච්චර ජනප්‍රිය වෙලා නෑ කියල හිතුන. ඒ නිසා බලන්න කැමති අයට පොඩි හඳුන්වා දීමක් විදිහට මේ ලිපිය ලියන්නම්කො.

Spanglish (2004)


සමාජ තල දෙකක සංස්කෘති දෙකක පවුල් දෙකක් එකට ජීවත් වෙනකොට කොච්චර නම් හැලහැප්පීම් සිද්ධ වෙනවද. ඒ සිද්ධීන් ඉතාම දක්ශ ආකාරයට රූප රාමුවකට ගොනු කරල නිර්මාණය වුනු ඉතාම සංවේදි කතාවක් තමයි Spanglish කියන්නෙ. සමාජ සබඳතා,මාපිය දූදරු සබඳතා, අඹුසැමි සබඳතා වගේම ඒ අතර දෝලනය වෙන ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව වගේ හැඟීම් බොහොම ලස්සනට කතාවක් විදිහට වියමන් කරල තියෙන ලස්සන Film එකක්.
අපි කවුරුත් දන්න Adam Sandler සහ Téa Leoni එක්ක සුරූපී නිලි Paz Vega ගෙ අති විශිෂ්ඨ රඟපෑම එක්ක කිසිම කම්මැලි කමක් නැතුව බ්ලන්න පුලුවන්. කතාව බලල ඉවර වෙනකොට අපේ ජීවිතේ අපි වැඩිය කලපනා නොකරන සුළු සුළු දේවල් ගැන තව ටිකක් කල්පනා කරන්න හිත යොමු කරන විදිහෙ කතාවක්.කතාව ඉවර වෙලත් ඔයාල තව ටික වෙලාවක් ඒ විදිහටම වාඩිකරල තියන්න පුළුවන් විදිහෙ අවසානයක් තමයි තියෙන්නෙ.

මට හොයාගන්න පුළුවන් වුනු හොඳම Torrent එකටත් ලින්ක් එකක් දැම්ම ඕන්න. මෙතනට කොටන්නකො.
Comedy කියන Category එකට දාල තිබුනට මේක කොමඩියක් විතරක්ම නෙවෙයි.
මේක බලල නැත්තෙ මගේ යාලුවො ටික විතරක් නම් ඔන්න මට දොස් කියන්න එපා.මම දන්නවැයි ලංකාවෙ ජනප්‍රිය Film මොනවද කියල. මම වෙලාවවක උන් ටික අල්ලල දෙන්නම් බ්යිට් කරන්න. හික්ස්!!!
පොත් ගැන කතාව ඊලඟ දවසෙ ලියන්නම්. සුවර්!!!!
දැන්වත් මට නින්ද යයිනෙ.හික්ස්!!!

Tuesday, April 27, 2010

පොත් සමග ජීවිතේ


මම පොත් කියවන්න පටන්ගත්තු හැටි ගැන කලින් ලිපියෙ කිව්වනෙ. ඉතුරු ටික ලියන්න කියල අද හවස් වරුවෙම හිතාගෙන හිටියට චේතනා අක්ක බ්ලොග් එකේ දාල තිබුණු සිංදුවක් නිසා මේ ලිපිය ලියන්න හිත හදා ගන්න බැරි වුනා. සිංදුවෙ පද මාලාව කොච්චර හිතට කා වැදුනද කියවනම් පැය 6ක් විතර එක දිගට ඒක් ඇහුව. මම හිතන්නෙ පනස් සැරේකට වඩා අහන්න ඇති. මේ ලිපිය ලියන්න කියල කොම්පුටරේ ලඟ ඉඳ ගත්තට පහුගිය පැය 6 පුරාවටම වෙනත් ලිපි වෙනුවෙන් Comment පහ හය කට වඩා ලියාගන්න බැරි වුනා.
කොහොම හරි Focus කරල මේ ලිපියත් ලියන්න ඕන.

අම්මගෙ තල්ලුවත් එක්ක පටන් ගත්තු පොත් කියවීම අල්ලපු ගමේ පුස්ථකාලෙ (අපේ ගමට එකක් තිබුනෙ නෑ), හික්කඩුවෙ මහජන පුස්ථකාලෙ හැම පොතක්ම වගේ කියවල ඉවර කරත් නවත්තගන්න බැරි වුනා. නවකතා, පරිවර්තන, චරිතාපදාන වගේ අතට අහුවෙන් ඕනම ජාතියෙ පොතක් කියෙව්ව. ඔය අතරෙ ගෙදර පොත් එකතුවත් පොත් 200 විතර වෙනකන් වැඩි වුනා.
මට රස විඳින්න ටිකක් අමාරු වුනේ රුසියානු පොත් විතරයි. මම දන්නව රුසියානු සාහිත්‍ය කියන්නෙ ලෝකෙ තියෙන හොඳම පොත් එකතුවක් තියෙන සාහිත්‍යයක් කියල. ඒත් මොකක්ම හරි හේතුවක් නිසා රුසියානු පොත් වලට මගේ එච්චර කැමැත්තක් තුබුනෙ නෑ.කොටින්ම කිව්වොත් මම "මක්සිම් ගෝර්කි" ගෙ "අම්මා" කියන පොත තාමත් කියවල නෑ.හැබැයි මගේ කැමතිම පොත් ලිස්ට් එකේ මුල්ම හරියෙත් එක රුසියානු පොතක් තියෙනව."සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියන පොත.

කොහොමින් කොහොමින් හරි ඉගෙනීමත් කඩාකප්පල් වෙනකං පොත් කියෙව්ව. මං හැමදාම පන්තියෙ 10 වෙනිය ඉඳල 15 වෙනිය අතර තමයිහිටියෙ.ඒ කාලෙ මට ඕන වෙලා තිබුනෙ ලොකු උනහම පොත් කඩේක වැඩකරන්න. එතකොට කඩේට එන පොත් සේරම නොමිලේ කියවන්න පුලුවන්නෙ. හික්ස්!!!!
ඒ කාලෙ මට ගෙදර ඉඳන් බත් කනකොට කියවන්න මුකුත් නැත්තං බත් ටික බඩට යවාගන්න බෑ. සමහරුන්ට අර හොදි නැතුව බත් කන්න බෑ වගේ තමයි. හික්ස්!!!!
හැබයි ඔය කියවන තරමක් කියෙව්වෙ සිංහල පොත්. ඒ දවස් වල මගේ කඩුව මොට්ට වෙලා කියල කියනවටත් වඩා හොඳටම මලකඩ කාල මිට විතරක් ඉතුරු වෙලා තිබුන කියල කිව්වොත් තමයි හරි. වාර විභාගෙකට ඉංග්‍රීසි වලට ලකුණු 40කට වඩා ගත්තනම්, ඒ මිස්ට එකතුව වැරදිච්ච වෙලාවට විතරයි.හික්ස්!!!!

පොත් සල්ලි වලට ගන්නව කියන්නෙ ඉතින් තනියම කියවන්න බෑනෙ. යාළුවොන්ටත් දෙන්න ඕනනෙ. එහෙම දීල ගොඩක් කල් යනකොට මට පොතදුන්නු කෙනා මතක නෑ.‍යාළුවටත් පොතේ අයිතිකාරය මතක නෑ. ඔහොම සිද්ධි නිසා 10 වසර වෙද්දි මගේ පොත් එකතුව 100 විතර වෙනකන් අඩු වුනා. ඒ එක්කම Film බලන Game ගහන පිස්සුවකුත් හැදුනු නිසා පොත් එකතුව ගැන තිබුණු සැලකිල්ලත් ටිකක් අඩු වුනා කියල කියන්න පුලුවන්.

එක දවසක් පොත් කබඩ් එක ඇරල බලන කොට පොත් ටිකට වෙලා තියෙන දේ ගැන මහා දුකක් ඇති වුනා. මං කැමතිම පොත් ටිකට වෙච්චි දෙයක් නෑ. ඉතුරු පොත් ටික දාගත්ත පෙට්ටියකට. අරගෙන ගිහිල්ල දුන්න දහම් පාසලට. මම ගියේ බොහොම පොඩි දහම් පාසලකට. දහම් පාසලෙත් පුස්ථකාලයක් පටන්ගත්තෙ මම දුන්න ඒ පොත් ටිකෙන් තමයි. මගේ ලඟ ඉතුරු වුනේ දහම් පාසලකට දෙන්න බැරි විදෙහෙ කතා තිබුණු පොත් කීපයකුයි අර මුලින් කිව්ව "පියාසර අංක 401"කියන පොතයි විතරයි. පොත් ගන්න එකත් සම්පූර්ණයෙන්ම නැවැත්තුව. යාළුවොන්ගෙන් ඉල්ලගත්තු පොතුයි ඉස්කෝලෙ පුස්ථකාලෙ පොතුයි විතරයි කියෙව්වෙ.

පොත් මිලදී ගැනීමයි පොත් කියවිල්ලයි ආයෙත් පරණ ට්‍රැක් එකටම ආවෙ ඊටත් අවුරුදු දෙකහමාරකට විතර පස්සෙ. ඒ කියන්නෙ O/L ඉවර වෙලා A/L පටන්ගෙනත් කාලයක් ගියාට පස්සෙ. ඒ කතාව ඊලඟ ලිපියෙන් ලියන්නම්. ලියනව කිව්වොත් ලියනව සුවර්. ඒක ලියනකං ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.
මේ පොත් ගැන ලියන ලිපියෙ එච්චර රසවත් බවක් නෑ කියල හිතෙන්ව.ඒත් පටන් ගත්තු දේ ලියල ඉවර කරන්නත් ඕනනෙ.
දැන් ආයෙත් අර සිංදුව අහන්න ඕන.

Tuesday, April 27, 2010

පොත් සමග මම

අද ඉන්ටර්විව් එකකට ගියා. ඒක ඉවර වෙන්නත් කලිංම ඒකට කෙළ වෙච්ච බව තේරුණු නිසා කෝච්චියෙ එනකොටත් හිත අවුල් වෙලා හිටියෙ. උන්න හැටියට මළා මදැයි කියල,අවුල් වෙච්ච ඉන්ටර්විව් එක අමතක කරන්නත් එක්ක පටන්ගත්ත මගේ විනෝදාංශෙ. ඒ කියන්නෙ අතීතාවර්ජනය. ඒකත් හරියට ට්‍රැක් පැනපු කැසට් ටේප් එකක් වගේ එකම දේවල් රිපීට් වෙන,සමහර තැන් ප්ලේ කරනම බැරි මහා අවුල් ජාලයක්. ඒ නිසා අද මොන්ව ලියවෙනවද කියල බලාගන්න වෙන්නෙ ලියල ඉවර වෙලා තමයි. මේ සටහනට ගැලපෙන මාතෘකාවක් දාන්න වෙන්නෙත් සටහන ලියල ඉවර වෙලා නැවත වතාවක් කියවල බැලුවහම තමයි.

ඒත් ස්ටේශන් එකේ ඉඳල Room එකට එනකන් බයිසිකලේ පදිනකොටත් නැවත නැවත මතක් වුනේ මම කියවපු පොත් ගැන. ඒ නිසා මේ සටහනත් බොහෝ විට පොත් ගැන වෙන්න ඉඩ තියෙනව.

පොත් ගැන කියනවනම් හෝඩි පොතත් කියවන්න ඇති(ඒත් මතක නෑනෙ ),ඔය 2,3,4 පන්ති ව්ල ඉන්න කොට ඉස්කෝලෙ තෑගි ප්දානෝත්සවයෙදි පොත් හම්බවෙලා තිබුනත් ඒ මොනවද කියල හරි හැටි මතකයක් නෑ. මට ලැබුනු පොත් වලින් මතක තියෙන මුල්ම පොත් තමයි "මුතුබෙලි අක්කයි නගෝ හත්දෙනයි" කියන පොතයි අර යකඩ පොල්ල කණේ ගහගෙන වැඩ දාන වානරයගෙ කතාව තියෙන පොතයි. ඔය පොත් දෙකම රූප වැඩියෙන් තියෙන, වචන අඩුවෙන් තියෙන පොත්. ශ්ෂ්‍යත්ව පන්තියෙ 4 වසරෙ ඉඳල 5 වසරට ඇතුල් වුනු මුල්ම මාසෙ විභාගෙ 1,2,3 වෙනියට තෑගි දුන්න. ඔය පොත් දෙක තමයි පළවෙනියට ලැබුනු තෑග්ග.

හැබැයි මම පළවෙනිය වෙන බව දන්නවනම් සර් පළවෙනි තෑග්ගට දෙන්නෙ "සිරිත් මල්දම" යි "හොඳ ළමයෙක් වෙයන් පුතේ" කියන පොත් දෙක...හික්ස්!!!!
මගේ 5 වසෙ ඉන්න කාලෙ වැඩ ගැන ඉතින් ඔයගොල්ලොත් දන්නවනෙ.දන්නෙ නැත්තං මේ ලිපි තුන බලල ඉන්නකො.
පුංචි පහේ මං
කජු කෑමත් ලේසි නෑ
මිසොං ඉම්පොසිබොල් කජු කෑම


කොහොමින් කොහොමින් හරි ශිෂ්‍යත්වෙත් ඉවර උනා කියමුකො. ශිෂ්‍යත්ව පන්තියෙ ළමයින්ගෙන් වැඩිම ලකුණු, ඉස්කෝලෙන් දෙක(ඉස්කෝලෙන් වඩිම ලකුණු ගත්තු හාදයත් ඕං කාලෙක ඉඳල සිංහලෙන් බ්ලොග් ලියන බ්ලොග් ලොක්කෙක් ) , දිස්ත්‍රික්කෙන් 16. සෙල්ලංද කොල්ලෝ කිව්වලු.
මමත් දැං 6 වසරෙ බොහොම තැනක් තියෙන කොල්ලෙක්. ගෙදර ගියපු ගමන් අම්මට දැම්ම ඉල්ලීමක්
"මටත් දැන් ලොකු පොත් කියවන්න ඕන. ඒ නිසා පොත් දෙක තුනක් ගෙනැල්ල දෙන්න."
අම්ම කිව්ව"හරි.ඒත් අලුත් පොත් ගන්න කලින් මේ පොත කියවන්න."

මොකද දන්නවද ඒ පොත. "පියාසර අංක 401"
ලෝක ගුවන් මගී පවාහනයේ ඉතිහාසය වෙනස් කරන්න හේතු වුනු 1972 දි සිද්ධ වුනු ගුවන් අනතුරක් ගැන ඇත්ත වාර්තා ඇසුරෙන් ලියවෙච්ච පොතක සිංහල පරිවර්තනය. මහා ලොකු පොතක් නෙවෙයි පිටු 150,200 විතර පොතක්.ඒත් ඒ කතාව කොච්චර හිතට අල්ලල ගියාද කිව්වොත් එක දිගට දෙපාරක්ම කියෙව්ව මතකයි.
ඒ ගුවන් අනතුර ගැන විස්තර දැනගන්න ආසයි කියල හිතෙන්වනම් මෙතනට කොටන්න.
"පියාසර අංක 401" නමින් සිංහලට පරිවර්තනය වුනු පොත කඩ්ඩෙන් කියවන්න ආසනම් මෙතනට කොටන්න.

අම්මගෙ ඊලඟ පඩි දවසෙ ලැබුන රුපියල් 300ක්.තාත්ත එක්ක ගියා ගාල්ලෙ ළහිරු පොත් හලට. තාත්ත කතා පොත් කියවල තිබුණු කෙනෙක් නොවන නිසා( තාත්ත කියවල තිබුනෙ රොබින්සන් කෲසෝ විතරයි.එදා කඩේ ඒ පොත තිබුනනම් මට ඒක ගන්න වෙනව සුවර්..හික්ස්!!!) මට කැමති පොතක් ගන්න අවසර තිබුන.
ඒ කාලෙ TV එකෙත් ගියානෙ ටාසන් කතාව. මම පැනපු ගමන් ගත්ත කිරි ටොයිය වගේ දිලිසි දිලිසි තිබුණු "ටාසන්ගේ වනසිව්පාවෝ"කියන පොත. තව පොතක් ගන්න සල්ලි ඉතුරුයි. ටාසන්ට එහා පැත්තෙ තිබුනු පොත ගන්න ඕන කියල හිතුන. මම කොච්චර වාසනාවන්තද කියන්ව නම් ඒ අහම්බෙන් ගත්ත පොත තමයි එදා මෙදා තුර මගේ ප්‍රියතම පොත් වලිනුත් මුල් තැන ගන්න පොත.
මොකක්ද දන්නවද "සුදු ගෝනා"!!!!!!!
මේ පොත් දෙක බොහොම ආසවෙන් කියෙව්ව.
ඊට පස්සෙ මාසෙ සල්ලි වලින් ඉතින් නොවැරදීම "සුදු වැද්දා"!!!!!.ඒකත් එක්ක "නොදැමුණු ටාසන්"
ඊට පස්සෙ මාසෙ"විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව" සමග "ඩ්‍රැක්‍යුලා"!!!!!!!!!!!!
කොහොමද පොඩි එකාගෙ චොයිස්.සේරම ලොමු ඩැහැගන්වන වීර කතා...හික්ස්!!!

මට මගේ පොත්, ගත්තු පිළිවෙලට මතක ඔය ටික විතරයි.
අන්තිමට ලිපිය පොත්, ගැනම වුනා නේද. මගේ පොත් කියවිල්ල ගැන තව මහා ගොඩක් ලියන්න දේවල් ගලාගෙන ආවත් ඒ ටික පස්සෙ දවසක ලියන්නම්. හැබැයි ඊට කලින් කියන්න ඕන මම මහාලොකු සම්භාව්‍ය ගණයෙ පොත් ගොඩක් කියවල නෑ.කියවපු තරමක් කියෙව්වෙ වීර කතා වල පරිවර්තන. සම්භාව්‍ය ගණයට වැටෙන පොත් බොහොම ටිකයි කියෙව්වෙ. ඒ නිසා බර පතල විචාර ලිපියක්නම් බලාපොරොත්තු වෙන්න එපා ඕං.
ඒත් එතනින් පටන් ගත්තු පොත් කියවීම මගේ ජීවිතයට මහා දැනුම් සම්භාරයක් එකතු කරා.
ඒත් එකම එක පරිවර්තකයෙකුට නම් ටිකක් විතර බනින්න දහසක් තියෙනව.ඒක ඊලඟ ලිපියෙ ලියන්නම්කො. ලියන්ව කිව්වොත් ලියනව සුවර් මයි.
දැනට ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.

Friday, April 23, 2010

මිසොං ඉම්පොසිබොල් කජු කෑම


කජු කන එක මිසොං ඉම්පොසිබොල් වලට වඩා සිරා ගේමක් වෙච්චි හැටි කලින් ලිපියෙ ලිව්වනෙ. තාම කියෙව්වෙ නැත්තං මෙතනින් බලන්න. අද ලියන්නෙ මගේ ප්ලෑන නිකං කිරි ගහට උල් පිහියෙන් ඇන්න වගේ සිරාවට වැඩ කරපු හැටි.( දන්න කෙනෙක් කියන්නකො ඔතන ඔය කිරිගහ කියන්නෙ රබර්ද, පැපොල්ද නත්තං අරලියද කියල... හික්ස්..)

ඔන්න අම්ම කජු ටික ගෙනැල්ල සුපුරුදු විදිහටම දැම්ම ෆ්‍රිජ් එකේ. පහුවෙනිද හැමෝම TV බලන වෙලාවක ගත්ත කබඩ් එකෙන් එක කජු බෑග් එකක්. ඇල්ලුව හැමෝටම. අම්ම ඉතිං පුතණ්ඩිය ගැන දන්න නිසා මුකුත්ම නොකිය හිමීට නැගිටල ගියා. මම දන්නවනෙ ඒ ගියේ ෆ්‍රිජ් එක චෙක් කරන්න කියල. මමත් ඉතිං මුකුත් නොදන්න ගානට අනිත් අයට කජු ඇල්ලුව. අම්ම ආපහු ආපු ගමන් ඇහුවෙ කොහෙන්ද මේ කජු කියල. මමත් ඉතිං බොහොම අහිංසක විදිහට කිව්වව මාස දෙකක පොකට් මනී එකතු කරල ඒකෙන් කජු 100ක් ගෙනාව කියල. හතර දෙනාම (පුංචිත් ඒ කාලෙ අපි ගෙදර ) කජ්ජක් දෙකක් අරගෙන වැඩි හරිය මට ඉතුරු කරා. පවුනෙ පොඩි එකා. මමත් TV බල බල මගේම කියල සල්ලිවලට ගත්තු කජු ටික රස කරකර කන්න ගත්ත.

ඊලඟ දවසෙ ඉතුරු කජු බෑග් එකත් ඇල්ලුව. එදා අම්ම ෆ්‍රිජ් එක චෙක් කරන්න ගියෙත් නෑ. නිකමට ඇහුව කොහෙන්ද කියල.මම කිව්ව ඉතුරු කරපු සල්ලි වල ඉතුරු බාගෙන් තමයි මේ කජු ටික ගත්තෙ කියල. එදත් වැඩි කොටහ මට. මගේ යක්ශ ප්ලෑන වැඩ කරයි වගේ.

ඔන්න ඊට පස්සෙ දවස තමයි මගේ ගේම දෙන දවස. එදා කලින්ම ෆ්‍රිජ් එකේ තිබුනු කජු ටික ඊට කලින් දවසෙ කජු කාල ඉතුරු කරපු බෑග් එකට දාල,හිස් කජු බෑග් එක තිබුනු තැනම තිබ්බ.නිතරම ෆ්‍රිජ් එක අරින වහන වෙලාවට කජු ටික පේන්න තිබුනොත් පොඩි එකාට කන්න හිතෙයි කියල බයටද කොහෙද අම්ම කජු තියන්නෙ ෆ්‍රිජ් එකේ යටම හරියෙ වැඩිය නොපෙනෙන තැනක. කජු ටික තියෙන්වද කියල විශේෂයෙන් බැලුවොත් මිසක් නිකන් ෆ්‍රිජ් එක අරින වහන වෙලාවට කජු ටික තියෙන්වද නැද්ද කියල පේන්නෙ නෑ.

රෑ කට්ටියම TV බලන වෙලාවට හිමීට ගිහිල්ල ඇල්ලුව කජු බෑග් එක. සුපුරුදු විදිහටම අහනවනෙ කොහෙන්ද කියල. බොරුත් නොකියවෙන විදිහට සිරා උත්තරයක් රෙඩි කරගෙන තම්යි හිටියෙ.
"කලිංම ගෙනැල්ල ෆ්‍රිජ් එකේ දාල තිබුනු කජු"
කවුද ගෙනාවෙ කියල ඇහුවෙ නෑනෙ.... හික්ස්...
සුපුරුදු විදිහටම හැමෝම ටික ටික අරගෙන වැඩි කොටහ මට ඉතුරු කරා. පවුනෙ අහිංසක පොඩි එකා.

එතකොට අම්ම කියනව "මේ කජු කලින් දවස් දෙකේ කාපුවට වඩා රසයි. මීට පස්සෙ කජු ගන්නවන්ම් මේ කජු ගත්ත කඩෙන්ම ගන්න"කියල.
අම්ම කෑම හදන්න දාන්නෙ ඉස්තරම්ම බඩුනෙ.
අම්ම කජු ගන්න කඩේ දන්න නිසා මමත් "හාං!!!!" කිව්ව.

මට ෆුල් සැටිස්. මගේ ප්ලෑන හිතුවටත් සඩා හොඳට වැඩ කරා. දැන් තියෙන්නෙ රිසල්ට් එනකන් ටිකක් ඉවසීමෙන් බලං ඉන්න එක විතරයි.

පහුවෙනිද සෙනසුරාද නිවාඩු දවස. ශිෂ්‍යත්ව පන්ති පටන් ගන්න කලින් අම්මල කෑම හදන්න ගන්නවනම් හොඳයි. මටත් ඕන වෙලා තිබුනෙ මං ගෙදර ඉන්න වෙලාවකම වැඩේ පත්තු වෙනව බලන්න. එතකොටනෙ Live Show එකත් සමග උපරිම රසය විඳින්න පුලුවං.

ඔන්න අම්මයි අක්කයි පුංචියි කුස්සියෙ බිබික්කං (පොල් කේක්) හදන්න ලේස්ති වෙනව. තාත්තත් ඒ පැත්තෙම වෙන මොකක්ද වැඩක්. මතක නෑ මොකක්ද වැඩේ කියල. ෆුල් ඕඩියන්ස් එකම කුස්සියෙ. මම සාලෙ TV බල බල හිටියට කණ තිබුනෙ කුස්සියෙ. කොයි වෙලාවෙ වැඩේ පත්තු වෙයිද කියල හිත හිත ඉන්නකොට ඔන්න ඇහෙනව........
පුතා..... කොල්ලෝ............මෙහාට එනව!!!!

කටහඬේ සංඛ්‍යාතය තීව්‍රතාවය ධ්වනි ගුණය සේරම හරි. ලෙඩේ තමයි. කොච්චර එඩිතරව ගේම් දුන්නත් දැන්නම් හිතට ටිකක් බයයි. ඒත් ඉතිං කුම්බිලා මාලු කෑවානම් දිරවාපන් පූසියෝ කියල මමත් බිවු මවු කිරියි කෑ කිරි කජුයි මතක් කරකර කුස්සියට ගියා.
"කෝ මේකෙ තිබුණු කජු බෑග් එක?"
"ඔය තියෙන්නෙ බෑග් එක"
අම්මගෙ කට කොනට පොඩි හිනාවක් ආව. බරපතල ජීවිත හානි නැතුව ශේප් වෙන්න පුලුවන් වගේ.
"කෝ එතකොට බෑග් එකේ තිබුණු කජු ටික?"
"ඇයි හැමෝම ඊයෙ TV බලන ගමන් කෑවෙ. අම්මමනෙ කිව්වෙ හොඳට කිරි රහට තියෙනව කියල."
කට්ටියම ලාවට හිනා වෙනව. අම්මටත් ටිකක් හිනා.
"එතකොට බොරු කිව්වෙ මොකද ඔයා ගෙනාව කියල?"
"මම කියපු බොරුවක් නෑ. කලිං ගෙනැල්ල ෆ්‍රිජ් එකේ දාල තිබුණු ඒව කියල කිව්වනෙ. අම්ම ඇහුවෙ නෑනෙ කවුද ගෙනාවෙ කියල."
දැන් හැමෝම හිනාව තදකරගෙන ඉන්නව. මගෙත් බ‍ය ටිකක් ගියා. ඒත් නඩුව තාම ඉවර නෑ.
"එතකොට කලිං දවස් වල කාපු කජු?"
"ඒව මම එකතු කරපු සල්ලි වලිං ගත්තු කජු. තනියම කන්න හොඳ නැති නිසා තමයි හැමෝට්ම දීල කෑවෙ."මම පොඩි බටර් පාරක් දැම්ම.

මටත් මේ වෙනකොට තේරිලා තිබුනෙ මට කජු කන්වටත් වඩා ඕන උනේ ගෙදර පොලිස්කාරියට පොඩි පහේ ගේමක් දෙන්න කියන එක.
අම්මටත් මුකුත් කියන්න බෑ. ඇයි අම්මත් කජු කෑවනෙ. නිකංද,හොඳට කිරි රසයි කිය කිය.

අම්ම අනුමානෙට හිතන්න ඇති මගේ ප්ලෑන මොකක්ද කියල. ගැහිලි බැනිලි අවවාද දීම් මුකුත් නැතුව මගේ ගේම කෙළවර උනා. හැබැයි බිබික්කං කන්න සිද්ධ උනේ නම් කජු නැතුව. මට මොකෝ..!!!! මම කොහොමත් කැමති ඔය දෙක වෙනවෙනම කන්නනෙ.

මට ඒ වෙනකම් දාල තිබුනු බිග් මැච් බලන්න යෑමේ තහංචිය ඒ අවුරුද්දෙ ඉඳල ඉවත් වුනා. ඒ වගේම තනියම බස් එකේ යෑමේ අවසරයත් ලැබුන. මොකද ඒ කෙස් එකෙන් පස්සෙ අම්මට තේරෙන්න ඇති මට මං ගැන බලාගන්න පුලුවන් විත්තිය.
හැබැයි මේකෙන් ලබුනු හොඳම දේ තමයි හැම මාසෙම පඩි දවසට මටයි අක්කටයි පුංච්ටයි කන්න වෙනමම කජු ටිකක් ලැබිච්ච එක. ඒ ඩබලටත් හොඳ කුට්ටිය. මගේ පහනෙන් එලිය බලන්න.

හැබැයි මගේ ගේම මුල ඉඳල ප්ලෑන් කරපු හැටි පවුලෙ හැමෝටම විස්තර සහිතව කිව්වෙ මේ සිද්ධියෙනුත් අවුරුදු ගානකට පස්සෙ ලයිට් ගියපු වෙලාවක හැමෝම ඉස්තෝප්පුවෙ ඉඳං ආගිය කතා කියනකොට තමයි. අම්මට මොනව හිතෙන්න ඇත්ද.. හික්ස්!!!!!!

Thursday, April 22, 2010

කජු කෑමත් ලේසි නෑ


අපේ ලංකාවෙ අයට නං කජු කනව කියන්නෙ නිකං කජු කනව වගේ වැඩක්නෙ. නැද්ද මං අහන්නෙ. මොකෝ, ඕනම ලේසි වැඩක් කරන කොට කජු කනව වගේ කියල කියන්නෙ කජු කිරි වලට කට කහන්න අරගෙන එහෙම නෙවෙයිනෙ.

හැබැයි මටනං පොඩි කාලෙදි කජු කනව කියන්නෙ හෙනට පැලෑනක් එහෙම ගහල, හොඳ පෙර සූදානමක් සහිතව කළයුතු, ඒ වගේම පොඩ්ඩ වැරදුනොත් බෙල්ලෙන්ම ගහල යන විදිහෙ සිරාම ගේමක්. ඒකෙන් Film එකක් ගැහුවොත් ටොම් කෲස්ගෙ මිසොං ඉම්පොසිබොල් එක නිකං පොඩි එකෙක්ගෙ හැංගිමුත්තං සෙල්ලමක් ගානට වැටෙනව සුවර්.

අර වේදිකා නාට්ටිය පටන්ගන්න කලින් පොතේ ගුරා එනව වගේ සිරා ඉස්ටෝරිය (මට විතරද මංද සිරා...හික්ස්) ලියන්න කලිං පසුබිම හදල ඉන්න එක මගේ සිරිතනෙ. කජු කන එක මිසොං ඉම්පොසිබොල් වෙච්චි හැටි මුලින්ම ලියල ඉමුකො.

අපේ පවුල අම්මගෙයි තාත්තගෙයි මාසෙ පඩියෙන් ජිවත් වුනු මොහොම සාමාන්‍ය පවුලක්. එදාවේල ඇඩුවක් නැතුව කන්න ලැබුනත් ඔය විච්චූරණ කෑම ජාති නිතර කන්න තරං හැකියාවක් තිබුනෙ නෑ. අපේ අම්මට නනාප්‍රකාර කේක්, පුඩිං, ජෙලි, දෝසි ජාති වගේ සක්වල තියෙන ඕනම් කෑම ජාතියක් රසට හදන්න හදන්න පුලුවං උනාට ඕව ඇත්තටම හැදුවෙ ඉඳල හිටල. ගොඩක් වෙලාවට පඩි දවසට පස්සෙ එන සති අන්තෙ තමයි.

ඔය කේක්, දෝසි එහෙම හදන්න කජුත් යහමින් දාන්න ඕනනෙ. ඒ නිසා ඒකට ගේන කජු ග්‍රෑම් 100,200 අම්ම බොහොම හොඳට පරිස්සං කරා.(පුතණ්ඩිය හැටි දන්නවනෙ.) එක පාරක් කෑමක් හදන්න ගෙනාපු කජු ග්‍රෑම් 200 දවස් 3කට පස්සෙ කිරන කොට ග්‍රෑම් 50 වෙලා තිබුණු නිසා කජු වලට සියලු ඩීටේල් සහිත තහංචි සෙට් එකක් තමයි දාල තිබුනෙ.

අම්ම දන්නෙ නෑනෙ මම කේක් වලටයි දෝසි වලටයි කජු දාල කනවට වඩා කජු ටික වෙනම කාල කේක් දෝසි වෙනම කන්න කැමති බව. කොටින්ම කිව්වොත් දෝසි වලට කජු දාල තිබුනොත් මුලින්ම කජ්ජ වටේට තියෙන දෝසි ටික ලෑටි ගාල(ගෙදරදි විතරයි හොඳේ.... ) අන්තිමට කජු කෑල්ල විතරක් වෙනම කනව. කජු කන එකත් එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි.

මේ වැඩේ ඉතිං හැමදාම කරන්න බෑනෙ. මටත් ආත්ම ගරුත්වයක් කියල එකක් තියෙනවනෙ. ටිකක් කල්පනා කරල බැලුව කරන්න පුලුවං දෙයක් ගැන. මගේ ඇට්ටර වැඩ අල්ලන්න පුලුවං අම්මට විතරයි(මේ පුත්තරයගෙම අම්මනෙ...හික්ස්) ඒ නිසා දෙනවනං දෙන්න ඕන අම්මටත් ඇඩ්‍රස් නැතිවෙලා යන විදිහෙ ගේමක්. මං ඔය කලබලේට කරන්න ගිහිල්ල වරිගෙ නහගන්න විදිහෙ ගේම් දෙන්නෙ නෑනෙ. කල්පනා කරල කල්පනා කරල ගැහුව සිරා ප්ලෑනක්. හරියට වැඩ කරොත් අම්මට ඇපත් නැතිවෙන විදිහෙ එකක්.

හැබැයි ප්ලෑනට අනුව ගේම දෙන්නං රුපියල් 40ක් විතර හොයාගන්න ඕන. අක්කගෙන් ඉල්ලන්නත් බෑ. අපේ අක්ක ඉතිං ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ. වැඩේ ගැස්සුනොත් ඒ අහිංසකීටත් නිකරුනේ බැනුම් අහන්න වෙනව. එකතුකරා හැමදාම උදේට ඉස්කෝලෙ යන්න කලිං තාත්තගෙන් ලැබෙන පොකට් මනී.(දවසට රුපියලයි. ඒත් ඔය කාලෙ 4,5 වසර නිසා රුපියලත් සෑහෙන්න වටිනව. ) මාස දෙකක් පුරාවටම ඩැනි අයියගෙ රබර් වඩේ කන එකටත් විරාම්යක් දීල සිරාවටම ගේමට එන්ටර් උනා.(ගාල්ලෙ මහින්දෙට ගියපු ඕනම කෙනෙක් ඩැනි අයියයි එයාගෙ රබර් වඩෙයි ගැන දන්නව. ඩැනි අයිය ගැන වෙනම ලිපියක ලියන්නම්.)

සල්ලි එකතු උනාට පස්සෙ ගත්ත ඒ සල්ලි වලින් කජු ග්‍රෑම් 200ක්. ඒකත් ගත්තෙ ග්‍රෑම් 100 බෑග් 2කට.
ඊට පස්සෙ ඉතිං මුල්ලකට වෙලා තනියම කෑව කියලද හිතන්නෙ..
හික්ස්....මොන පිස්සුද.
අපිනං කරයි එහෙම දෙකේ පංතියෙ වැඩ.
කරොත් කරන්නෙ ධර්මිෂ්ඨ වැඩක්නෙ.
හැංගුව කජු ටික පොත් මේසෙ ලාච්චුවෙ. ඒ පොත් මේසෙත් අපේ සීය එයාගෙ අතින්ම මට හදල දීපු සිරා මේසෙ. ආයෙත් කතාවෙන් පිට යන්ව. සොරි වෙන්න ඕන. පොත් මේසෙ ගැනත් වෙනම කතාවක ලියන්නම්.

ඔන්න ටික දවසකට පස්සෙ පඩි ලැබිලද කොහෙද අම්ම ගෙනාව කෑමක් හදන්න කියල කජු.ගෙනාපු ගමන් කෑම හදන්නෙ නෑනෙ. නිවාඩුවක් ලැබෙනකං ඒ කජු ටික ෆ්‍රිජ් එකේ. දැන් තමයි මගේ ප්ලෑන ටෙස් කරන්න වෙලාව. හිතා ගන්න පුලුවන්ද මොකක්ද කියල ප්ලෑන. අනුමානෙට වගේ කියන්න පුලුවන් අය ඉන්නවනම් පොඩ්ඩක් හිතල බලල Comment කොටුවෙ ලියන්නකො බලන්න මොකක්ද ඒ ප්ලෑන කියල...හික්ස්

කතාව කුට්ටි කරන්න අකමැති උනත් හෙට තියෙන ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න තියෙන නිසා ඉතුරු බාගෙ හෙට රෑට ලියන්නම්. ලියනව කිව්වොත් සුවර් එකටම ලියන්ව.

Tuesday, April 20, 2010

පුංචි පහේ මං


මේ මතක මංපෙතේ හාහාපුරා කියල ලියන්න යන්නෙ 5 වසරෙ ඉන්න කාලෙ කරපු ඇට්ටර වැඩක් ගැන. ඔය කාලෙ අපිට තියෙනවනෙ ශිෂ්‍යත්වෙ කියල මහා ලොකු කඩුලු පැනීමක්. ඉතින් ඔය කඩුලු පනීම පුරුදු කරන්න ශිෂ්‍යත්ව පන්ති කියල ජාතියකුත් තියෙනවනෙ.

මම ශිෂ්‍යත්ව පන්ති ගියපු කාලෙ, ඒ කියන්නෙ 95/96 කලෙ තමයි ලංකාව ඔය මහා බලශක්ති අර්බුදයකට මුහුණ දීල හිටියෙ. සුද්දගෙ ග්‍රිනීජ් රේඛාව බල්ලට දාල, මැඩම්ට ඕන විදිහට
ඔරලෝසුවෙ කටු කරකවල රෑට ලයිට් කපපු ඔය කාලෙ අපිත් හිටියෙ නිකං උතුර දකුණ මාරුවෙලා වගේ තමයි.

කොච්චර මාරුවෙලාද කියනවනම් ඒකාලෙ දෙනව නේද ගැටළු වර්ගයක් අර සවස 5 ට කාර්යාලයෙන් පිටත් වුනු නිමල් පැයට කි.මි. 60ක වේගයෙන් ගමන් ගන්නා බසයකින් කිලෝමීටර් 70ක් ගමන් කර, එතැන් සිට පැයට කි.මී.3 ක වේගයෙන් මීටර් 600ක් ගමන් ගත්තේනම් නිමල් නිවසට එන විට නිවසේ ඔරලෝසුවේ වෙලාව කීයද? කියල අහන. අපි එතකොට සර්ගෙන් අහනව නිමල්ගෙ ගෙදර ඔරලෝසුවෙ තියෙන්නෙ අලුත් වෙලාවද පරණ වෙලාවද කියල. ඔන්න ඔයවගේ කොලොප්පං මානසික තත්වයකින් තමයි අපි ඒ කාලෙ ජීවත් වුනේ.

සතියෙ දිනවල හවස 5 ඉඳල රෑ 8 විතර වෙනකං පැවැත්වුණු අපේ ශිෂ්‍යත්ව පන්තියටත් ඔය වෙලාව වෙනස් කිරිල්ලයි ලයිට් කැපිල්ලයි බොහොම ලොකුවට බලපෑව. සර්ගෙ ලඟ ජෙනරේටරයක් නොතිබුණු නිසා දවසක් ඇර දවසක් ලයිට් කපනකොට අපි ඉගෙනගත්තෙ ඉමර්ජන්සි ලෑම්ප් වල පිහිටෙන් තමයි. පන්තියෙ ළමයි 200ක් විතර හිටපු නිසා හැම තැනටම හොඳට එලිය වැටුනෙ නෑ. එහෙම එලිය අඩු තැන් පිරිමහගත්තෙ ඉටිපන්දම් වලින් තමයි. අපි හැමෝගෙම බෑ
ග් වල ඉටිපන්දමකුත් නොවරදවාම තිබුන.

පන්තියෙ මාසෙකට සැරයක් විභාගයක් තියල ඒකෙ වෙනිය පිලිවෙලට වාඩි කරන නිසා ගෑනු ළමයි පිරිමි ළමයි වෙනසක් නැතුව එකට තමයි වාඩි උනේ. කොණ්ඩෙ දිග ගෑණු ළමයි කොණ්ඩෙ ගොතාගෙන එන එක අනිවාර්ය කරල තිබුනත් ඉටිපන්දම් වලට පිච්චෙන්න පුලුවන් නිසා ඒ දවස් වල විතරක් කොණ්ඩෙ උඩට කරල බැඳගෙන එන්න අවසර තිබුන.

මෙතෙක් වෙලා කතාවට අවශ්‍ය වටපිටාව හදන්න වැල්වටාරම් කිය කිය හිටියට දැන් තමයි වෙච්ච සිද්ධිය කියන්න පටන් ගන්නෙ.

මේ කියන දවසෙ මම වාඩිවෙලා හිටියෙත් හොඳට එලිය නොවැටුණු තැනක නිසා මටත් සිද්ධ උනා මේසෙ උඩ ඉටිපන්දමක් ගහගන්න. මෙන්න එතකොට ඉටිපන්දමට ඉස්සරහින් තියෙනව හොඳට ගෙතපු කොණ්ඩ කැරලි දෙකක්. පොඩ්ඩක් ඔලුව උස්සල බැලුවහම තමයි දැක්කෙ එක්කෙනෙක්ගෙ කොණ්ඩ කැරලි නෙවෙයි, ඉස්සරහ පේලියෙ එක ළඟ වාඩිවෙලා හිටපු කෙල්ලො දෙන්නෙක්ගෙ කොණ්ඩ කැරලි බව. ඉටිපන්දමටත් ටිකක් ළඟ වැඩි නිසා දෙතුන් සැරයක්ම අතින්
එහාට කරල දැම්මත් ආයෙත් මුල් තැනටම එනව. උඩට කරල බැඳගෙන එන්න චාන්ස් එක දීල තියෙද්දිත් මොන එහෙකට ගොතාගෙන එනවද මන්ද.

මටත් ඉතින් මේ වගේ වෙලාවට පහළවෙන්නෙ බොහොම ධර්මිෂ්ඨ සිතිවිලිනෙ. ගත්ත එක කෙල්ලෙක්ගෙ වම් පැත්තෙ කරලයි අනිත් එක්කෙනාගෙ දකුණු පැත්තෙ කරලයි. දැම්ම මැද හරියෙන් හොඳ තද ගැටයක්. අපරාදෙ කියන්න බෑ මම මේ මිශන් එක ඉවර කරනකන් ඒ කෙල්ලො දෙන්න උන්ගෙ කොණ්ඩ වලට වෙන දේ ගැන හාන් කවිස්සියක් දන්නෙ නෑ. ඒකත් වෙන්න පුලුවන්, මොකද උන් දෙන්න තමයි ඒ මාසෙ පන්තියෙ 2 සහ 3 වෙනිය. (එක පේලියෙ 4 දෙනෙක් වාඩි වෙන නිසා මම කීවෙනියද කියල හිතාගන්නකො )

ඔන්න එතකොට ආව ප්‍රශ්ණ ඇසීමේ වාරය. පුදන කොටම කාපි යකා කියල මුල්ම ප්‍රශ්ණ්ය මට(සර් මං ගැන හොඳට දන්න නිසා තමයි ඒ.. හික්ස් ). උත්තර දෙන ගමන් වෙන වැඩ කරන්න බෑනෙ. ගැට ගහපු කොණ්ඩෙ පැතක තියල උත්තරේ දුන්න නිකන් කොර වෙලා යන්න. ප්‍රශ්ණෙ නම් මතක නෑ දැන්. කරුමෙ කියන්නෙ දෙවනි ප්‍රශ්ණෙ මට ඉස්සරහ හිටපු කෙල්ලට.

ඒකිත් දඩස් ගාල නැගිට්ට නිකන් සර්ට ගහන්න වගේ.

ආ....යි....ඌ........යි....අම්මෝ........

සර් දුවගෙන ඇවිල්ල එන්ටර් උනා කේස් එකට. මමත් ඉතින් මුකුත් නොදන්න එකා වගේ පන්තියෙ වහල හදන්න ගියපු වියදම ඇස්තමේන්තු කරන්න පටන්ගත්ත. ඒත් ඉතින් ගැටග
හල තියෙන්නෙ මගේ ඉස්සරහ තිබුනු කොණ්ඩෙ වෙච්චි කොට වැරදි කරය අල්ලන්නන CSI එක ඕන නෑනෙ.

මමත් ඉතින් ඉටිපන්දමට පිච්චෙන්න නොදී කොණ්ඩ කැරලි දෙක බේරාගැනීම සඳහා කළ උතුම් ක්‍රියාව කෙටියෙන් විස්තර කරා. ඒ වෙනුවෙන් වේවැල් පහරවල් 5 ක ත්‍යාගයක් සමග පන්තියෙ හැමෝටම වඩා ඉස්සරහින් තිබුණු ස්ටේජ් එක ළඟ දණගහගෙන දවසේ ඉතුරු පාඩම් ටික ඉගෙනගැනීමෙ දුර්ලභ අවස්ථාව හිමි උනා.

හැබැයි අපරාදෙ කියන්න බෑ සර් බොහොම සාදාරණ විදිහට තමයි කේස් එක ක්ලෝස් කරේ. ඉටිපන්දමට පිච්චෙන්න ඉඩ තියෙන විදිහට කොණ්ඩෙ ගොතාගෙන ආපු කෙල්ලො දෙන්නටත් එදා
පන්තිය ඉවර වෙලා පන්තිය තිබුණු ඉඩමෙ ගේට්ටුවෙන් එලියට යනකන් අර කොණ්ඩ දෙක ගැට ගහගෙනම ඉන්න නියම කෙරුනා.


මම ඒ පන්තියෙ කොච්චර ධර්මිෂ්ඨව හිටියද කියනවනම් අවුරුදු 13 කට පස්සෙ දැනටත් සර්ට මාව නමින් මතකයි.
(කතාවෙ ගුණ දොස් කියල පොඩි Comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා)
එහෙනම් හෙට නැවත හමුවනතුරු සයොනරා!!!

Thursday, April 15, 2010

මම බ්ලොග් ලියන්න පටන්හත්තු හැටි

මමත් දවස ගානෙ අලුත් පෝස්ට් තියෙනවද කියල බලන බ්ලොග් 15 විතර තියෙන්ව. මේව කියවගෙන යන අතරෙ මටත් ඉස්සර කාලෙ සිද්ධ වුනු රසවත් සිදුවීම් ටිකක් බ්ලොග් එකක ලියන්න හිතුන. ඒත් ඉතින් බ්ලොග් කෙරුවාවත් බාලගිරි දෝසෙ වගේම ටිකෙන් ටික කල් ගියා. අනික මට ලස්සනට ලිවීමේ විශේෂ හැකියාවකුත් නැති නිසා මම ලියන දේවල් කවුරුහරි කියවයිද ඉයල හිතේ පොඩි සාංකාවකුත් නොතිබුනාම නෙවෙයි.

ඔන්න ඔහොම දෙගිඩියාවෙන් ඉන්න අතරෙ තමයි මේ කාලෙ ආවෙ.මේ තමයි මම රස්සාවක් හොයාගන්න මහ්න්සි වෙන කාලෙ. මෙහේ ( ජපානෙ )ලංකාවෙ වගේ තමන් කැමති තැනකට ඉල්ලුම්පත් දාල සම්මුඛ් පරීක්ෂණයකට ගියහම දෙකෙන් එකක් තීරණය වෙනව වගේ සරළ ක්‍රමයකට රස්සාවල් හොයන්න බෑ. සමාගම් කීපයකටම ඉල්ලුම්පත් දාල, විභාග ලියල, පියවර කීපයකින් තියෙන සම්මුඛ් පරීක්ෂණ වලට ගිහිල්ල හරි කෙලියක් කරන්න තියෙනව.

ඔය කෙලිය ඉතින් ගෙදර ඉඳන් කරන්න බෑ නෙ. මම ඉල්ලුම්පත් දාපු හැම සමාගමක්ම ටෝකියෝ වල තිබුනු නිසා මටත් ඔය පින්තූරෙ ඉන්න කස්ටිය අතරට මිශ්‍ර වෙලා සතියට දවස් 4-5 විතර ටෝකියෝ වල කරක් ගහන්න සිද්ධ උනා.


(තරුණ පරම්පරාව අතර බොහොම ජනප්‍රිය ටොකියෝ වල Shibuya (ශිබුය) නගරය.
අපේ කොල්ලො කෙල්ලො ඔය බම්බ යන්ව වගේ තමයි මෙහේ අය Shibuya යන්නෙ.)

හෙම යන එන අතරෙ දවසට පැය 2 කටත් වඩා Train එකේම ගත වෙනව. කොටින්ම කිව්වොත් පෙබරවාරි 18 වෙනිද ඉඳල අද අප්‍රේල් 15 වෙනකන් මගේ ගමන් ගාස්තු විතරක් යෙන් 60,000 කත වැඩියි. රුපියල් නම් 70,000 කට වැඩියි.

ඔහොම Train එකේ යන එන අතරෙ ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල්, පොඩිකාලෙ කරපු කුපාඩි වැඩ වගේ සිද්ධි මතක් කරකර තනියම හිනාවෙනගමන් පොඩි නෝට් එකක ලියාගත්ත. බාලගිරි දෝසෙටත් තිත තියල මේ මතකයන් ටික බ්ලොග් එකක ලියන්න ඕන කියල හිතුනු නිසා තමයි මේ බ්ලොග් එක පටන් ගත්තෙ.

මතක මං පෙතේ මුල්ම මතකයත් අරගෙන මම හෙට අනිවාර්යයෙන්ම එනව. ඒ අතරෙ මේකට ගොඩ වෙලා ගිය අය පහලින් තියෙන කොටුවෙ මොනව හරි ලියල යන්න අමතක කරන්න එපා.

එහෙනම් හෙට නැවත හමුවනතුරු
සයොනරා!!!